Wednesday, April 24, 2024

අයිවන්ගේ ප්‍රතිසංස්කරණ නායකයා නොහොත් දෙවිදියක විහිළුව

1. ලංකාවේ සමාජ -ආර්ථික බිඳ වැටීමට හේතු වූ ආණ්ඩුකරණ මතවාදය මෙන්ම, එය ශමනය කොට ‘ ‘රට ගොඩ ගැනීම ” උදෙසා රනිල් යොදාගැනීමේ උපායමාර්ගයට බලය දෙන මතවාදයත් එකමය. එය realpolitik දහමයි!
දේශපාලනය හා ආණ්ඩුකරණය සඳහා ආචාරධාර්මික පදනමක් අනවශ්යය යන්න මෙහි තේරුමයි.
2. පොහොට්ටුව ගොඩ නගා ඇත්තේ ආචාරධාර්මික පදනමක් සහිතව නොවේ. එය පක්ෂයක් සේ පෙනී සිටින වැඩවසම් ප්රභූ- අන්තේවාසික සම්බන්ධතා ලක්ෂණ සහිත , එනයින් දේශපාලන බලය පවත්වාගැනීම උදෙසා සම්පාදිත ව්යූහයකි.
ලංකාවේ ලිබරලුන්ටද ආචාරධර්ම නැත. ඔවුන් realpolitik games ප්රසිද්ධියේ සාධාරණීකරණය කරන්නෝ වෙති.
පුදුමයකට මෙන් ජාතිකවාදීන් ද එලෙසමය. මහින්ද මහජන දේපල හොරා කෑවට මොකද , ඔහු රට බේරගත්තා යැයි ගුණදාස අමරසේකර සීරුවෙන් පෙන්වා දුන්නේය , ඒ කුලකයේ භික්ෂූන් ද ඊටම උඩ ගෙඩි දුන්හ. එපමණක් නොවේ, නලින් ද සිල්වා විසින් ද ‘ජාතිකත්වය’ යනුවෙන් සැලකෙන අභූත යමක් දරා සිටීමේ එකම පදනම මත දේශපාලන නායකයින් ඉතින් හොරුන්, ස්ත්රී දූෂකයින්, මිනී මරුවන් , මැරයන් හෝ අවි/ කුඩු වෙළෙන්දන් වීමේ කම් කිම ? යැයි නන් අයුරින් සහතික කොට තිබේ..
3. ඒ realpolitik ඔලුවෙන්ම ප්රතිසංස්කරණ න්යායපත්ර හා වැඩපිළිවෙළවල් සකස් වී ඉදිරියට එන කාලයකි මේ; අප මිත්ර වික්ටර් අයිවන් මහතා සිය ප්රතිසංස්කරණ වැඩපිළිවෙළ දියත් කොට ලංකාව ඓතිහාසික වශයෙන් ඉදිරියට තල්ලු කිරීම සඳහා ඉතිහාසය විසින් ලබා දුන් නායකයා රනිල් බව උද්දාමයයෙන් ප්රකාශ කර සිටී. අනේ හොඳයි ‘ කියා අපට කියන්නට නොහැක්කේ එය දෙවිදියක විහිළුවක් සේ පෙනෙන බැවිනි. පළමු කාරණය නම් වැඩවසම් දීන මානසිකත්වය හලා ( නවීකාරක ප්රතිසංස්කරණ න්යාය පත්රයකින් අපේක්ෂා කළ යුතු එක් වැදගත් ඉලක්කයක් ! ) පිබිදෙන පුරවැසි ජනතාවගෙන් පළිගන්නා මානසිකත්වයක සිටින ප්රතිගාමියෙකු විසින් ප්රගතිශීලී වැඩපිළිවෙළකට නායකත්වය දේවි යැයි විශ්වාස කිරීම; දෙවැනි කාරණය නම් බහුතර මහජනයා අතර කූජිත තත්ත්වයකට පත්වුණු පාර්ලිමේන්තුවක් හා පජාත නායකයෙකු මගින් මහජනයාගේ විශ්වාසය හා ප්රසාදය සහිත ආණ්ඩුවක් හා නායකත්වයක් විසින් පමණක් ඉටු කළ හැකි කාර්යයක් කළ හැකි යැයි විශ්වාස කිරීම; මෑත කාලවල ලෝකයේ මෙවැනි ප්රතිසංස්කරණ සාර්ථක වී ඇත්තේ ඉතා ඉහළ මට්ටමින් ජනතාවගේ සහභාගිත්වය ලබාගැනීමට ශක්තියක් ඇති ජනප්රිය ආණ්ඩුවක් විසින් පමණි.
