Wednesday, April 24, 2024

“සිරස මාධ්‍යවේදීන්ට පහරදීම අයිතීන් කෙළෙසීමක්; ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ වගකිව යුතුයි; ඔහුගේ සාක්ෂිය සැක සහිතයි” – මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

ඡායාරූපය: ප්‍රහාරයට ලක් වූ සිරස මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන්. ( සිරස අනුග්‍රහයෙනි)

‘සිරස’ ප්‍රවෘත්ති නාලිකාවේ මාධ්‍යවේදී කණ්ඩායමකට 2022 ජුලි 9 වැනි දින කොළඹ 03, 5 වැනි පටුමගෙහි රනිල් රාජපක්ෂගේ නිවස අසළ දී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ නිරනුමානවම වගකිව යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය පරීක්ෂණය අනුව නිගමනය කර තිබේ.

සිය නිගමන සහ නිර්දේශ ඇතුළත් ප්‍රකාශයක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉංග්‍රිසි බසින් නිකුත් කර තිබේ.HRCSL Press Notice 02.08.2022

මෙම පරීක්ෂණය සඳහා එම පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ කාර්ය බළකායේ (STF) අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහ විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ සහ විශේෂ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ කැඳවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ වත්මන් ජනාධිපතිවරයාගේ 5 වැනි පටුමගේ පෞද්ගලික නිවසේ සහ ඒ ආසන්නයේ ආරක්ෂාවට යොදවා තිබූ ඒකක අණදෙන නිලධාරියා බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ මහතාගේ අණ යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 140ක් එහි සිට ඇත.  “එදින මාධ්‍යවේදීන් පොලිසියට තර්ජනයක් නොකළ බවට සැකයක් නැත” යැයි එම නිවේදනය සදහන් කරයි. මාධ්‍යවේදීන් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව STF සහ පොලිසිය  විසින් මාධ්‍යවේදීන්ට පහරදීම අසාධාරණ සහ චේතනාන්විත එකක් වූ බව ද එම ප්‍රකාශය දක්වයි.

මාධ්‍යවේදීන්ට පහර දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ මහතාගේ ඍජු අණදීම යටතේ සිටි අය වූහ. පහර දෙන අවස්ථාවේ එහි නොසිටි බව ලියනගේ ප්‍රතික්ෂේප කළේය. මාධ්‍යවේදීන්ට පහරදීම ගැන තමන් දැන සිටි බවත් ඔහු ප්‍රතික්ෂේප කළේය.

නමුත් අදාළ සිදුවීමේ දර්ශන ලෙස පිළිගත් වීඩියෝ දර්ශන ඔහු මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා තිබේ. එම දර්ශන වල ඔහු සිටින බව කියවේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ මානව හිමිකම් කොමිසමට දිවුරුම් දීමෙන් ලබා දුන් සාක්ෂිවල විශ්වසනීයත්වය පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇතැයි ද මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

මෙවැනි ඉහළ පෙළේ නිලධාරියකු දිවුරුමක් පිට බොරු සාක්ෂි දීම දඩුවම් ලැබිය යුතු වරදකි.

මෙදින මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයට ඔහු නිසැකවම වගකිව යුතු බව ද මානව හිමිකම් කොමිසම කියා සිටී.

මෙම ප්‍රහාරය, ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ, වැදගත් ලෙස, සෑම ප්‍රජාතන්ත්‍රවාදයකම අත්‍යවශ්‍ය අංගයක් වන නිදහස් මාධ්‍ය අයිතීන් ද අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් එම ප්‍රකාශය සදහන් කරයි. නීතිය ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරීන්ගේ මෙම වගකීම් විරහිත හැසිරීම සාධාරණ සමාජයක ආරක්ෂාව සඳහා දරුණු, හානිකර සහ භයානක බවත් එය වැඩි දුරටත් දක්වයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කවුරුන්ද යන්න තවමත් හඳුනාගෙන නොමැති බවත්, දැනට පවතින නිල ඇඳුමෙන් ඔවුන් හඳුනා ගැනීම පහසු කාර්යයක් නොවන බවත් පොලිස් විනය පරීක්ෂණය මෙහෙයවන නිලධාරියා දන්වා සිටි තිබේ.

“එක් ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ පොලිස් පරීක්‍ෂණය සඳහා ප්‍රහාරකයින්ගේ අනන්‍යතාවය හදුණා ගත නොහැකි වීමයි. එබැවින් වර්තමානයේ  ඇති සැඟවුණු නිල ඇඳුම සිවිල් මෙහෙයුම් සඳහා සුදුසු නිල ඇඳුම නොවන බව මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර” තිබේ.

පොලිස්පතිවරයා සිවිල් මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය දැනට අඳින නිල ඇඳුම පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර විශේෂයෙන් සිවිල් රාජකාරි සඳහා නිසි නිල ඇඳුමක් තිබීමට සුදුසු පියවර ගත යුතු බවත් මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ පරීක්ෂණ ඒකකය මේ වන විට පරීක්ෂණයක් පවත්වමින් සිටින බව පොලිසිය කොමිසමට දැනුම් දී තිබේ.

එම “පරීක්ෂණය ස්වාධීන හා අපක්ෂපාතී විය යුතුය. එවැනි පරීක්ෂණයකට පහසුකම් සැලසීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ මහතා පොලිස් විමර්ශන අවසන් වනතුරු කොළඹින් පිටත පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙනත් ශාඛාවකට මාරු කරන ලෙස IGF වෙත නිර්දේශ කරනු ලැබේ.” යැයිද ප්‍රකාශය සඳහන් කරයි.

ඉහත උපදෙස් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා මෙකී නිර්දේශ දැනටමත් පොලිස්පති වෙත යවා තිබේ.

ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදීන් සහ මාධයවේදීනයන් වෙනුවෙන් ගැයුණු ගීයක්

Archive

Latest news

Related news