Saturday, April 20, 2024

හිරේ දැමූ ජෝසෆ් ගැන නොකී කතා!

Joseph Stalin in Geneva/2011 © Sunanda Deshapriya.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුබද්ධ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ට්විටර් පණිවිඩයක් මගින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඇය සඳහන් කර තිබුණේ මෙම පුවත කැළඹුමක් ඇතිකරන එකක් බවයි.

මානව හිමිකම් ආරක්ෂකයන් වන ජෝසෆ් ස්ටාලින් වැනි අය මෑත සතිවලදී අන් කවරදාටත් වඩා පසුගිය සති කිහිපයේදී වැදගත් වන බවත් එයට සහයෝගය දක්වනවා මිස දඬුවම් නොකළ යුතු බවත් නිවේදනයේ සඳහන්.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 03 වැනිදා සවස්වරුවේ තම සංගම් කාර්යාලයේ සිටියදීයි. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හේතුව විදියට ප්‍රකාශ කළේ මැයි 28 වැනිදා උද්ඝෝෂණයක නිරත වීම.

මැයි 28 වැනිදා පැවතුණේ ගෝල්ෆේස් විරෝධතා ව්‍යාපාරයට දින 50ක් පිරීම නිමිති කරගත් උද්ඝෝෂණයක්. උද්ඝෝෂණයේ යෙදීම වරදක් නොවන නිසා කිසිවෙකු එයට අදාලව අත්අඩංගුවට ගත යුතු නැහැ. අනෙක් අතට ජෝසෆ් ස්ටාලින් පමණක් නොව, දහස් ගණනක් එදා උද්ඝෝෂණයට සහභාගී වුණා. විශේෂයෙන් දැන් ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති පිළිබඳ උපදේශක සමන් රත්නප්‍රියත් එදා සහභාගී වුණා. ඒ සියලුදෙනා අතරින් ජෝසෆ්ව අත්අඩංගුවට ගත්තේ සැබෑ ලෙසම පළිගැනීමේ අරමුණෙන් බව පැහැදිලියි.

අප කියන්නේ සමන්වත් අත්අඩංගුවට ගන්න කියා නෙවෙයි. උද්ඝෝෂණය කිරීම වරදක් නොවන නිසා, කිසිවෙක් අත්අඩංගුවට නොගන්න කියා.

ඒ විතරක් නෙවෙයි, ජෝසෆ් ස්ටාලින් වැනි කෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් එල්ලවිය හැකි ජාත්‍යන්තර බලපෑම් ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාම වසරකට පෙර, 2021 ජුලි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා තියෙනවා. ඔහු කියා තිබුණේ ජෝසෆ් ස්ටාලින්ව යුරෝපා සංගමය හඳුනන බවත්, අත්අඩංගුවට ගැනීම නිසා ජීඑස්පී ප්ලස් සහනය පවා නැති වීමේ ඉඩක් තියෙන බවත්. ඒ කතාව හැන්සාඩ් වාර්තාවේත් තිබෙනවා.

ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ආණ්ඩුවේ මඩ බලකායන් වගේම, සමහර කරුණු නොදන්නා අයත් මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. එහි ප්‍රධාන අරමුණ ජෝසෆ් ස්ටාලින් ‘පාසල් වසා දරුවන්ගේ අධ්‍යාපනය නැති කළ‘ කෙනෙකු ලෙසත්, ‘දරුවන් මිනිස් පළිහක් විදියට තියාගෙන දේශපාලනය කළ‘ කෙනෙක් විදියටත්, ‘පාසල්ලවල උගන්වන්නේ නැති‘ කෙනෙකු විදියටත් හඳුන්වමින් අවමන් කිරීම.

එහෙත් ඇත්තටම බොහෝ අය ජෝසෆ් ස්ටාලින් ගැන නොදන්නා නිසාත්, ආණ්ඩුවේ මඩ ප්‍රචාරවලට ඒ සමහර අය ලෙහෙසියෙන් අහු වෙන නිසාත් තමයි මෙවැනි කතා ඔවුන් පිළිගන්නේ.

