Friday, April 26, 2024

“ගෝටා ගෙදර පල” විරෝධතාවය, සිය ජයග්‍රහණයේ ප්‍රකාශනය එළි දක්වයි!

ශ්‍රී ලංකාවේ සහ ලෝකය පුරා විදීබට, ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන් වන අපි, මෙම ලියවිල්ල හරහා #GotaGoHome2022 ජනතා නැගිටීමේ ජයග්‍රහණය මෙයින් ප්‍රකාශ කොට සිටිමු.

එක අරමුණක් යටතේ, සකලවිධ සීමාමායිම් අතික්‍රමණය කරමින් කඳවුරු බැඳ ගත් අපි අද ශ්‍රී ලාංකීය ජන නැගිටීමේ සුවිශේෂී සංධිස්ථානයක ජයග්‍රහණය මෙසේ සටහන් කර තබමු.

නව මාධ්‍ය සහ අන්තර්ජාලය සමඟ හැදී වැඩුණු පරම්පරාවන් වන අපි, නිර්-ප්‍රචණ්ඩ ජන නැගිටීම්වල ඇති ශක්‍යතාවය මනාව වටහාගෙන සිටිමු. අපේක්ෂා භංගත්වයට පත් තාරුණ්‍යයේ ලෙයින් තෙත් වූ දේශයක, පරාජිත ජනතා නැගිටීම් රැසකින් පිරුණු ඉතිහාසයක් සහිත අපි, අතිශය අවිනිශ්චිත අභියෝග සහ බාධක රැසක් මැද, නිර්මාණශීලිත්වය සහ සියලු යහපත් දේවල එකමුතුකම විදහා දක්වමින් ලාංකීය ජනඅරගලවල ඉතිහාසයට ජයග්‍රාහී පිටුවක් එක් කළෙමු.

මධ්‍යගත නායක්වයක් හෝ සංවිධානයක් නොමැතිව, මීළඟට කුමක් කළ යුතු දැයි මඟපෙන්වීමට තනි නායකන්වයක් නොමැතිව පවා අපි එක අරමුණයක් වෙනුවෙන් නොසැලී පෙනී සිටියෙමු. දශක ගණනාවක, වෛරය, ආගමික බෙදා වෙන් කිරීම් සහ අනේකවිධ වෙනස්කම් සහිත සමාජයකට අයිති වූ අපි, ඒ සියලු වෙනස්කම් පසෙකලා එක අරමුණක් වෙනුවෙන් සහෝදරත්වයෙන් නැගී සිටියෙමු. ජයග්‍රහණ, පසුබැසීම්, පවාදීම්, තර්ජන, පහරදීම්, බිය වැද්දීම්, කඳුලු ගෑස් සහ වෙඩි උණ්ඩ මධ්‍යයෙත් අපි නිශ්චිත අරමුණක් වෙනුවෙන් එක්ව පෙනී සිටියෙමු.

1848 මාතලේ අරගලයේ සිට අද දක්වාම මේ බිමෙහි පැන නැගුණු ජන නැගීටීම් වල ඉතිහාසය විවිධ අයුරින් ලියැවී ඇත. මෙම අරගලය විසින් අපිට, ඉතිහාසය යනු හුදු එක් දෘෂ්ටිකෝණයක් සහිත වූවක් නොවන බවත්, ඉතිහාසයේ සිදුවීම් තනි තනි පුද්ගල පරිශ්‍රමයන්ට ලඝු කල නොහැකි බවත් අවබෝධ කොට දුන්නේය.

නිදහස් ලංකා ඉතිහාසයේ පුරා දශක ගණනාවක ජනතා අරගල සහ විරෝධයන්ට සරු බිමක් වූ ගාලුමුවදොර පිටිය අපි ‘ගෝඨාගෝගම’ නමින් අත්පත් කරගත්තෙමු. #OccupyGalleface ලෙස ඇරඹි ‘ගෝඨාගෝගම’ තුල ගොඩනැගුනු මුළුතැන්ගෙය, මහජන පුස්තකාලය, සරසවිය, පාසැල, එළිමහන් වේදිකාව, වගාබිම වටා එක්වුණු අපි, අපට උරුම ගෞරවනීය, රට සහ සමාජය ගැන සිහින දකින්නට, ලොව පුරා ලාංකිකයන්ට එක්වන්නට සමාජ සංස්කෘතික ඉඩක් ගොඩනැගුවෙමු. අනෝන්‍ය වශයෙන් වගකීමෙන් සහ වගවීමෙන් බැඳුණු, සහයෝගීත්වයෙන් ද අනෝන්‍ය රැක බලා ගැනීමෙන් ද බැඳුණු, මිනිස් ප්‍රජාවක් ලෙස අපි ‘ගෝඨාගෝගම’ අරගල අවකාශය නිර්මාණය කළෙමු. මේ සුවිශේෂී ප්‍රජාව ඉතිහාසයේ එක මොහොතක, සියලු වෙනස්කම් දරාගනිමින් එකිනෙකා කෙරෙහි සහකම්පනයෙන් යුතුව එක අරමුණක් වෙනුවෙන් කැප වූ, නිර්-ප්‍රචණ්ඩ ජන සහභාගීත්වය හරහා සමාජ වෙනසක් වෙනුවෙන් කැපවූ පරමාදර්ශයක් ලාංකීය ඉතිහාසය තුල සනිටුහන් කල බව මෙයින් ලියා තබමු.

