Thursday, April 25, 2024

හොරුන්ගේ සහ මැරයින්ගේ ජනාධිපති ලෙස නම් කර ඇති රනිල් රාජපක්ෂ පළවා හරිමු! – සුනන්ද දේශප්‍රිය

පසුගිය මැයි 09දා මහින්ද රාජපක්ෂගේ මැර බලකාය විසින් සාමකාමී ගෝටා ගෝ ගම විරෝධතාකරුවන්ට පහර දීමේ විපායකයක් ලෙස ජනාධිපති තනතුරෙන් ඉවත් වීමට නියමිත වූ ගෝටා බේරා ගන්නා ලද්දේ රනිල් රාජපක්ෂය.

එමෙන්ම ඔහුට නීති විරෝධී ලෙස පලා යාමට හැකිවන සේ කාලය ලබා දෙමින් ආරක්ෂාව ලබා දෙන ලද්දේද රනිල් රාජපක්ෂය.

මැයි 11දා රනිල් රාජපක්ෂ, ගෝටාභයගේ කුලී අගමැති ලෙස පත් නොවූයේ නම්  ගෝටා පලා යන්නට තිබුණේ මහින්ද රාජපක්ෂත් රැගෙනය.

එසේ වී නම් මැයි මාසයේ සිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටත් අන්තර් ජාතික ආධාර ලබා ගැනීමටත් හොඳටම ඉඩ තිබුණි.

එම මාස දෙක තුළ මෙරට ජනයා කබලෙන් ලිපට වැටුන අතර රනිල් රාජපක්ෂ ගෝටා වන්දනාවේ යමින් වැල් බයිලා ගායනයක නිරත විය.

මැයි-ජූනි මාසයන්හි මෙරට ජනයා මුහුණ දුන් ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට සහ එම අසීරු තත්වයන් යටතේ පෝලිම්වල ඹෟෂධ නැතිව  මිය ගිය සියලුම ජනයා වෙනුවෙන් රනිල් රාජපක්ෂ වගකිව යුතුය.

අවසානයේදී පසුගිය 09දා  දශලක්ෂ සංඛ්‍යාත ජනයා විදී බැස ගෝටා-රනිල් ගෙදර පල යැයි සාමකාමී උද්ඝෝෂනයක නිරත වී ගෝටා ඇදුම් නැතුව පලා යන තත්වයට පත් කළේය.

මේ වනාහී මෙරට ඇති වූ දැවැන්තතම සාමකාමී ජනතා උද්ඝෝෂනය බව නිරනුමානය. එම උද්ඝෝෂනය හුදෙක් ගෝටා පලවා හැරීමට කළ එකක් නොවේ. රනිල් රාජපක්ෂ පලවා හැරීමද උද්ඝෝෂණයේ මුඛ්‍ය අරමුණක් විය.

කිසිවකු මෙම ජනතා නැගිටීම ලුහු කොට නොසැළකිය යුතුය.

කෛරාටික ගුන්ඩු දේශපාලනයේ කෙළ පැමිණියකු වන රනිල් රාජපක්ෂ තමාට අනුකම්පාව සහ රාජපක්ෂ සහාය ලබා ගැනීම පිනිස සිය නිවෙස ගිනිබත් වන්නට සැලසූ බව දැන් සාක්ෂි මගින් තහවුරු වී තිබේ. රනිල් රාජපක්ෂගේ නිවෙස වැටලූ විරෝධතාකරුවන් වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීනට පහර දී පළවා හැරියේද එම ගිනි ගුණ්ඩුවේ රහසිගත බව රැක ගැනීමටය විය හැක.

ඇදිවත පමණක් ඇතිව පලා ගිය රාජපක්ෂ හැතිකරය රැක ගැනීමට රනිල් රාජපක්ෂ දරන ලද ප්‍රයත්න දැන් කව්රැත් දනී. ගෝටා සමඟ සාකච්ජා කරමින්  හානි අවම කර ගැනීමේ උපායවල් සෙවූයේ ද රනිල් රාජපක්ෂය.

මේ අතර රනිල් රාජපක්ෂ සැට්ටැඹියෝ සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය අපහාසයට පත් කරමින්, සිරස මාධ්‍ය ජාලයට විරුද්ධව ප්‍රචාරයක් දියක් කළහ.

ගෝටා ගෙදර පල විරෝධතාවය දැන් ඉතිං අවසන් යැයි රනිල් රාජපක්ෂ කේවට්ටයෝ දැන් උපදෙස් දෙමින් සිටිනවා ඇත. පසුගිය 09දාට කැඳවන ලද මහා උද්ඝෝෂනය කොළඹට ඇවිත් ආපසු යනු ඇතැයි කීවේ ද එවැනි කේවට්ටයෝය.