ඇත්තටම ජෝසෆ් ස්ටාලින් ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වාගේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටියා. විශේෂයෙන් ලොකු ධනයක් නැති, දුප්පත් දරුවන් වෙනුවෙන්. ඔහු තමයි රාජපක්ෂ ආණ්ඩුව ඉසෙඩ් ස්කෝ කෙළියකින් උසස්පෙළ සිසුන්ට අසාධාරණයක් කළ වෙලාවේ ප්‍රකට ඉසෙඩ් ස්කෝර් නඩුව වෙනුවෙන් පෙනී සිටියේ. අසාධාරණ විදියට ලොකු ඉස්කෝලවලට සිසුන් බඳවාගැනීමේ ක්‍රමවලට එරෙහිව සටන් කළේ. බලවතුන් සිය හිතවතුන්ගේ දරුවන් පාසල්වලට දමා, පාසල්වල ඉගෙනගන්නා දරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙන විදියට ලොකු පාසල්වල පන්ති කාමරක පොල් පටවනවා වාගේ ළමයි විශාල ප්‍රමාණයක් දැමීමට එරෙහි වුණේ ජෝසෆ්. බොහෝ අවස්ථාවල සිසුන්ට සිදු වූ මානව හිමිකම් කඩකිරීම්වලට එරෙහිව ඔහු පෙනී සිටියා.

කොටින්ම කිව්වොත් ගුරුවරුන්ගේ දඬුවම් කිරීම් නිසා පීඩාවට පත් වූ චතුර ලාලිත, දඬුවම් නිසා මරණයට පත් වූ වෙනූෂා ආදී දරු දැරියන් වෙනුවෙන් ගුරුවරුන්ට එරෙහිව පවා පෙනී සිටි ගුරු සංගම් නායකයෙක් ජෝසෆ් ස්ටාලින්.

ලංකාවේ දෙමළ සහ මුස්ලිම් දරුවන්ට ජාතිවාදී ලෙස සිදු වූ අසාධාරණ සැලකීම් ගැනත්, විදුලිය හෝ ජලයවත් නැති දුෂ්කරම පාසල් ගැනත් දිගින් දිගටම කතා කළේ ජෝසෆ් ස්ටාලින්. ජෝසෆ් ස්ටාලින් පාසල් වැහුවායැයි ආණ්ඩුවෙන් හදා දුන් කතන්දර ගිරව් වගේ කියවන සමහරු නොදන්නේ, පාසල් වැසූ අවස්ථාවල පාසල් විවෘත කරවන්නට සහ තාක්ෂණ පහසුකම් නැති දරුවන් වෙනුවෙන් විධිමත් ලෙස පාසල් ක්‍රියාත්මක කරන්නට ඔහු කෙතරම් යෝජනා ඉදිරිපත් කළාද කියන එක.

ජෝසෆ් ගැන සටහනක ඔහු කළ දේවල් කිහිපයක් සංක්ෂිප්තව තිබුණා.

තරිඳු උඩුවරගෙදරගේ සටහනක්


© Sunanda Deshapriya

//ජෝසප් ස්ටාලින් කියන්නෙ කවුද…

පෙළ පොත් ටිකට දරුවන්ට නිසි කලට නොලැබෙනකොට ඒකට හැමදාමත් වගේම මෙවරත් අරගල කලේ මේ පිස්සා
පෙළපොත් දරුවන්ගෙ සෞඛ්‍යයට අහිතකර තීන්ත හා කඩදාසි යොදාගෙන වැඩි කොමිස් මුදලකට මුද්‍රණය කල එක හෙළිකරලා එයට විරුද්ධ වුනෙත් මූ.

” Z ” ලකුණ ගණනය වැරදියි කියලා උසාවි ගිහිං දරුවන් සිය ගානකට වෛද්‍ය විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල වලට ඇතුළත්වීමට වරම් උදාකර දුන්නෙත් මේ කාලකණ්නියා.
පාසල් නඩත්තුව සඳහා අහිංසක දේමාපියන්ගෙන් මුදල් අය නොකරන ලෙස අරගල කලෙත් මේ තිරිසනා.

පෙළ පොත්වල තිබ්බ විෂය වැරදි සිය ගණනක් පෙන්නලා දීලා ඒවා නිවැරදි කරන ලෙස අමාත්‍යංශයට බල කළෙත් මේ පිස්සා.

