Thursday, March 28, 2024

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත්තේ තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙන යන ජනමාධ්‍යවේදීන් දෙදෙනාය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ නීතිඥ රම්සි බාචා යන නීතිඥවරුන්ගෙන් සමන්විත නීතිඥවරු පිරිසක් මාර්ගයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කර තිබේ.

2022 ජූලි මස අට වැනිදා රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු වගඋත්තරකාර පොලිස්පතිවරයා පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව නිවේදනයක් මගින් නිවේදනය කළ බවත්, එමගින් එම ප්‍රදේශවල ගමන් කිරීම නතර කර නිවෙස්වලට වී සිටින ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් නතර කරන ලෙස එමගින උපදෙස් දී ඇති බවත එම පෙත්සමේ සඳහන්වේ. පසුදින උදෑසන 06ට ඇඳිරිනීතිය ඉවත් කරන බව නිවේදනය කළ බව ද, ඇඳිරිනීතිය පනවන නිවේදනයේ නොතිබුණු ගම්පහ කොට්ඨාසය ඉවත් කිරීමේ නිවේදනයේ සඳහන් වූ බව ද, පොලිස් ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී, අත්තනෝමතික සහ නීතිමය පදනමක් නැති ක්‍රියාවක් බව ද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

 පොලිස්පති වික්‍රමරත්නට විරුද්ධව මානව හිමිකම් කොමිසම පවා වාර්තාවක් ප්‍රසිද්ධ කර තිබේ.

මෙය ද්වේශසහගතව යටි අරමුණක් ඇතිව බලය අනිසි ලෙස භාවිතා කිරීමක් බව සඳහන් කර ඇති ජනමාධ්‍යවේදීන් දෙදෙනා, ඊට පසු දින පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවය අධිකරණ නියෝගයක් මගින් තහනම් කිරීමට නොහැකි වූ තැන බලය අවභාවිත කරමින් ඒ සඳහා පුරවැසියන්ගේ සහභාගිත්වය වැලැක්වීමේ අරමුණෙන් මෙය සිදු කර ඇති බව ද පෙන්වා දෙයි.

පළමු වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීති විරෝධී ඇඳිරිනීතිය නිසා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා පවා නතර කර දැමූ බවත්, එමඟින් පුරවැසියන් අපහසුතාවට පත්වූ බවත්, ජනමාධ්‍යවේදීන් ලෙස තමන්පවා එමගින් අපහසුතාවට පත්වූ බවත් පෙත්සමේ සඳහන්වේ.

පොලිස්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කිහිපයක්ම කඩවී ඇතැයි ප්‍රකාශයට පත් කරන ලෙස මාධ්‍යවේදීන් දෙදෙනා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා ඇත.

පෙත්සම ඉංග්‍රිසි බසින් කියවන්න:Tharindu & Thrindu FR July 2022

Archive

Latest news

Related news