Wednesday, May 8, 2024

රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම

ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii)

රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට කොකා පෙන්වා තිබේ.

මෙම සාකච්ජාවට පැවැතියේ ලිබරල් මත දරන කලු තොප්පි ව්‍යාපාරය නම් කණ්ඩායම සමඟය. මෙම කණ්ඩායම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර අරගල බිමෙන් මෙයට දින කිහිපයකට පෙර ඉවත් විය. ඔවුන්ගේ මතය වූයේ දැන් විරෝධතා ව්‍යාපාර නතර කළ යුතු බවය.

මෙම සාකච්ජාවේදී කලු තොප්පිකරුවන්, රනිල් රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් තුනම කුණූ කූඩයට දමා තිබේ.

එම ඉල්ලීම් තුන මෙසේය:

  1. මර්දනකාරී හදිසි නීතිය වහාම ඉවත් කිරීම.

  2. 2022 ජන අරගලය පැන නැඟීමට හේතු වූ කරුණු සහ එම තත්ත්වයට තිරසාර විසඳුම් සෙවීම සඳහා පූර්ණ බලැති කොමිෂන් සභාවක් පිහිටුවීම.

  3. පවතින අර්බුදය පිළිබඳව අරගලකරුවන් සහ රජය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම.

රනිල් රාජපක්ෂ හදිසි නීතිය ඉවත් කර ගැනීම යන ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒ සඳහා සූදානමක් නැති බව කියමිනි.

ජන අරගලය සම්බන්ධයෙන් කොමිසමක් පත් කිරීමේ ඉල්ලීම ඔහු නිකම්ම ලිස්සා යවා තිබේ.

අරගලකරුවන් සහ රජය අතර සංහිදියා ක්‍රියාවලියක් ඇති කර ගැනීම යන ඉල්ලීමට ද අත්ව ඇත්තේ එම විපතමය.

මේ අතර නිර්පාක්ෂික අරගලකරුවන්ට පටහැනිව සර්ව පාක්ෂික අරගලකරුවෝ නමින් පෙනී සිටින කණ්ඩායමද එදිනම (05) රනිල් රාජපක්ෂ සමඟ සාකච්ජාවකට සූදානම්ව ප්‍රකාශයක් නිකුත් කරන ලදී. එම ප්‍රකාශයෙහි ඔවුන් විසින් රනිල් රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඉල්ලීම් මෙසේ දක්වා තිබුණි.

  1. ගෝඨාගෝගම ඇතුළු සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ හා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මර්දන ක්‍රියාවලිය නතර කිරීම.

  2. සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ බව කියමින් හිතුමතයට විවිධ හේතු දක්වමින් සිදු කරන මර්දනය නවතා පොදුවේ අරගලකරුවන් ඇතුළු අරගලයට දායක වූ සියලු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නවතාලීම.

  3. අලුතින් නිර්මාණය කෙරෙන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවේ සීමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු සඳහා ඊට ගැළපෙන සහ ප්‍රාමාණික සුදුසුකම්ලත් මහජන නියෝජිතයන් පමණක් පත් කිරීම සහ ජනතා අප්‍රසාදයට සහ ප්‍රතික්ෂේපවීම්වලට ලක් වූ කිසිදු මහජන නියෝජිතයෙකුට එවැනි කිසිදු තනතුරක් ලබා නොදීම.

මෙම සාකච්ඡාව සිදුවීද යන්න එදික රාත්‍රිය වන තුරුම දරන ගන්නට නොතිබූ අතර, සාකච්ඡාව පැවැතියේ නම් මෙම ඉල්ලීම්වලටද පෙර කී සන්තෑසියම සිදුවන්නට නියමිතව තිබූ බව කීමට දෙයක් නොවේ.