ශ්‍රේෂ්ඨාදිකරණ තීන්දුව අනුව පන්තියක සිටිය යුතු ළමයි 35 දේශපාලන උවමනාව මත මෙවර 40 දක්වා වැඩි කළාම එයට විරුද්ධව නඩ පවරලා තියෙන්නෙත් මේ පිස්සම තමා

ඇයි ඒ විතරක්ද අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන පත්වීම් දෙන්න යනකොට ,විදුහල්පති සේවයට දේශපාලන පත්වීම් දෙන්න යනකොට ,අධ්‍යාපනයට දරුවන්ට වන හානිය දැකලා උසාවි ගිහින් ඒව නතර කලෙත් මේ මූසලයා,

ග්‍රාමීය පාසල් වහන්න සැලසුම් හදනකොට ඒවට විරුද්ධව වැඩ කලෙත් මූ,

ඇයි ශිෂ්‍යත්ව විභාගය සමත් ළමයින්ට ජනප්‍රිය පාසල් නොදී ගමේ දරුවන්ට ඒවයෙ දොර වැහුවාම(මුදලාලිලාගෙ,දේශපාලකයන්ගෙ දරුවො දාගන්න) උසාවි ගිහින් ඒ අහිමිකළ අවස්තාව දරුවන් සියගානකට නැවත ලබාදීල දේශපාලකයන්ට අභියෝගයක් උනෙත් මූ,

නගර බද ජනප්‍රිය පාසල් වල ළමයින්ට ඇති අවස්තා ගම්බද දරුවන්ටත් දෙන්න ඕන කියල ආණ්ඩු එක්ක හැප්පෙන්නෙත් මූ.

මූ කරන තරමක් කරල තියෙන්නෙ ඕන්නැති නොසන්ඩාල වැඩමයි.තමන්ගෙ මොන එකා රජකරවන්නද මූ මේ තරම් වද වෙන්නෙ.තැන්වත් පැතකට වෙලා හිටු.නැත්නම් තෝව හම ගහල මරන්න ඕන කාලකණ්නියා.මදෑ කොරල තියෙන හරිය//

විශේෂයෙන් විදුහල්පතිවරුන් පත් කිරීමේ සිට බොහෝ අවස්ථාවල දූෂණයට එරෙහිව කතා කළේ ඔහු.

ඒ සියල්ල ඔහු කළේ ගුරු, විදුහල්පති සේවාවන්ගේ වැඩ කරන සුවහසක් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටන්වලට අමතරව.

අධ්‍යාපන ක්ෂේත්‍රයෙනුත් එහාට ගිහින් මානව හිමිකම් සහ අනෙකුත් අයිතීන් වෙනුවෙන් සටන් කරමින් මේ රටේ දරුවන්ට යහපත් රටක් හදන්නට ඔහු මැදිහත් වුණා.

ඒ විතරක් නෙවෙයි. ඔහු ගුරුවරයෙක් විදියට රස්සාව කරනවාදැයි විමසන බොහෝ අය නොදන්නේ, ගුරුවරයෙක් විදියට ඔහු කර ඇති රාජකාරි තොගය. ඕනෑම වෘත්තියක යෙදෙන වෘත්තිය සමිතියක කටයුතු වෙනුවෙන් කිහිපදෙනෙක්ව සේවයෙන් නිදහස් කරනවා. ඒක වෘත්තිය සමිතිවල අයිතියක්. ඒ වෘත්තින්ගේ යෙදෙන මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ටික රකින්නත් කවුරුහරි ක්‍රියාත්මක වෙන්න එපායැ.

එහෙත් එලෙස නිදහස් වුණාට ජෝසෆ් ස්ටාලින් තවමත් පාසලකට අනුබද්ධයි. වරින් වර ඔහු ඒ පාසලට යනවා. සෑහෙන කාලයක් යනතුරු ඔහු ඉතාම කැපවීමෙන් දුෂ්කර පළාත්වල වැඩ කරපු ගුරුවරයෙක්. එකල ප්‍රවාහන පහසුකම්වත් නැති අනුරාධපුරේ දුෂ්කර ඉස්කෝලෙක වැඩ කරද්දී ජෝසෆ් ස්ටාලින් කිරි ලොරියේ එල්ලී පාන්දර ටවුමට ආ හැටිත්, කොළඹ ඇවිත් මිතුරන්ට කරදර කරමින් පොත්පත් සහ දරුවන්ට අවශ්‍ය අනෙක් දේවල් හොයාගෙන ඉස්කෝලෙට අරගෙන ගිය හැටිත් ජෝසෆ්ගේ පරණ මිතුරන් කියනවා. ඒවා කියද්දී ජෝසෆ් ස්ටාලින් ලැජ්ජාවෙන් කතාව වෙනතක මාරු කරන හැටි අප දැක තිබෙනවා. ජෝසෆ්ට ඉතා කැප වී දරුවන්ට ඉගැන්වූ ඉතිහාසයක් තියෙනවා. අදටත් ඔහුගෙන් ඉගෙනගත් දරුවන් ඉතා ගරුත්වයෙන් හා ආදරයෙන් ඔහු ගැන කතා කරනවා.

