Saturday, April 20, 2024

300ක ලැයිස්තුවක් ඇතිව රනිල් රාජපක්ෂ ආණ්ඩුව විරෝධතාරුවන් දඩයමට සැරසෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි!

ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළෙන, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම භාවිතා කරමින් බලය අල්ලා ගැනීමට හෝ රාජ්‍ය ගොඩනැගිලි පාලනය කිරීමට උත්සාහ කරන ඕනෑම කණ්ඩායම්, සංවිධාන හෝ දේශපාලන පක්ෂ තහනම් කිරීම පිළිබඳව රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

අගෝස්තු 9දා තවත් වටයක් ආන්ඩු විරෝධී උද්ඝෝෂණ සඳහා කොළඹට රැස් වීමට සැලසුම් කර ඇති බවට අනතුරු ඇඟවීමෙන් පසුව මෙම තහනම සළකා බලමින් තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.

රජයේ ගොඩනැගිලි හෝ පරිපාලන මධ්‍යස්ථාන අත්පත් කර ගැනීමට සහ අත්පත් කර ගැනීමට සහ පොදු දේපළවලට හානි කිරීමට උත්සාහ කිරීම “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්” ලෙස සැළකීමට රනිල් රාජපක්ෂ රජය තීරණය කර තිබේ. ඉන් අදහස් වන්නේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍ය නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගෙන දීර්ඝ කාලයක් නඩු නොපවරා රදවා තබා ගැනීමට ඉඩ ඇති බවයි.

එවැනි ක්‍රියාකාරකම් සඳහා ආධාර හෝ අනුබල දෙන ඕනෑම සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් තහනම් කිරීමේ හැකියාව පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය නීති උපදෙස් ලබාගෙන ඇති බවත් සන්ඩේ ටයිම්ස් වෙත වාර්තා වේ.

දැනට, පොලිසියට සහ ආරක්ෂක අංශවලට පුළුල් බලතල ලබා දෙන හදිසි නීතියක තවත්  මාසයක කාලයක් සඳහා මේ සතියේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. එය අගෝස්තු 18 වනදා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුය. රාජපක්ෂ බහුතරය ඇතිව මෙළෙස දීර්ඝ කාලයක් වුව මෙම දරුණු හදිසි නීතිය පවත්වා ගෙන යෑමට රනිල් රාජපක්ෂ සමත් වන්නට ඉඩ තිබේ.

පසුගිය දින කිහිපය පුරා  ජූලි 9 සහ 13 අතර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යැයි කියන තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීම  වේගවත් කර ඇත්තේ ද යළි මහජන නැගිටීමක් ඇතිවීම වැළැක්වීමට බව දේශපාලන විචාරකයෝ සදහන් කරති.

ජූලි 9 වැනිදා එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින බව කියන ප්‍රධාන සැකකරුවන් 14 දෙනකුගේ ඡායාරූප පොලිසිය මේ සතියේ ප්‍රසිද්ධ කරන ලදී. ලංකා ට්රුත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ එම පරීක්ෂණය ඉබි ගමනින් යන එකක් බවත්ය.

ගිනි තැබීම්, දේපළවලට අලාභහානි සිදුකිරීම සහ නිවසේ තිබූ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් තවත් 40 දෙනෙකුගේ පමණ ඡායාරුප ඉදිරි දිනවලදී මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත ඇතැයි ද ඉහත කී වාර්තාවෙහිම දැක්වේ.

රනිල් රාජපක්ෂගේ  නිවස අසල ඇති බාධක කඩා එම ප්‍රදේශයට ඇතුළු වූ බවට කියන 300ක පමණ පිරිසක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක බව තවදුරටත් එහි දැක්වේ.

සත අන්ත පුවත්පත් වාරිතා කර තිබූ අන්දමට පසුගිය සතියේ රනිල් රාජපක්ෂ විසින් කැඳවන ලද පොහොට්ටු එනම් අණ්ඩු පක්ෂ මංත්‍රී රුස්වීමට  ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ජාතික බුද්ධි ප්‍රධානී සුරේශ් සලේද සහභාගි කරවා ගෙන තිබේ. මෙයට පෙර කිසිදු අවස්තාවක හෝ ආණ්ඩු පක්ෂ මංත්‍රී කණ්ඩායමේ රුස්වීමකට ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කැදවා නැත.

මහනුවරදී මාධ්‍ය අමතා ප්‍රකාශයක් කළ රනිල් රාජපක්ෂ විරෝධතාකරුවන් පැසිස්ටීවාදීන් ලෙස නම් කරන ලදී. එමෙන්ම අරගලය තුල යම් යම් පාර්ශයවයන් ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට සැරසෙන බවද ප්‍රකාශ කර තිබුණි.

රනිල් රාජපක්ෂ විසින් දියක් කර ඇති මහා පරිමාණ මර්දනයට දේශියව මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද විශාල විරෝධයක් නැගී තිබේ. එම විරෝධය තව තවත් උත්සන්න වනු ඇති අතර සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මෙම මර්දනය පිළිබඳව තොරතුරු ලබා දීමට දැනටමත් විවිධ පිරිස් කටයුතු කරගෙන යයි.

( ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි)

 

Archive

Latest news

Related news