විශේෂයෙන්ම “ජනතා අප්‍රසාදයට සහ ප්‍රතික්ෂේප වීම්වලට ලක් වූ කිසිදු මහජන නියෝජිතයෙකුට එවැනි කිසිදු තනතුරක් ලබා නොදීම” යන ඉල්ලීම රනිල් රාජපක්ෂට නයාට අඳු කොළ මෙන් වන බව ඉර හඳ සේ පැහැදිළිය. මන්ද යත් රනිල් රාජපක්ෂ පමණක් නොව ඔහු විසින් පත්කර ඇති සියලු උපදේශක දේශපාලනඥයින්ද අයත් වන්නේ එම ප්‍රභේදයට නිසාය. රනිල් රාජපක්ෂ පමණක් නොව ඔහුගේ පක්ෂයද ජනතා ප්‍රතික්ෂේපවීමට ලක් වූ බව නොදන්නා අරගලකරුවකු සිටී නම් ඔහු/ඇය සිටිය යුත්තේ අරගල බිමෙහි නොව දේශපාලන බාලාංශ පංතියකය.

කෙසේ වෙතත් මෙම අරගල කණ්ඩායම් දෙකම ඉල්ලා ඇති වැදගත් කොන්දේසියක් වන්නේ කිසිදු අරගලකරුවකු හෝ අරගලකාරියකට එරෙහිව  නීතිමය පියවර නොගත යුතුය යනුය.

අරගලයට මුවා වී සොරකමෙහි යෙදුණූ පුද්ගලයින් පිළිබඳ කාරණය වෙනම එකකි. (ගෝටාගේ බියර් වීදුරුව ගෙන යෑම සොරකමක් නොවේ. සිහිවටනයක් ගෙන යෑමකි)

එම ඉල්ලීමෙහි පදනම් වන්නේ, අරගලය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් මෙන්ම ජනතා ප්‍රසාදය දිනූ ක්‍රියාදාමයකි යන පිළිගැනීමය.

ලොව පුරාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් විසින් මෙවැනි අරගලයන්ට සළකා ඇත්තේ එසේය. සිවිල් නීති කඩ කිරීමේ විරෝධතා ව්‍යාපාර සාධාරණ වන්නේ එම විරෝධතාවයන් සැබෑ මහජන මතය සහ අභිලාශය නියෝජනය කිරීම මගිනි.

තවද යම් බිම කඩක් අල්ලා ගෙන එහි ජීවත් වෙමින් අරගලය පවත්වා ගෙන යෑම හුදෙක් ශ්‍රී ලංකාවේ පමණක් සිදු වූ දෙයක් නොවේ.  එය ලෝක ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයකි.

දැන් අරගලකරුවන් සහ අරගලකාරියන් මර්දනය කිරීම පිම්මේ කර ගෙන යන රනිල් රාජපක්ෂගේ අවතාර  මෙම මර්දනය සාධාරණ කිරීමට “පොදු සමාව” නම් බහුබූතයක් ඉදිරියට දමා තිබේ. අඅයෙක් එම අදහස පුනරුච්චාරණය කරන්නේ නොදන්නා කමටය.

විජේදාස ගේ බොරුව

මෙම පොදු සමා කතාව වෘත්තීය සමිති සහ ආගමික නායකයින්ගේ ඉල්ලීමක් ලෙස අද විජේදාස රාජපක්ෂ විසින් කපටි ලෙස ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම ප්‍රකාශය තමන්ට අදාල නොව බව විජේදාස රාජපක්ෂ සමග සාකච්ජාවට සහභාගි වූ වෘත්තීය සමිති ප්‍රධානියකු දැනටම ප්‍රකාශ කර තිබේ.

පොදු සමා ප්‍රෝඩාව – සමාව දීමට කළ වරද කුමක්ද?

සමාව දීමට නම් කවරකු හෝ වරදක් කර තිබිය යුතුය. වරදක් කර ඇත්නම් එය අධිකරණය හමුවේ තීරණය වී තිබිය යුතුය. අරගලය සාධාරණ මහජන ව්‍යාපාරයක් විය. වරද එය මර්දනය කිරීමයි. අද මහජන අධිකරණය හමුවේත් හෙට ඉතිහාසයේ විනිශ්චය හමුවේත් විත්ති කූඩුවට නංවනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් රාජපක්ෂ මිස අරගලය නොවේ.

