Friday, April 19, 2024

2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය

දිනයකට තනතුරට පත් (වෘත්තීය සමිති මර්දන) ජනරාල් සමන් රාජපක්ෂ පසු දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින්ට ඇප ලබා දෙන බවත් ජෝශප් වෙනුවෙන් තමා රනිල් රාජපක්ෂ හමුවේ පෙනී සිටින බවත් ප්‍රකාශ කර තිබුණි. ජනරාල් තනතුර ලබා දවසක් ගතවෙත්ම පොලිසියට නියෝග දීමට හැකියැයි සමන් රාජපක්ෂ කල්පනා කිරීමෙන් පෙනී යන්නේ, රනිල් රාජපක්ෂ දේශපාලනයේ සහජ ළකුන වන අවනීතියයි.

සමන් රාජපක්ෂ  මුහුණු පොතේ ලියා ඇත්තේ තමන් තනිකඩ රනිල් දෙස බලාගෙන චූන් ගන්නා අයකු බවය. එයට, අප සිරගෙදර සිටි සමයේ කීවේ තපිනවා කියා ය. සිර ගෙදරදී නම් එය සම රිසි හැසිරීමකි. වරදක් නැත.

තැපීම!

ඊටත් වඩා වැදගත් දෙයක් ජනරාල් සමන් රාජපක්ෂ කියා තිබුණි. එනම් වරදක් කර ඇතොත් අධිකරණය මගින් ජෝෂප් ස්ටාලින්ට දඩුවම් ලබා දිය යුතු බවය. ජනරාල්ගේ කතාවේ ප්‍රායෝගික වචනය එයයි. ජොශප් ස්ටාලින් කළ බවට චෝදනා නඟා ඇති සමහර වැරදි හෙද සංගමයේ ප්‍රධානියා ලෙස සමන් රත්නප්‍රිය විසින් ද කරන ලද ඒවාය. නමුත් දැන් ඔහු සමන් රාජපක්ෂ ලෙස බෞතිස්ම කර ඇති බැවින් ඒ “වැරදි” සියල්ල බෞතීස්ම ජලයෙන් සෝදා හැර තිබේ.

මේ සිදුවීම් පෙළ දේශපාලන සංකේතාත්මක බවින් අනූනය.

රනිල් රාජපක්ෂගේ කතාවන්හිදී ද  එකම අවස්ථාවේදී විරෝධතාකරුවන් පැසිස්ට්වාදීන් ලෙස හැදින්වෙන අතරම  විරෝධතාකරුවන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙන බව කියැවේ.

සමන් රාජපක්ෂ දැන් නිර්දෝෂී වී ඇති පරිදිම රනිල් රාජපක්ෂද ඔහුගේ කැබිනෙට්ටුවේ සිටින නමගිය දූෂිතයින් සහ වංචාකාරීන්ද දැන් සුද පිරැවට ඔතා සිල් සමාදන් කරවා ඇත. පව් සේදී ගොසිනි.

ඇත්ත කරකාර බැදීම

කතාව කුමක් වුවත් ක්‍රියාවට නැගෙන්නේ අව නීතිය, විශම සැලකීම සහ  මර්දනය පමණය.  රනිල් රාජපක්ෂ යනු එකක් කියා වෙනකක් කළ ජේ.ආර්. ජයවර්ධනගේ ඥති මෙන්ම දේශපාලන බෑනාය. ඔහු කරකාර බැඳ ඇත්තේ මාමණ්ඩියාගේ දූෂිත මර්දනකාරී දේශපාලනය සමඟය. අනෙක් කරකාරකම් බොරුය.

රනිල් රාජපක්ෂගේ පොලිස්පති වික්‍රමරත්න, මැයි 09දා මහින්ද රාජපක්ෂ විසින් නිරායුද විරෝධතාකරුවන්ට එරෙහිව මෙහෙයවන ලද මැරවර ප්‍රහාරය නොනැවැත්වීම සම්බන්ධයෙන් ඍජුවම වගකිව යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර ප්‍රසිද්ධියට පත් කර තිබේ. එනමුත් වික්‍රමරත්න තවමත් රනිල් රාජපක්ෂගේ මර්දන දේශපාලනයේ පොලිස්පතිය.

