Thursday, April 25, 2024

මිලිටරි මර්දනයකට සැරසෙන රනිල් රාජපක්ෂගේ අපූරු පැසිස්ට්වාදය

සිය නිවස ගිනිබත් වීමෙන් පසු රනිල් රාජපක්ෂ පැසිස්ට්වාදයට නව අර්ථ නිරූපනයක් දී තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රම වෙනසක් කරා දියත් වූ අරගලය දැන් පැසිස්ට්වාදය බවට පත්ව ඇති බවයි.

මෙයට පෙර පොද් ජන පෙරමුණේ මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියන්ගේ නිවෙස් දුසිම් ගණනනාවක් මැයි 09දා රුයෙහි ගිනිබත් කරන ලද අවස්ථාවෙහිදී රනිල් රාජපක්ෂ එම ප්‍රචණ්ඩ ක්‍රියා පැසිස්ට්වාදය ලෙස හැදින්වූයේ නැත.

සිය නිවස සහ යුද හමුදාව විසින් ඉවත් කරගත් පොත් හැර ඉතිරි පොත් ගිනිබත් කිරීම රනිල් රාජපක්ෂට අනුව පැසිස්ට්වාදයකි.

පුස්තකාලයක් ගිනිබත් කිරීම පැසිස්ට්වාදය නම් රනිල් රාජපක්ෂගේ දේශපලන මහප්පා වන ජේ.ආර්. ජයවර්ධන විසින් දකුණූ ආසියාවේ වූ හොඳම පුස්තකාලයක් වූ  යාපනයේ පුස්තකාලය ගිනිබත් කිරීම හැදින්විය හැක්කේ කෙසේද?

එසේ නම් ජේ.ආර්. ජයවර්ධන පැසිස්ට්වාදියකු ලෙස රනිල් රාජපක්ෂ විසින් හදුන්වන්නේද?

පැසිස්ටිවාදය කෙසේ වෙතත් රනිල් රාජපක්ෂගේ ඉතිහාසයම ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන්ගෙන් පිරී තිබේ.

ඊට මෑතම උදාහරණය නම් රටින් පැන ගොස් තවම නීත්‍යනුකුලව ඉල්ලා අස් වී නැති ගෝඨාභයගේ අනිසි නියෝගයක් උඩ නීති විරෝධී ලෙස වැඩබලන ජනාධිපතිවරයා ලෙස තමා නම් කර ගෙන අනීතික ලෙස හදිසි නීතිය සහ ඇදිරි නීතිය පැණවීමට ක්‍රියා කිරීම තනිකරම ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීමයි.

ඇත්ත වශයෙන්ම නම් මේ අවස්ථාවෙහි සාමකාමී අරගලකරුවන් බිය වැද්දවීමට මැෂින් තුවක්කු මානාගත් ගුවන් හමුදා හෙළිකොප්ටර් යැවුයේද විරෝධතාකරුවන්ට පැසිස්ට්වාදීන් යැයි කියන රනිල් රාජපක්ෂය.

ඇදිරි නීතිය පනවා තමන්ට අවශ්‍ය පරිදි මිලිටරි බලය පාවිච්චි කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් මර්දනය කළ හැකි යැයි කල්පනා කරන්නේ රනිල් රාජපක්ෂය.

අරගලය පැසිස්ට්වාදීන් බව කියන්නේ එවැනි මුග්ද පාලකයෙකි.

තමන්ගේ අපූරු පුස්තකාලය ගැන කතා කරන නමුත් එපමණ පොත් කියවා ගැනීමෙන් පසුව හෝ පැසිස්ටිවාදය යන්න නොදන්නා රනිල් රාජපක්ෂගේ දැන ගැනීම පිනිස පැසිස්ටිවාදය පිළිබඳ නිර්වචනය ද මෙසේ පළ කරමු.

 

විකිපීඩියා ශබ්ද කෝෂය රොබට් ඕ පැක්ස්ටන් නැමැති ඉතිහාසඥයා උපුටා ගනිමින් ෆැසිස්ට්වාදය නිර්වචනය කර ඇත්තේ මෙසේය.

ප්‍රජාතන්ත්‍රවාදී සාරයන්  හෝ නෛතික රාමුව නොසලකා අභ්‍යන්තරික ජන ශුද්ධයන් ද  බාහිරට  කෙරෙන ආක්‍රමණයන් ද සිදු කෙරෙන මිලිටරිවාදය සහ ජාතිකවාදය මත පදනම් වූ පක්ෂයක් ලෙස එක්වූ එක්සත්කම,  බලය හා වාර්ගික පවිත්‍රත්වය විශ්වාස කරන කණ්ඩායමක පාලනයක්.

සුනන්ද දේශප්‍රිය.

 

 

 

 

Archive

Latest news

Related news