අප කිසි විටෙක “අරගලය අපරාධමය වරදකි” යන භීෂන දේශපාලන ප්‍රචාරයට ඉඩ නොදිය යුතුය. “දැන් ඉතිං පාරේ අරගලය ඉවරයි” කියන රනිල් රාජපක්ෂගේ සුදු කරපටිකාර සිවිල් පස්වැනි බලකාය පාර අතුගාමින් සිටින්නේ එවැනි බිහිසුණූ මතයක්ට ඉඩ සැලසීමටය.

එබැවින් මෙම පොදු සමා කතාව උපන් ගෙයිදීම පුපරුවා හැරිය යුතුය. පොදු සමා න්‍යාය පිළිගත හොත් ගෝඨාභයගේ බලහත්කාර පුනරුත්තථාපන ගැසට්ටුවේ අලු ගසා දමා රනිල් රාජපක්ෂ සිය ගණනින් අරගලකාරුවන් සහ අරගලකාරියන් එවැනි ප්‍රනරුත්ථාපනයකට යැවීමට පවා ඉඩ තිබේ.

රනිල් වික්‍රමසිංහගේ පළිගැනීමේ දේශපාලනයත් මර්ධනකාරී අතීතයත් දන්නා කිසිවකු එවැන්නක් සිදු නොවනු ඇතැයි නොසිතිය යුතුය.

ඊයේ එනම් 05දා අරගලකරුවන් සමඟ පැවැති සාකච්ජාවන්හිදී රනිල් රාජපක්ෂ විසින් පෙන්වා ඇත්තේ එම අභිලාශයයි. එනම් අරගලය මර්දනය කර රාජපක්ෂවරුන් විසින් ලබා දෙන ලද මුෂ්ඨිය හතර අත වනමින් බිය ගැන්වීමයි.

ඊට ඉඩ නොදිය යුතුය.

සේ. පියවර්ධන විසිනි.

එම කණ්ඩායම් දෙක විසින් නිකුත් කරන ලද ප්‍රකාශ පහත දැක්වේ:

හදිසි නීතිය ඉවත් කරගැනීම සහ අරගලකරුවන් මර්දනය වහා නවතා දැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් Black Cap Movement සහ ජනාධිපති රනිල් වික්‍රමංහ මහතා අතර හමුවක් අද (05) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණ. මෙම හමුවට ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ, වන් ප්ලස් සංවිධානය සහ ගෝල්ෆේස් අරගලභූමියේ අරගලකරුවන් පිරිසක් ද සහභාගී විය.

මෙහිදී Black Cap Movement හී සම කැඳවුම්කරුවන් වන විමුක්ති දුෂාන්ත හා හේමප්‍රිය කවිරත්න සහ, මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න යන මහත්වරුන් විසින් කරුණු තුනක් මුල් කරගනිමින් මෙම හමුවේදී අදහස් ප්‍රකාශ කරන ලදී.

එනම්,
1. මර්දනකාරී හදිසි නීතිය වහාම ඉවත් කිරීම.
2. 2022 ජන අරගලය පැන නැඟීමට හේතු වූ කරුණු සහ එම තත්ත්වයට තිරසාර විසඳුම් සෙවීම සඳහා පූර්ණ බලැති කොමිෂන් සභාවක් පිහිටුවීම.
3. පවතින අර්බුදය පිළිබඳව අරගලකරුවන් සහ රජය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම.

එමෙන් ම, ගාලු මුවදොරින් ඔබ්බට යෝජනාවලියේ සඳහන් කරුණු යථාවක් කරගැනීම සඳහා රජයේ මැදිහත්වීමේ වැදගත්කම ද Black Cap Movement සංවිධානයේ සමාජ මාධ්‍ය අංශ ප්‍රධානී ගුණරත්න අධිකාරි මහතා විසින් අවධාරණය කරන ලදී.

එසේම, රටේ පොදුජන මතය පාර්ලිමේන්තුව සහ පොදුජනතාව යන දෙපාර්ශවයට විතැන් ව ඇති බැවින්, දෙපාර්ශවයේ කඹ ඇදීමේ ක්‍රියා පිලිවෙත වෙනුවට, ජනතා අභිලාෂයන්ට ගරු කරමින් රටේ අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට ක්‍රියා කළ යුතු බව සංවිධානයේ සම ජාතික සංවිධායක යෂේන්ද්‍ර විජේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේ ය.