දේශබන්දු මැර නායන සනත් නිශාන්ත සමඟ මැයි 09දා

රනිල් රාජපක්ෂගේ බස්නාහිර පළාත් පොලිස් ලොක්කා දේශබන්දු තෙන්කෝන්ය. පෙර කී මහින්ද රාජපක්ෂගේ දාමරික ප්‍රහාරයන් වැළැක්වීමට පියවර නොගැනීම නිසා ඔහු බස්නාහිර පළාතෙන් මාරු කළ යුතු යැයි නීතිපති නිර්දේශ කළේය. තෙන්නකෝන් දෙසතියක් නිවාඩු ගොස් පමිණයේය.  දැන් මර්දනය යන්ත්‍රයේ ලොකුම කකුලකි.

රනිල් රාජපක්ෂගේ නිවස ඉදිරිපිට දී සජීව රෑපවාහිනී ප්‍රකාශයක නිරතව සිටි “සිරස” මාධ්‍ය කණ්ඩායමට කරන ලද තිරශ්චීන පහර දීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේශ් ලියනගේ කෙළින්ම වගකිය යුතු බව ද මානව හිමිකම් කොමිසම නිගමනය කර ප්‍රසිද්ධියට පත් කළේ ය. එපමණක් නොව ඔහු සිය කොමිසම හමුවේ බොරු සාක්ෂි දුන් බව ද එම නිගමනය නොකියා කීවේය.  කළ එළියේ ම වධහිංසා පැමිණ වූ සහ මානව හිමිකම් කොමිසම හමුවෙහි බොරු සාක්ෂි දුන් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද යහතිනි. වධහිංසා පැමිනවීමෙන් පසුව ඔහුගේ වැඩ තහනම් කරන ලද නමුත් රනිල් රාජපක්ෂ ඔහු යළි තනතුරෙහි ද පිහිටු වන ලද්දේ අනෙක් වධකයින්ගේ සතුටට ද හේතු වන පරිදිය.

රනිල් රාජපක්ෂගේ රාජ උශ්ණය දැනී ඇත්තේ තපින ජනරාල්ට පමණක් නොවේ. සිරගෙදර නියාමකයින් පවා හැසිරෙන්නේ නීතිය අතට ගෙනය. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වූ  පැතුම් කර්නර් සහ වේරංග පුෂ්පික බැලීමට ගිය මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට එම අවසරය බන්ධනාගාරය ලබා දුන්නේ නැත. මේ වනාහී මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථාපිත බලයට අභියෝග කිරීමකි. නමුත් හෙට යළි ඒ දේම සිදු විය හැක. මන්ද යත් නීතිය අව නීතිය නිසාත් දුශ් විපාක නො ලැබීම රීතිය නිසාත්ය.

මර්දනයට පසු නොබා මුහුණ දිය යුතුය

පොලිසිය වේරංග පැහැර ගෙන ගොස් නීතිඥයින් වටේ යැවුවේය. ජෝශප් ස්ටාලින් සම්බන්ධයෙන්ද පොලිසිය ක්‍රියා කළේ එලෙසය. නීතිය නොව රනිල් රාජපක්ෂ කැමති අවනීතියටය.

ඉහත දැක්වෙන්නේ රනිල් රාජපක්ෂ පාලනයේ අධර්මිෂ්ඨ අව නීතිමය භාවිතය පිළිබඳ උදාහරණ කිහිපයක් පමණි. ලැයිස්තුව දිගය.

“යුක්තිය සහ අයුක්තිය, සාධාරණත්වය සහ අසාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර වෙනස අමතක කර මහජන නැගිටීමක් මැන බැලිය නොහැකිය.”

රටක දේශපාලන යහපැවැත්ම පවතින්නේ නීතියේ ආධිපත්‍ය හරි හැටි ක්‍රියාත්මක වන්නේ නම් පමණි. මිලියන 64ක කප්පම් කරුවකු වන ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවෙහි ආණ්ඩු පක්ෂ, එනම් රනිල් රාජපක්ෂගේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාය. කෝටි ගණනින් රාජපක්ෂ මුදල්, එල්ටීටීඊ සංවිධානයට දී එම මුදල් මගින් මෙරට සියලු ජනතාවන්ට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අනුබල දුන් ටිරන් අලස් මහජන ආරක්ෂාව සම්බන්ධ ඇමතිය. හරි නම් සිටිය යුත්තේ ඒල්ටීටීඊ සැකකරුවන් සමඟ මහ උළු ගෙදරය. එනයින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පිරී ඇත්තේ හොර තක්කඩින් ලෙස නම් දරන ඇමැතියන්ගෙනි.

