Thursday, March 28, 2024

කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්

සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි ‍නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට සිදුව ඇත. අප්‍රියෙල් 09 දින සිට ජූලි 09 දින දක්වා සිදුවු යුග පෙරළිය දැන් ඉතිහාසගතව ඇත.

#GohomeGota යන තේමාව ඔස්සේ පෙළගැසුණු මහජන බලවේගය තම පරම අරමුණ, SYSTEM CHANGE – පද්ධතිමය වෙනස ඉෂ්ඨ කරගැනීමට අපොහොසත්ව ඇත. ඒ වෙනුවෙන් කිසිවෙක් කලකිරීමට හෝ අධෛර්යමත් වී අපේක්ෂා බංගත්වයකට පත් විය යුතු නැත.  1978 සිට පුරා දශක හතරක් විනාශ කරන ලද රටක්, මාස හතරක අරගලයකින් ගොඩ දා ගත නොහැක.

එඩිතර තරුණ ජවය තුලින් පන්නරය ලැබූ අරගලය නොවන්නට ශ්‍රී ලංකාව සාඨක නාටක සහ කළු ටයි කෝට් කාරයන් බඩ පිණුම් ගසන පෙරේත කොටුවක් සහිත රටක් වන්නට තුබුනි. අපගේ දිවයින එවැනි අවසනාවන්ත තත්වයකට යා නොදී යහපත් තත්වයකට ගෙන ඒමට හැකි බුද්ධිමත් මානව සම්පතක් සහිත දේශයකි. එම යහපත් කාර්යයට දායක වෙමු.

මෙම අරගලයේ නව මාවත සහ ජාතිය ගොඩනඟා ගැනීමට නව සහශ්‍රයේ තරුණ ජවය තෝරාගතයුතු වැඩ පිලිවෙල සහ එහි මාර්ග සිතියම කුමක්ද යන්න පහදා ගැනීමට අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම ලිපිය යොදා ගන්නෙමි. මග නිවැරදි නම් ගමන වරදින්නේ නැත. එහෙත් මං මුලා වීමට ඇති සියළුම ඉඩ ප්‍රස්තාවන් අසුරා ගත යුතු වේ.

කිසිම වෙනස්වීමකට අනුකූල වීමට අකමැති කිසිවෙකුටත් සමාජයට සහ ජාතියට හිතකර දැක්මක් සහිත ප්‍රථිඵලදායි වෙනස් කිරීමකට මුල් වීමට හෝ නායකත්වය ගත නොහැකි බව ඉතිහාසය ඔප්පු කර ඇත. මෙය ශ්‍රී ලංකාවට මෙන්ම සෙසු ජාතික නිදහස් ව්‍යාපාරවලදී දෘශ්‍යමානවූ අත්දැකීමකි.

සෑම මසකම නව වන දින ඉලක්ක කර ප්‍රතිවාදීන්ට ග්‍රහ පුජා පැවැත්වීමෙන් ජාතියේ අනාගතය තීරණයවන අපේක්ෂිත පද්ධතිමය වෙනස අපට නිර්මාණය කරගත හැකි නොවේ. ඒ සඳහා ඉවසීමෙන් බුද්ධිමත්ව එකමුතුව කටයුතු කිරීමට අරගල භූමියේ සිටින සියළු දෙනාම වග බලා ගත යුතු වේ. බලය බෙදාගෙන අර්බුදයෙන් ගොඩ ඒමට සියළු දෙනාම සහභාගි කරගෙන විසදුම් සොයා යනු වෙනුවට, බලය බදාගැනීමේ හදිසිය යල් පැනගිය දේශපාලන මහදැන මුත්තන් වෙතම පවත්වාගෙන යාමට ඉඩදීම නුවණට හුරු යැයි මෙම ලියුම් කරුගේ මතයයි.