4. ඒ අතර එය කොහොමත් සැබෑ ආකාරයෙන් සාර්ථක නොවීමට හේතු වන මූලික කරුණ මේ න්යායපත්රයේම අඩංගුය. එය ඉටුකරගැනීමට යෝජිත ප්රවේශය තුළ ලංකාවේ සමාජ සම්බන්ධතා සකස් වී ඇති ආකාරයේ ගැටලු පිළිබඳ සංවේදීතාවක් හෝ , එබැවින් ජනතාවගේ විඥානය පරිවර්තනය කිරීම අභියෝගයක් ලෙස භාර ගැනීමක් හෝ නොමැත. ආණ්ඩුකරණ ක්රමය ප්රතිසංස්කරණ කිරීම යනු ඊට අනුව හුදෙක්ම ව්යවස්ථාව හා නීති වෙනස් කිරීමකි. එනමුත් දැනට දශක ගණන් බලයේ ඉන්නා දේශපාලනඥයින්ගේ හෝ රාජ්ය නිලධාරින්ගේ චර්යාව දැනටත් පවතින ව්යවස්ථාවට හෝ නීතියකට පමණක් නොව කිසිදු මූලික සදාචාර රාමුවකට අනුකූල නොවන්නේ ඇයිද යන්න ගැන කිසිදු ප්රශ්නයක් ප්රතිසංස්කරණ යෝජකයන්ට සිහිපත් වන්නේ නැත.
5. ලංකාවේ අරටුවටම යනතුරු දූෂිත තත්ත්වයට පත් දේශපාලනය හා රාජ්ය පද්ධතිය පරිවර්තනය කිරීමට නායකත්වය දීමට මේ දූෂිත පාර්ලිමේන්තුවට හැකි යැයි විශ්වාස කරන්නෝ අර realpolitik දහම බාර ගෙන සිටින්නෝ වෙති. මැකියාවෙල්ලි සිටියේ නූතන යුගයට පෙර වැඩවසම් දේශපාලන පරිසරයක බව කරුණාකර සිහි කරන්න . ආචාරධාර්මික පදනමක් රහිත දේශපාලන මතවාදයක් විසින් ආචාරධාර්මික දේශපාලන පරිසරයක් නිර්මාණය කළ හැකියි යන්න පුදුමාකාර විහිළුවකි.
6. සමාජ නවීකාරක ප්රතිසංස්කරණ කාර්යභාරයකට උරදෙන්නට යන ආණ්ඩුවකට , අනිත් කරුණු අතර එය කරන්නට සුදුසු කම් ලබා දෙන පූර්ව කොන්දේසියක් දෙකක්;
*රටේ බහුතර ජනතාව සම්මුතියකට ගත හැක්කේ; රාජපක්ෂ වළල්ල විසින් සොරා කෑ මහජන ධනය පිළිබඳ ප්රශ්නය මග හැර යාමෙන් නොවේ. එයට සාධාරණ විසඳුමක් ලබා දීමෙනි.
* පාස්කු ප්රහාරය පිළිබඳ සාධාරණය ඉෂ්ට වීමට මාවතක් ගැනීමෙනි.
* කුලී හමුදා හා අනීතික හමුදා ඛණ්ඩ විසුරුවා ඔවුන් පුනරුත්ථාපනය කිරීමෙනි.

Sunil Wijesiriwardena මුහුණු පොතිනි.

Archive

Latest news

Related news