සියයක් අත්අඩංඟුවට

මේ අතර වාරයේ මහජනයාගේ රැස්වීමේ අයිතිය කෙලෙසමින් පොලිසිය ගත් තහනම් නියෝග කඩ කළැයි සාමකාමී උද්ඝෝෂකයෝ මංචු ලා දඟගෙට ගෙන යන්නේ එවැනි ආණ්ඩුවකි. නීතිඥ නුවන් බෝපගේට අනුව මේ වන විට වරින් වර අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ගණන සියයකට වැඩිය.

රනිල් රාජපක්ෂ මූලෝපායික කූටෝපාය

මේ සියල්ල සිදු වන්නේ රනිල් රාජපක්ෂ විසින් දියත් කර ඇති මර්දනකාරී මූලොපායික කූටෝපායක කොටස් ලෙසය.

එහි එක් ප්‍රධාන අක්ෂයක් වන්නේ යුද හමුදාවන්ට වැඩි බලතල ලබා දෙමින් රට පුරා බිය ජනක වටපිටාවක් ඇති කිරීමයි. හදිසි නීතිය මෙන්ම පොලිස් අව නීතිය භාවිත වන්නේ ද ඒ සදහාය. ඕනෑම අව නීතික වරදක් සම්බන්ධයෙන් පොලිස් හෝ මිලිටරි නිලධාරීන් ආරක්ෂා කරන බවට, ජනාධිපති වූ දිනයේදීම රනිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව අභියස දී යුද හමුදා හමු වී දෙන ලද සංකේතාත්මක පණිවිඩය වූයේ එයයි. ඇත්ත වශයෙන්ම නම් අද මෙරට ඇත්තේ අර්ධ මිලිටරි රාජ්‍යකි.

මෙම කූටෝපායේ තවත් අක්ෂයක් වන්නේ විරෝධතාවරුවන් අතරට රිංගවා සිටි රනිල්වාදී විවිධ ලිබරල් කණඩායම් දැන් අරගලයෙන් ඉවත්ව ගොස් රනිල් රාජපක්ෂට වක්‍ර සහයෝගයක් ලබා දෙන බව ප්‍රකාශ කිරීමයි. අරගලය බෙදා වෙන් කිරීමයි. ජූලි 09දායින් පසු පාරේ අරගලය අවසන් බවත් දැන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර, රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට එක්විය යුතු බව ඔවුහු ප්‍රසිද්ධියේම කියති. මෙම පිරිස් අතර යහපාලන සමයෙහි රනිල්වාදීව සිටිමින් වරදාන ලබා ලත් සහ එකල රෑපවාහිනියේ ලාංචනය බවට සිය මූණත් තහඩු පත් කරගෙන සිටි පුරවැසි පිරිස් ද වෙති.

මෙම කූටෝපායේ තෙවන අක්ෂය නම් අරගල භූමියෙන් ඉවත්ව යන ලිබරල් මාධ්‍යම පංතික පිරිස් නියම අරගලකරුවන් ලෙසත් දිගටම අරගලයේ රැදී සිටින පිරිස් ත්‍රස්තවාදීන් සහ පැසිස්ට්වාදීන් ලෙස හැදින්වීමත්ය. මෑතදී කරු ජයසූරිය විසින් ද එම මතය පුනරුච්චාරණය කර තිබුණි.   මෙම කූටෝපායට ජාාවරම්කාර ව්‍යාපාරික දේශපාලනඥයින්ද දැන් කළ එළියේම සහය දක්වති.

 

නමුත් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ රනිල් රාජපක්ෂ යනු බටලන්දේ මාරයා ලෙස නොව ජනතාවගේ වීරයකු ලෙස නොවේ. ඔහුට හෝ සිවිල් සමාජය තුල සිටින ඔහුගේ පස්වැනි බලකායට කිසි විටෙක උසස් සදාචාරාත්මක පදනමක් හිමි වන්නේ නැත.