මෙහිදී අරගලකරුවන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ හදිසි නීති තත්ත්වය නුදුරේදීම ඉවත් කරගැනීමට තවමත් සූදානමක් නොමැති බවත්, එසේ ම, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය දැක්වූ අරගලකරුවන්ට යම් අසාධාරණයක් සිදු වී නම් ඒ ගැන සොයා බලා මැදිහත්වීමට පෞද්ගලික ව කටයුතු කරන බව ය. එමෙන් ම,ජන සභා ක්‍රමය හා පර්ලිමේන්තුවේ අධීක්ෂණ කරක සභා වලට තරුණ නියෝජනය තහවුරු කරණ බවත්, අරගල භූමියේ සමස්ථය නියොජනය කරන කණ්ඩායමක් සමග සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම හමුවේදී Black Cap Movement වෙනුවෙන් සොමේශ් විශ්වජිත් මහතා ද අදහස් දැක්වූ අතර, මෙම හමුව සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද සහභාගී වූහ.

04.08.2022
——————-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අරගලයේ පාර්ශ්ව අතර අද (05දා) පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අප සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයටද ආරාධනාවක් ලැබී තිබේ.

පවතින තත්ත්වයන් මත ඔහු ⁣ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බැවිනුත්, ඔහු සිය රාජාසන කතාවේදී ඉදිරිපත් කළ ඉදිරි වැඩ සැලැස්ම තුළ අප සංවිධානය විසින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් යෝජනා කරන ලද විසි වැදෑරුම් යෝජනාවලියේ බොහෝ යෝජනා ඇතුළත්ව තීබීමත් සාධනීයව සලකමින් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට තීරණය කළෙමු.

එහිදී අප සංවිධානයක් වශයෙන් අපගේ යෝජනාවලියට අමතරව පහත සඳහන් කරුණු තුන ජනාධිපතිවරයාගේ වි⁣ශේෂ අවධානයට යොමු කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිමු.

01. ගෝඨාගෝගම ඇතුළු සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ හා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මර්දන ක්‍රියාවලිය නතර කිරීම.

02. සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ බව කියමින් හිතුමතයට විවිධ හේතු දක්වමින් සිදු කරන මර්දනය නවතා පොදුවේ අරගලකරුවන් ඇතුළු අරගලයට දායක වූ සියලු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නවතාලීම.

03. අලුතින් නිර්මාණය කෙරෙන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවේ සීමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු සඳහා ඊට ගැළපෙන සහ ප්‍රාමාණික සුදුසුකම්ලත් මහජන නියෝජිතයන් පමණක් පත් කිරීම සහ ජනතා අප්‍රසාදයට සහ ප්‍රතික්ෂේපවීම්වලට ලක් වූ කිසිදු මහජන නියෝජිතයෙකුට එවැනි කිසිදු තනතුරක් ලබානොදීම.

එමෙන්ම උක්ත සාකච්ඡාවට සහභාගි වීම හරහා අප ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සංවිධානයක් වශයෙන් කිසිදු සූදානමක් නොමැති බවත්, එහෙත් සාමකාමී පොදුජන අරගලයේ ඉල්ලීම් ජනතාවට සහ රටට දිනාදීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස අප දායක වන බවට වන සලකුණු සටහන් කිරීමත් පමණක් මෙහිදී සිදු කෙරෙන බවද අවධාරණය කරමු.

තවද ඉදිරියටත් ස්වාධීන පාර්ශ්වයක් ලෙස අපගේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින්, අරගලය මූලික කොට ඉදිරිපත් කළ යෝජනා සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවිධානයක් ලෙස සක්‍රියව දායක වන බවත්, අරගලයේ මුල සිටම අප විශ්වාස කළ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා රටට අවශ්‍ය වෙනස දිනාගැනීම සඳහා මැදිහත් වන බවත් සිහිපත් කරමු.

— සර්වපාක්ෂික අරගලකරුවෝ

04.08.2022

මෙම සාකච්ජා සම්බන්දයෙන් රනිල් රාජපක්ෂගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ:

Archive

Latest news

Related news