Tuesday, July 16, 2024

මර්දනය හමුවේ කළු තොප්පි ව්‍යාපාරය අරගලය බිමින් ඉවත් වෙයි!

කලු තොප්පි ව්‍යාපාරය ලෙස හැදින්වෙන කණ්ඩායම ගාලුමුවදොර අරගල බිමෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එය ප්‍රකාශ කරයි.

නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුලත් අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග කටයුතු කළ යුතු බව එක එල්ලේ කියා සිටි අරගල කණ්ඩායම එය වේ.

ඔවුන්ගේ නිවේදනය පෙන්වන්නේ විරෝධතා දැක්වීමේ දේශපාලනයෙන් එය ඉවත් වී වෙනත් මඟක් ගැනීමට සූදානම් බවයි.

මෙම තීරණයට ඔවුන් එලඹ ඇත්තේ දිනෙන් දින උත්සන්න වන රනිල් රාජපක්ෂගේ මර්දනය නිසා ද යන්න පැහැදිළි නැත.  අරගලයේ අයිතිය ලබා ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් ලෙස යම් යම් ක්‍රියාකාරීන් විසින් කලු තොප්පි ව්‍යාපාරය හදුන්වනු ලදී.

එම ප්‍රකාශය පහත පළවේ.

කළු තොප්පි ව්‍යාපාරය අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යන ‘අරගලය 4.0’ අරඹයි!

2022 මාර්තු මස 01 දා කොහුවල මං සන්ධියේ දී ඉටි පන්දම් දල්වමින් අප ඇරඹූ සාමකාමී අරගලය සඳහා මූලිකම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ සමාජ දේහය වසා පැතිරුණු ආර්ථික හා සමාජීය අර්බුදයත් එම අර්බුදය සඳහා විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය තුළින් අපොහොසත් වීමත් ය.

මේ හේතුවෙන් උඩුදුවන ලද ආර්ථික සමාජ අර්බුදය දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වෙද්දී එතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පැවති #GotaGoHome විරෝධය පුරවැසි විරෝධයක් ලෙස මහපාරට රැගෙන ඒම සඳහා අවිහිංසාවාදී නව අරගල මාදිලියක් හඳුන්වා දීමට අපට අවශ්‍ය විය. ඒ අනුව අවිහිංසාවාදී නිහඬ විරෝධතා අරගලයේ නව හැඩයක් ලෙස (Micro Protests) කොහුවලින් ආරම්භ කරන ලද අතර එය සීඝ්‍ර ලෙස අනෙකුත් පළාත් කරා ද ව්‍යාප්ත විය.

ආර්ථික සමාජ අර්බුදය හමුවේ සිය අභිලාශ යථාර්ථයක් කරගනු නොහැකිව ඉච්ඡාභංගත්වයට පත් පුරවැසියන්ගේ සාමූහික අවිඥානය තුළ #GotaGoHome සටන් පාඨය යථාර්ථයක් කරනු වස් තිර අධිෂ්ඨානයක් ඇති කිරීමට, නගර ගම් දනව් පුරා පැතිර ගිය නිහඬ විරෝධතාවයන් ට හැකි විය. එමෙන්ම මැයි 09 වන දාට පසුව එළඹි අරගලයේ දෙවෙනි වටය සඳහා ද ‘කුස්සියේ විලාපය’ විරෝධය තුළින් මධ්‍යම පාංතික කාන්තාවන් අරගලය කරා කැඳවීමට මෙම අවිහිංසාවාදී අරගල ආකෘතියට හැකිවිය.

අප්‍රේල් නව වනදා ‘ගාලුමුවදොර’ අරගලයේ සංඛේතීය ප්‍රකාශනය වූ පසුව ද අවිහිංසාවාදී අරගල ආකෘතියක් තුළින් පුරවැසියන්ට ලබා ගත හැකි ජයග්‍රහණ කෙතෙක් ද යන්න පිළිබඳව ලෝකයට බොහෝ උදාහරණ සපයා ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

මේ රටේ විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අපේ පරම්පරාව ආරම්භ කරන ලද ‘Gota Go Home’ අරගලය මේ වනවිට සංඛේතීයව ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ‘Gota Go Home’ සටන් පාඨය යථාර්ථයක් වී ඇත.

දැන් අපට ඉතිරිව ඇත්තේ ‘Gota Go Home’ නැමති සටන් පාඨය සමඟ අප එකඟ වූ අප්‍රකාශිත එකඟතාවයන් ජයග්‍රහණය කරවීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා නව මානයක අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කිරීමයි.

අප්‍රේල් මස 12 වන දා සිට මැයි 12 වනදා වනතෙක් ගාලුමුවදොර අරගලභූමියේ පාර්ශව ගණනාවක් එක්ව සාකච්ඡාවට ගණනාවක් පවත්වා පුළුල් සංවාද ක්‍රියාවලියක් තුළින් එලිදක්වන ලද ‘ගාලුමුවදොරින් ඔබ්බට’ යෝජනා මාලාවේ එකී අප්‍රකාශිත එකඟතාවයන් සහිත අවම පොදු යෝජනාවලිය පැහැදිලිව සඳහන් කර තිබේ.

අපගේ අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රතිසංස්කරණයං දිනාගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් සිවිල් සමාජය සහ දේශපාලන සමාජය සමඟ එක්ව පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරා යාමට අප අදහස් කරයි. එකී අරගලය අප ‘අරගලය 4.0’ ලෙස නම් කරමු.

ගාලුමුවදොර අරගලයේ සංඛේතීය ජයග්‍රහණය අප අත්පත් කර ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ හිඳිමින් අපට සිදුකල හැකි අරගලයක් නොමැති බව අපගේ විශ්වාසයයි. මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලුමුවදොර කුඩා බිම්කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බව අප දැඩිව විස්වාස කරමු. එම නිසා එකී අරගලයට පණ පොවනු වස් ගාලුමුවදොර බිම්කඩ තුළ අපගේ දායකත්වය අදින් අවසන් කරන බව මෙයින් නිවේදනය කර සිටිමු.

අරගලයට ජය!

මාධ්‍ය නිවේදනය
Black Cap Movement

Archive

Latest news

Related news