මෙහි ලා ‘ගෝඨාගෝගම’ බිහි නොවුණේ නම් කුමක් විය හැකිව තිබිණි ද යන්න මොහොතකට සිතා බලමු. එසේ වී නම් මේ සා විශාල ආර්ථික අර්බුද සමයක පවා මහ බැංකුව තවමත් වංචනික චෞරයන්ගේ ග්‍රහණයේ පවතින්නට ඉඩ තිබිණ. එසේ වී නම් දශක කිහිපයක් පුරා ලංකාව පාලනය කළ චෞර පවුල් පාලනය තවමත් අස්පර්ශනීය වන්නට ඉඩ තිබිණ. එසේ වී නම්, අරගලය විසින් තහවුරුකරන ලද යහපත් රටක් පිළිබඳ නැවුම් බලාපොරොත්තුව හුදු සංකල්ප මාත්‍රයක්ම පමණක් වීමට ඉඩ තිබුණි.

අපි දකුණු ආසියාවේ බලවත්ම සහ දූෂිතම දේශපාලන පවුල්වංශයක ජනාධිපතිවරයෙක්ව බලයෙන් පලවා හැරියෙමු. පරම්පරාවෙන් පරම්පරාවට අපි පෝෂණය කළ දශක ගණනාවක කඩතුරාව අපි බිඳ දැමුවෙමු. අපි නිර්-ප්‍රචණ්ඩ, ආදරයේ අරගලයක හැඩය ලෝකයට පෙන්වා දුන්නෙමු.

ප්‍රචණ්ඩ දේශපාලන කුණාටු මැද, දරුණු වැසි සුළං වලට මුහුණ දෙමින්, ගිනිගහන අව්වේ කැකෑරෙමින් අතිශය දුෂ්කර ජීවන කොන්දේසි හමුවේ, දින සියයක් සටන් කළ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය මෙයින් සිහිකරමු. සිය දරුවන් ඇකයේ හොවාගෙන, සමස්ත දේශයේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අරගල බිම අත්නෑර සටන් කළ ආදරණීය මවුවරුන්, අරගල බිමට පැමිණ දාහය නිවන්නට වතුර බෝතලයක්, කුසගින්න නිවන්නට බත්පතක් දෙන්නට තරම් මානුෂික වූ, මර්දනයේ ප්‍රචණ්ඩත්වයෙන් හෙම්බත්ව ගිලන් ව ඉන්නා කළ සැපදුක් විමසන්නට දුරකථන ඇමතුමක් දෙන්නට තරම් ආදරණීය වූ සියලු කාරුණික මිනිසුන්, සෝෂල් මීඩියා මත හෑෂ්ටැග් සටහනකින් අරගලය නොනිමා තබාගන්නට උත්සහ කල සියලු මිනිසුන් ඉතිහාසය විසින් මතකයේ තබාගනු ඇත.

ඉතිහාසය නැවත නැවතත් ලියන්නට හැකි බව දැන් අපි දනිමු. ඉතිහාසය යලි හැරවිය නොහැකි දේ නිර්මාණය කරයි. ‘ගෝඨාගෝගම’ යනු හුදු භූමියක් පමණක් නොවේ, එය ඉතිහාසයේ එක් සුවිශේෂී මොහොතකි. ඒ මොහොත අපේ සාමුහික මතකයේ සදාකාලිකව පවතිනු ඇත.

‘ගෝඨාගෝගම’යනු අරගලයේ එක් නිශ්චිත ජයග්‍රාහී මොහොතක් මිස සමස්ථ අරගලය නොවේ. අරගලය අවසන් නැත. සියල්ලන්ට සමානව, සාමයෙන් ජීවත්විය හැකි රටක් බිහිවන තුරු එය ඉදිරියට ඇදෙනු ඇත.

අරගලයට ජය!
போராட்டத்திற்கு வெற்றி!
Victory to the people!

ජූලි 2022
at Gotagogama ගෝඨාගෝගම கோட்டாகோகம, Sri Lanka.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින්,
2022 අගෝස්තු මස 09 දින ප්‍රසිද්ධ කරන ලදී.

Archive

Latest news

Related news