පස්වැනි බලකාය යනු සටන් භූමියෙහි සැඟව සිටිමින් සතුරාට ඔත්තු සපයමින් සිට තීරණාත්මක අවස්ථාවෙහි සතුරාට සහය දක්වන කූට බලවේග හැදින්වීමට යෙදෙන යුද දේශපාලනික පදයකි.

සිවිල් නීති කඩ කිරීම යනු පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සටන් ක්‍රමයකි. පාරවල් හරස් කිරීම, ගොඩනැගිලි අල්ලා ගැනීම, රාජ්‍ය සංකේත විනාශ කිරීම යනාදිය ලොව පුරාම මහජන විරෝධතාවයන්හි දී සිදුව තිබේ. ඉදිරියට ද සිදුවනු ඇත.

පුරං අප්පු වීරයකුවීම

බ්‍රිතාන්‍ය ඒජන්තවරයාගේ නිවස ගිනි තැබූ පුරං අප්පු වීරයකු වී සුදු ඒජන්තවරයා දෝහියකු වී ඇති පරිදිම ජනාධිපති නිල නිවස අල්ලා ගැනීම ඉතිහාසයෙහි වීර ක්‍රියාවක් වනු ඇති අතර ගෝඨාභය පලා ගිය දුෂ්ඨයකු බවට පත්වනු ඇත. එය එසේ වන බවට තහවුරු කිරීම අපේ වගකීමක්ද වේ. ජනමාධ්‍ය යනු ඉතිහාසයේ මුල් පිටපත වේ.

රනිල් රාජපක්ෂ සහ ඔහුගේ පස්වැනි සුදු කර පටි පස්වැනි බලකාය කියා සිටින පරිදි සිවිල් නීති කඩ කිරීම ත්‍රස්තවාදය හෝ කඩාකප්පල්කාරීත්වය නොවේ. ඒවා සුජාත දේශපාලන විරුද්ධකම් පෑම්ය.

ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණු සඳහා, සටනකට සම්බන්ධ නැති සිවිල් වැසියන්, හිතාමතාම ඉලක්ක කරගත් සන්නද්ධ ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මක ලෙස භාවිතා කිරීමය. අරගලය කිසි විටෙක එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැත.

දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ පුද්ගලික ප්‍රචණ්ඩත්වය යනු දෙකකි.අන් කිසිදු මාර්ගයක් ඉතිරිව නැතිනම්, යටත් විජිත විරෝධී අරගලයෙහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරමුණු වෙනුවෙන් කරන ලද  දේශපාලන ප්‍රචණ්ඩත්වය සලකන ලද්දේ සාධාරණ සහ යුක්ති සහගත ක්‍රියා මාර්ගයක් ලෙසය.

සුදු කරපටි කාර පස්වැනි බලකාය

අරගලය සහ විරෝධතාකරුවන් දැන් ඉතිං ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු යැයි කියන සුදු කර පටිකාර සහ තපින්නන්ගේ  පස්වැනි බලකාය චීන විප්ලවය, රැසියානු විප්ලවය, කියුබානු විප්ලවය යනාදිය දෙස බලන්නේ කෙසේද? එසේත් නැත්නම් අවිහිංසාවාදි අරගලයක මෙන්ම සන්නද්ධ අරගලයක නියුතු වූ මෙන්ඩෙලා දෙස බලන්නේ කෙසේද? ඉන්දියාවෙහි තෙලගානි අරගලය දෙස නැත්නම් 1848 වෙල්ලස්ස කැරැල්ල දෙස බලන්නේ කෙසේද?

යුක්තිය සහ අයුක්තිය, සාධාරණත්වය සහ අසාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර වෙනස අමතක කර මහජන නැගිටීමක් මැන බැලිය නොහැකිය.

මෑත කාලයෙහි ප්‍රංශය සෙළවූ වැඩ කරන ජන කොටස්වල කහ කබා උද්ඝෝෂන වලින් පසු මහ මඟ ගිනි තබන ලද වාහන නිසා එම කහ කබාකරුවන් ත්‍රස්තවාදීන් හෝ පැසිස්ට්වාදීන් යැයි කී අයෙක් වී නම් ඒ අන්ත දක්ෂිණාංශිකයෙක් පමණි.