එසේ සිතා සිටින්නේ නම් රනිල් රාජපක්ෂ ද රාජපක්ෂ හැතිකරය ඉගෙන ගත් පාඩමට වඩා භයානක පාඩමක් ඉගෙන ගන්නට තිබේ.

රනිල් ගෙදර පල විරෝධතාවය ඊළඟ වතාවෙහි නැගෙනු ඇත්තේ සුනාමියක් ලෙස බව කේවට්ටයින්ට නොතේරුනද මහා ජනයා දනී.

මෙවැනි තත්වයක් තිබියදී රාජපක්ෂවාදී හොරුන් සහ මැරයින් එකතු වී තමන්ගේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස රනිල් රාජපක්ෂ තෝරා ගෙන තිබීම අරුමයක් නොවේ. තමන්ගේ ආරක්ෂාව සඳහා පිදුරු ගහක පවා එල්ලෙන අගාධයකට වැටී සිටින රාජපක්ෂ වහල්ලු තමන්ගේ ආරක්ෂකයා ලෙස රනිල් රාජපක්ෂ වෙතට දැන් හැරී තිබේ.

රනිල් රාජපක්ෂ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති මෙම ලැයිස්තුව දෙස බලන්න.

ප්‍රසන්න රණතුග, නිමල් ලසා, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ටිරන් අලස්, ධමිමික පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු, කරුණා අම්මාන්, සනත් නිශාන්ත  … යනාදීන්ය.

මෙැවැනි මැරයින්ට සහ වංචාකාරීන්ට අද රනිල් රාජපක්ෂ හැර අන් නායකයකු නැත.

මෙලෙස රනිල් රාජපක්ෂ ජනාධිපති කරවීමේ රාජපක්ෂ හෙංචයින්ගේ සැළැස්ම කුමක්ද?

පළමුව රාජපක්ෂ හැතිකරය සහ අනෙක් දූෂිකයින්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම වළක්වා ගැනීමය.

දෙවනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ස්වාධීන ආයතන පද්දතිය ශක්තිමත් කරන 21වන ව්‍යවස්ථා සංසෝධනයට ඉඩ නොදී විජේදාස රාජපක්ෂ සහ රනිල් රාජපක්ෂ ගෙන ආ ව්‍යාජ 22වන සංසෝධනය සම්මත කර ගැනීමටය.

තෙවනුව රනිල් රාජපක්ෂ ලවා විරෝධතා මර්දනය කරවා යළි තමන් බලයට ඒමට මඟක් පාදා ගැනීමටය. සිය නිවස ගිනි තැබුවේ හිට්ලර්වාදීන් යැයි රනිල් රාජපක්ෂ දැනටම කියා ඇත්තේ එවැනි මර්දනයකට අරඇදීමක් ලෙසය.

රාජපක්ෂ හෙංචයින්ගේ හීන මොනවා වුවත් රනිල් රාජපක්ෂ, තාවකාලිකව  හෝ පොහොට්ටුවේ ජනාධිපති බවට පත් වුවහොත් ශ්‍රී ලංකාව අන්තර් ජාතික වශයෙන් හුදකලා වූ සහ දේශීය වශයෙන් අරාජිකත්වය කරා ගිලා බසින දේශයක් බවට පත්වනු නොඅනුමානය.

මෙරට ජනයා රනිල් රාජපක්ෂ සිය නායකයා ලෙස දවසකට හෝ පිළි ගැනීමට සූදානම් නැත.

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින අර්බූදයට ඇති හොදම විසදුම වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් හැකි ඉක්මණින් මහා මැතිවරණයට ගොස් සිය නියෝජිතයින් පත් කර ගැනීමට මහා ජනතාවට අවස්ථාව ලබා දිමයි.

රාජපක්ෂ හැතිකරය සහ රනිල් හැතිකරය දේශපාලයෙන් අතුගා දැමිය හැක්කේ එළෙසය.

ඊට පෙර මහා ජනයා  මුහුණ දී සිටින බරපතල ආර්ථික ගැටළු වලට වහා සහන සැපයීම සදහා අන්තර් වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වේ. එවැනි අන්තර් වාර ආණ්ඩුවක් තුළ  විරෝධතාකරුවනට නිසි තැන ලබා දිය හැකි යාන්ත්‍රණයක්ද පිිහිටු විය යුතුය.

මේ කිසිවක් පොහොට්ටු ජනාධිපති අපෙක්ෂකයා වන රනිල් රාජපක්ෂට ඉටු කළ නොහැකිය.

මෙරට යළි අගාධයකට නොහෙළා පැත්තකට වී සිටින ලෙස මෙරට සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග රනිල් රාජපක්ෂට අවවාද කළ යුතුය.

අද දවසේ තීරණාතමක මෙහෙවර ගෝටාගේ සෙවැනැල්ල වන රනිල් රාජපක්ෂ බලයෙන් නෙරපා හැරීමය.

Archive

Latest news

Related news