මෙය Analogue යුගයට ආවේණික ගති සිරිතකි, නව සහශ්‍රයේ තරුණ බලවේගය අනුගත වියයුත්තේ Digital යුගයේ සුහුරු (SMART) තාක්ෂණික ක්‍රම වේදයන්ටයි. සුහුරු තාක්ෂණයට නුහුරු මොනයම් පද්ධතියකට ඉදිරියේ පැවැත්මක් නොමැත. #GohomeGota අරගලයට සමාජ මාධ්‍ය ඔස්සේ නව සහශ්‍රයේ තරුණ ජවය පන්නරය ලැබුවේ මෙකී සුහුරු තාක්ෂණික මේවලම් තුලින්ය. හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ඔස්සේ මහජන මතය සහ විරෝධය පාලනය කිරීමට වෙර දරන සියළු දෙනා තාම ජීවත් වන්නේ  යල්පැන ගිය Analogue යුගයේය.

Digital යුගයේ සුහුරු (SMART) තාක්ෂණය, තනි පුද්ගලයෙකු අසීමිතව සවිබලගන්වා, විවිධ අයගේ අදහස් උදහස් ශක්තිමත් කර ඔවුන ඔවුන්ගේ මතවාද ක්ෂණිකව ජාලගතකරවීමේ ක්‍රම වේදය පහසු කර ඇත. මෙම බලවේගය අඩුවෙන් තක්සේරු කලයුතු නොවේ. ශ්‍රී ලාංකේයන් අපේක්ෂාවෙන් සිටින නව පද්ධතිය නිර්මාණය කරගැනීමේ පදනම මෙම සිද්ධාන්තය ඔස්සේ පිහිටුවා ගතයුතුව ඇත.

නව පද්ධතියකට සංක්‍රමණය වීමට පෙර පවතින ක්‍රමවේදයේ අඩුපාඩු සහ දුර්වල තාවන් මුලින්ම හඳුනාගතයුතුව ඇත. බටහිරින් පැටවූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලන ව්‍යූහය වර්තමානයේ ශ්‍රී ලංකාවේ අපූරුවට සංස්ථාගත කර තිබේ. ඉන් පලමුවැන්න, ඡන්දයෙන් තොරා පත්වෙන මහජන නියෝජිතයා ජනතා සේවකයෙකු යන ආකල්පයෙන් මුදවා හුදු වරප්‍රසාදලාභියෙකු බවට පරිවර්තනය කර තිබේ.

දෙවැන්න මැතිවරණයෙන් තෝරා පත්වෙන නියෝජිතයා ඡන්ද දායකයාට මෙන්ම බදු ගෙවන්නාට මොනයම් ආකාරයකටත් වගවීමක් හෝ වගකීමක් දක්වනු නොලැබේ. මෙම තත්වය නිසා වර්තමානයේ රාජ්‍ය පාලනය කරවන්නන් සිය එකම ප්‍රතිපත්තිය කිසිම ප්‍රතිපත්තියක් නොමැති වීම බව කදිමට ඔප්පුකර පෙන්වා ඇත. ඔවුන්ගේ ඒකායන අරමුණ කෙසේ හෝ රාජ්‍ය බලය සතු කරගෙන වරප්‍රසාද භුක්ති විදීමය. ඔවුන් කන්න ඕනෑවුවිට කබරගොයාත් තලගොයා කරගැනීමට රුසියෝය.

මෙම කරුන පිලිබදව අවධානය යොමු කර විද්වතුන්ගේ සහ අරගලභූමියේ සිටින නව සහශ්‍රයේ තරුණ තරුණියන් අතර සමාජ කථිකවන් අරඹා, නව පරිපාලන පද්ධතියක් ගොඩනඟාගැනීමේ මූලික අඩිතාලම යොදාගත යුතුවේ යැයි යන්න මෙම ලියුම්කරුගේ මතයයි. එහිදී වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරය දුර්වල කරවන, රාජ්‍ය තන්ත්‍රය වෙත මහජන විස්වාශය බිඳවන සියළුම අවස්ථාවන් අවම වනසේ මහජන නියෝජිතයා ඡන්ද දායකයාට සහ බදුගෙවන්නාට සෘජුව වගවෙන සහ වගකියන නියෝජිතයෙකු බවට පත්කල යුතුවේ.

එය කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගය  හෙළිපෙහෙලි කරනු ඇත. වර්තමාන ක්‍රමවේදයේ එරී ගිලී සිටින, ගඳ සුවඳ නොදැනෙන කිසිම දේශපාලකයෙකුට මෙම වෙනස් කිරීමට මුල්වීමට උවමනාවක් නොමැති බව තේරුම් ගන්න ප්‍රමාද නොවන්න.