ගුරු සංගම් නායකයෙක් විදියට කටයුතු නොකර, තමන්ගේ ගුරු සේවාවේ ඉහළ ශ්‍රේණිවලට සහ පසුව විදුහල්පති සේවයට හෝ අධ්‍යාපන පරිපාලන සේවයට යන්නට ජෝසෆ්ටත් බැරිකමක් තිබුණේ නෑ. නැත්නම් ටියුෂන් කරලා සල්ලි හොයන්නත් ඔහුට බැරිකමක් තිබුණේ නෑ. එහෙනම් දැන් වාගේ පයින් ගමන් බිමන් යන්නේ නැතිව වාහනයක් අරගෙන සුපිරි දිවියක් ගත කරන්න ඔහුටත් තිබුණා. එහෙනම් වෘත්තිය සමිතිවලටත් බැණ වදිමින්, ‘අපි හම්බ කළොත් අපි කනවා‘ තියරියෙන් ජීවත් වෙන්න ඔහුටත් බැරිකමක් නැහැ.

එහෙත් ඔහු පසුගිය සතියත් වැය කළේ ‘මේ අත්අඩංගුවට පත් වෙන කොල්ලන්ට කෙල්ලන්ට යමක් කරන්න ඕනෑ‘ කියමින්. ඒ වෙනුවෙන් ඔය ගුරු සංගම් කාර්යාලයටම වී රෑ නිදිමරා වෙහෙස වෙමින්. මදුරු කරදර විඳිමින් පැය දෙකතුනක් කාර්යාලයේ පුටුවක කුකුල් නින්දක් දමා, පහුවදා පාන්දර ගුරු මැදුර පරිශ්‍රයේ ඇති විසල් මිදුල අමදින්නේත් ඔහු. කවුරුහරි ගුරු සංගම් කාර්යාලයට ආ වෙලාවක තමන්ම නැගිට ගිහින් තේ එකක් හදා දී පිළිගන්නේත් ඔහුම තමයි.

අරගලය සාර්ථක වෙද්දී දුවගෙන ඇවිත් සෙල්ෆි දමා, මන්දිරවලට ඇතුළු වෙන සෙනඟ පිටිපස්සේ ගිහින් මන්දිර නරඹා දැන් ජෝසෆ්ලාටම බණින මිනිස්සු ඒ කතා දන්නේ නැතිව ඇති. ඇත්තටම

ජෝසෆ්ට කවදාවත් ඒ මිනිසුන්ගෙ සහයෝගය ඕනෑ වෙන්නේත් නෑ. මොකද, ඔහු මිනිස්සුන්ගෙ ගෞරවය දිනාගෙන ඔබේ මනාපෙ කඩාගන්න උත්සාහ කරන කපටියෙක් නෙවෙයි.
ඒ නිසා තමන්ගෙ පෞද්ගලික ඉතිහාසය, කරලා තියෙන දේවල් ගැන කයිවාරු ගහන්නටත් ඔහු කැමති නෑ.

දැන් රනිල් වික්‍රමසිංහට කඩේ යන අජිත් පැරකුම් ජයසිංහ කියන විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරයා දැම්ම සටහනකින් මේක අවසන් කරන්නම්.

“ජෝසප් ස්ටාලින් කියන්නෙ අපට මීට වඩා නායකයෙකු වෙන්න විභවය තිබෙන මිනිහෙක්. ඒ කොහොම වුණත්, උතුම් සහෝදරයෙක්…”

“1990 දශකයේ ඒ මට්ටමේ තිබුණු ගුරු වෘත්තීය සංගම් අද තිබෙන තත්වයට ඔසවා තබන්නට ජෝසප් ස්ටාලින් කරපු වැඩකොටස මම නම් හිතන්නෙ ගුරු සංගම් ඉතිහාසයේ ඉදිරියෙන්ම ලියවෙන්නට ඕනැ….”

– අජිත් පැරකුම් ජයසිංහ (2021/07/09)

Archive

Latest news

Related news