Thursday, April 25, 2024

ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස්: හැමදාකම අරගලය බිමට එන ආත්තම්මා!

ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස්. ඡායාරූපය: Bhavya Dore/The Wire

Bhavya Dore විසිනි.

ලා  නිල් ඇඳුමින් සැරසී, ආරක්ෂක හිස්වැසුම් සහ වෙඩි නොවදින කබා පැළඳ සිටින සාගරයක් වන් ආරක්ෂක හමුදා දෙසට මුහුණලා, දුර්වල, සුදු හිසකෙස් ඇති කාන්තාවක් නොසැලී සිටියි. ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් Jean Primrose Nathanielsz නොහොත් “ඇන්ටි ජීන්” යැයි ව්‍යාපාරය ආදරයෙන් හඳුන්වනු ලබන ඇය අප්‍රේල් මාසයේ සිට සතියේ සෑම දිනකම කළ පරිදි  සිය  විරෝධය දැක්වීමට මෙහි පැමිණේ.

අලුතින් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදාදා අලුයම ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට ක්ෂණික මර්දනයක් මුදා හැරියේය. එම ප්‍රදේශය අවහිර කර, කූඩාරම් කඩා ඉවත් කරන ලද අතර ඇතැමුන් අත්අඩංගුවට ගත්හ.

ඉන් කණස්සල්ලට පත්  නතානියෙල්ස් සිකුරාදා උදෑසනම යුද නිල ඇඳුමින් සැරසී සිටි පිරිමින්ට එරෙහිව දැඩි ලෙස තම අප්‍රසාදය මුදා හැරියාය. ඇය  ඒ උදෑසන සිටියේ  එක පැත්තකින් වටකර ඇති විරෝධතාකරුවන්ගේ ගම්මානයට ඇතුළු වීමට උත්සාහ කරමිනි.

ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස්. ඡායාරූපය: Bhavya Dore/The Wire

“විරෝධතාකරුවන්ගේ අතේ ගලක්වත් තිබුණේ නැහැ,” ඇය උස් හඬින් පැවසුවේ සන්නද්ධ මිනිසුන් දෙසට ඇඟිල්ල දිගු කරමින් පසුව රූපවාහිනී කැමරා දෙසට ය. “ඔවුන් අහිංසක මිනිසුන්ට හිරිහැර කරන විට අපට කේන්ති යන්නේ නැද්ද?”

ඉදිරියෙන් “අරගලය”  සහ පිටුපසින් “අපේ නිදහස සඳහා අරගලය” යනුවෙන් සඳහන් අළු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටි නතානියෙල්ස්, ජන ප්‍රසාදයක් නැති නව ජනාධිපතිවරයාට එරෙහිව ඝෝෂා කරමින් ඝෝෂාකාරී නාවිකයෙකු මෙන් බැණ වැදුණේය. මුනුපුරන් සහ මිනිපිරියන් 13ගේද  ඊළඟ පරම්පරාවේ මිනිපිරියන් දෙදෙනෙකුගේද මිත්තණියක වන ඇය පාවිච්චි කළේ වර්ණවත් භාෂාවකි. ඇයගේ වයස සඳහන් නොකරන ලෙස ඇය ඉල්ලා සිටි නමුත් තමා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්, ඉතා ජ්‍යෙෂ්ඨ කාන්තාවක් ලෙස සදහන් කරන්නැයි කීවාය. “අර අවජාතක රනිල්” ඇය කෑගැසුවා, “මෙය භාර ගත් වල් බල්ලා.”

Jean Primrose Nathanielsz. Photo: Bhavya Dore/The Wire

අප්‍රේල් 9 වැනි දින  ව්‍යාපාරය ආරම්භ වූ දා සිට ගොඩ නැගී ඇති  ඇති විරෝධතාකරුවන්ගේ තාවකාලික ගම්මානය වෙත නතානියෙල්ස් දිනපතා ගමන් කරයි. ඇය කොළඹට තදාසන්න ප්‍රදේශයක් වන වත්තල සිට දුම්රියෙන් පැමිණෙන්නේ, තදබදයට හිරවී, සමහර විට වාඩි වීමට තැනක් පවා නොමැතිව ය. “මම අපේ රට වෙනුවෙන් සටන් කරනවා,” ඇය පවසයි. “මං වගේ වයසක ගෑණු කෙනෙක්ට එන්න පුළුවන් නම් තරුණ තරුණියොත් එන්න ඕනේ.”

මෙම මස මුලදී පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් එල්ල කරන විට, නතානියෙල්ස්  ද එහි සිටියේය. දෙවතාවක් ඇයට කඳුළු ගෑස් වැදුණි. “මගේ දෑස් තවමත් රිදෙනවා” ඇය පැවසු ඇය “අප අපේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරනවා,” තවදුරටත් කියා සිටියාය. “දුප්පත් මිනිස්සු ජීවත් වෙන්න අරගලයක ඉන්නේ, අපට සටන් කරන්න වෙනවා.”

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ඇය දැනටමත් ජනප්‍රිය චරිතයකි. “ඇත්තෙන්ම මම ඇයව හඳුනනවා,” තවත් විරෝධතාකරුවෙකු වන 26 හැවිරිදි ඩිල්ෂාන් ආරියසේන පැවසීය. “මං ඇයත් සහ ඇගේ ධෛර්යයත් අගය කරනවා. වයසට ගියත් ඇය අත්හරින්නේ නැහැ”.

සර්ව පාක්ෂික සටන්කාමීන් නම් දේශපාලන කණ්ඩායමේ ප්‍රධාන ලේකම් සමිත් බෝධිපක්ෂ ඇයව ආදරයෙන් විස්තර කළේ “වෙනස් ආකාරයේ චරිතයක්” ලෙසයි. “ඇය නිතරම මෙහි ඉනිනා අතර ඇගේ හදවතින්ම විරෝධය දක්වනවා,” යැයි ඔහු පැවසීය.

ජන  අප්‍රසාදයට පත්  රාජපක්ෂ සහෝදරයන් පෙරලා දමා විරෝධතා ව්‍යාපාරය අර්ධ ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ රටින් පැන ගිය අතර පසුව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව විරෝධතාකරුවන්ගේ අවධානය යොමු වූයේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහ කිරීමටයි. තවත් බොහෝ අය මෙන්, නතානියෙල්ස් සිතන්නේත් ඔහු යා යුතු බවයි. එමෙන්ම ඇය  සටන අත නොහරියි. “හෙට මමත් එනවා උද්ඝෝෂණය කරන්න,” ඇය පැවසුවාය. “විරෝධය පවතින තාක් කල්, මමත් ඉදිරියට යනවා.”

( දි වයර් නම් ඉන්දීය වෙබ් අඩවියෙහි පළ වූ මෙම වාර්තාකරණයට ජාත්‍යන්තර කාන්තා මාධ්‍ය පදනමේ සහය ලැබී ඇත. පරිවර්ථනය අපෙනි)

 

Archive

Latest news

Related news