ක්‍රම වේදය වෙනස් කරවීමට සුදුසුම උපකරණය පළමුවෙන් තෝරා ගනිමු.

වසර දොලොස් දහසක සිටම මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමණයට මුල්වුයේ, මිනිසා සතුවු විශිෂ්ඨතත්වය, සිතීමේ හැකියාවයි. සෙසු සත්වයන් ඒ මොහොතේ සිය අවශ්‍යතාවන් මත කටයුතු කරද්දී මිනිසාට වර්තමානයට පමණක් සීමා නොවී අතීතය සහ අනාගතය ගැන සිතා සැළසුම් කර කටයුතු කලහැකි විය. එකී පරිණාමයේදී විවිධ දෛනික කටයුතු කාර්යක්ෂමව කරගැනීමට උපකරණ තනා ගැනීමට මිනිස් වර්ගයාට හැකි විය.  කෘෂි ආර්ථිකයට හුරු ගෙවිලිය සහ ගෘහණිය තවමත් එම උපකරණ භාවිතා කරයි. කුල්ල සහ පෙනේරය මෙම අපූරූ මේවලම් දෙකයි. ගෙවිලිය කමතෙන් ගෙනෙන වී අස්වැන්නෙන් බොල් වී ඉවත් කරගෙන සරුවී පමණක් තෝරා ගැනීමට කුල්ල යොදා ගනියි. මෙහිදී නිසරු දේ ඉවතලා සරුදේ ඉතිරි කරගැනීමට කුල්ල උපකාරීවේ. ගෘහණිය පෙනේරය භාවිතා කරනුයේ රොඬු බොඬු බොල් ඉවත් කරගෙන වටිනා දේ වෙන්කර හලා ගැනීමටය. මෙම ක්‍රියාවලියේදී කුල්ල නිසරු දේ ඉවතලා සරුදේ රැකගනී, නමුත් පෙනේරය සරුදේ වෙන්කර රොඬු බොඬු රඳවා ගනී. පුරා වසර හතලිහක් ශ්‍රී ලාංකේය ඡන්ද දායකයින් මැතිවරණ වලදී සිය නියෝජිතයින් තෝරා ‍බේරා ගැනීමට යොදා ගෙන ඇත්තේ කුල්ල වෙනුවට පෙනේරය බව මේ ලියුම් කරුගේ අදහසයි. පස් වතාවක් රාජ්‍ය පාලනයට පත් පුද්ගලයෙකු සිය පාලන කාලය හමාරවන තුරුවත් බලයේ සිටීමට අපොහොසත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති වරයා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් හලා රොඩ්ඩක් ලෙස වෙන්කර ඉවත් කල දේශපාලනඥයෙකි, එක්සත් ජාතික පක්ෂයේ නායකයාද විය. එබඳු තැනෙත්තෙක් විධායක ජනාධිපතිවරයා හැටියට පත්කරගෙන ඇත්තේත් තවත් එවැනිම රොඬුම ගොඩක්ම බව තේරුම් ගැනීමට පාඨක ඔබට අපහසු නොවනු ඇත. අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් මෙම තත්වය ගැන නිවැරදිව තක්සේරු කරගෙන පද්ධතිමය වෙනසක් ගැන හඬ නගන්නේ මේ නිසාවෙනි. අප්‍රමාදව ඔවුන්ගේ අරගලයට දායක වී මෙම ක්‍රමවෙිදය වෙනස් කරගැනීම ජාති හිතෛෂී සියළු ශ්‍රී ලාංකේයන්ගේ පරම යුතුකම වනු ඇත. ජාතිය ගොඩනැඟීමේ කාර්ය භාරයට සක්‍රියව දායක වෙමු. මන්ද ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවන නිසාය.

ජයශ්‍රී ප්‍රියලාල්

|ජයශ්‍රී ප්‍රියලාල් මහතා, යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා මෙන්ම ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි. ([email protected])

අගෝස්තු 05, 2022

Archive

Latest news

Related news