පසුගිය ජූලි 09දා මෙරට සිදු වූයේ විප්ලවයකි. දශ ලක්ෂයක් ජනයා නිරායුධව පාරට පැමිණ ඒකාධිපති සහ ජන විරෝධී උමතු පාලකයකු පලවා හරින ලදී. එය කිසිදු විටෙක සමස්තයක් ලෙස සහ අරමුණින් ප්‍රචණ්ඩ නොවීය. එවැනි විප්ලවයක් ජනාධිපතිගේ බියර් වීදුරුව රැගෙන යාමට ලඝු කරන රනිල් රාජපක්ෂටත් ඔහුගේ සුදු කර පටි සහ තපින පස්වැනි බලකායටත් ඉතිහාසයේ හිමි වනු ඇත්තේ දේශපාලන කුණූ කූඩයයි.

මෙරට ජනයා විසින් ඒකාධිපති සහ ජන විරෝධී පාලකයකු සාමකාමී අරගලයක් මගින් පලවා හරින ලද අරගලය, මෙරට වංශ කතාවේ රනින් ලිවිය යුතුය. එහි අහුමුලු අල්ලා ගෙන රනිල් රාජපක්ෂ තපින කවර ජනරාල්වරයෙක් වුවත් සිටිනු ඇත්තේ ඉතිහාසයේ වැරදි පැත්තේය.

දැන් ඒ මහා ජන විප්ලවයට විරුද්ධව රනිල් රාජපක්ෂ සහ සමාගම, දියත් කර ඇත්තේ ප්‍රතිවිප්ලවයකි.  මෙම ප්‍රතිවිප්ලවය පිළිගැනීමේ දුෂ්ටත්වයෙන් පිරී තිබේ.

ඊට දිය හැකි භයානක ම නිදසුන නම්, අරගලයේ වර්ණවත් කොටස්කරුවන් බවට පත් මෙරට සම රිසි ප්‍රජාවට එරෙහිව රනිල් රාජපක්ෂ සහ ඔහුගේ පස්වැනි බලකාය දියත් කර ඇති ප්‍රහාරයයි. රනිල් රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කර ඇති අති විශේෂ හදිසි නීති ගැසට් නිවේදනය අනුව, සම රිසි බව විසි වසරක දඬුවමකට යටත් කළ හැකි වරදකි.

සම රිසි යැයි සැකකැරෙන අයෙකුගේ නිවෙස් දැන පොලිසියට වරෙන්තුවක් නොමැතිව පරීක්ෂි කළ හැකි අතර මෙම නීතිය මගින් ශ්‍රී ලංකාව සවුදි අරාබිය හා සමවේ. මෙය දැනටමත් ලෝක අපවාදයට ලක්ව තිබේ.

මෙහි වඩාත්ම දුෂ්ටත්වය වන්නේ  සමනළ ජීවිතයක් ගත කරන බව ජනප්‍රවාදයක් බවට පත්ව ඇති  රනිල් රාජපක්ෂ විසින්ම, මෙවැනි භයානක නීතියක් මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කොටස්කරුවන් වන සම රිසි ප්‍රජාවන්ට  තර්ජනයක් එල්ල කර තිබීමයි.

දැන් අපට මෙම ලිපියේ ආරම්භයට යළි යා හැකිය. එනම් ජනරාල් සමන් රාජපක්ෂගේ අව නීතික කියමන සහ තමන් රනිල් රාජපක්ෂ තපින්නකු බවට ප්‍රසිද්ධියේම කර ඇති පිළිගැනීම කරාය.

සියල්ල රනිල් රාජපක්ෂ ගෝතයින්ට හොඳය. අනුන්ට දඩුවම් කරනු ලැබේ.

ඉතිහාසයේ වළ පල්ලට යාමට නියමිත ප්‍රතිවිප්ලවයේ ආදර්ශ පාඨය එයයි.

අරගලයට ජයවේවා! ප්‍රතිවිප්ලවය භංගවේවා!

Archive

Latest news

Related news