Thursday, April 25, 2024

ජන අරගලයේ දෙවන අදියර ; දළ මාර්ග සිතියමක් – සුනිල් විජේසිරිවර්ධන

1. අප වැටී සිටින ගැඹුරු හා බැරෑරුම් අර්බුදය හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ජන මනසේ පැවති අඳුර , බිය හා අවිනිශ්චිතතාව තුරන් වී අප සිරවී සිටි දීර්ඝ අඳුරු උමග හරහා ආලෝකයක් දැකිය හැකි තැනකට අප සේන්දු වී ඇතැයි යනු මගේ අදහසයි. එනම් ජන අරගලයේ උච්ඡතර අවස්ථාව සේ සැලකිය හැකි ජූලි 09 දා සිදුවූ විප්ලවකාරී මහජන නැගිටීම නිසා අප හිරවී සිටි දේශපාලන ගැටය කැපී ඉදිරියට යාමට ඉඩ හරිනසුළු නව දේශපාලන මොහොතක් උදාවී ඇතැයි කිව හැකිය.
ජන අරගලයේ අමාරු නමුත් සරල අදියරක් ඉන් නිමා විය . එනම් රාජපක්ෂ පවුල් දේශපාලනය ඉදිරියට ගෙන යාමට ඇති හැකියාව අවසන් කෙරිණි. (එහෙත් ඔවුන්ගේ බලය – දේශපාලන , ආර්ථික හා මිලිටරි බලය – අවසන් කෙරුනේ යැයි ඉන් අදහස් නොවේ; ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවට පිටින් බලය පවතින ආකාර ගැන වැටහීමක් නැති නීතීවේදීන්ට මේ කාරණය තේරුම් කිරීම පහසු නැත,රාජපක්ෂවාදය දේශපාලනයෙන් තුරන් වනු ඇත්තේ පවතින බල දේශපාලන ව්යූහයන් බිඳ දමමින් නව ජනරජයක් ස්ථාපනය කළ හැකි දේශපාලන පර්යායක් ඉදිකිරීමෙන් පමණි. ) එපමණක් නොව , පවතින (225 ම එපා ! යන ජනප්‍රිය සටන් පාඨය විසින් සංඥා කළ පරිදි ) පාර්ලිමේන්තුව මේ වනවිට මහජන වරම මුළුමනින්ම අහිමි වූ ගර්හිත තත්ත්වයට පත්වී ඇත.

2. ජූලි 09 දා පශ්චාත්විජිත ඉතිහාසයේ දක්නට නොලැබුණු අමාරුම දේශපාලන පිම්මක් ලාංකික මහජනයා විසින් මහත් සේ සාර්ථකව පනින ලදී. මෙය අමාරු අභියෝගයක් ලෙස සලකන්නට සිදුවන මුල්ම සාධකය නම් , ‘ හුදෙක් එළවීම’ අරමුණ කරගත් විශාල පරිමාණයේ මහජන නැගිටීමක් තනි සංවිධිත වෘත්තික දේශපාලන නායකත්වයකින් තොරව සිදුවීමට තිබුණ අසීරුකමයි. විශේෂයෙන්ම දක්ෂිණ ආසියාවේ එවැනි අරාජික නැගිටීමවලට සාමාන්‍යයෙන් ආවේණික ප්‍රචණ්ඩත්වය කිසිසේත් මෙම නැගිටීම තුළ නොවීය ; අපගේ සාමාන්‍ය විරෝධතා දේශපාලන උද්ඝෝෂණවලට වෙනස්ව බොහෝ දුරට සාමකාමී, නිර්මාණශීලී හා පරිණත ලකුණු මෙම ජූලි 09 නැගිටීම විසින් පෙන්වන ලද්දේ එය සම්ප්‍රදායයික දේශපාලනයෙන් ඇට්ටකුණා නොවූ නව පරම්පරාවක් විසින් විශාල වශයෙන් නායකත්වය දුන් නිසා බව පිළිගත හැකිය.

3. අප්‍රේල් මසින් ආරම්භ වූ මෙම අරගල ක්‍රියාදාමයේ වේගවත් මෝරායාම තුළ එහි ආරම්භයේ ප්‍රකාශ වුණු හුදු ‘ පුද්ගලයන් එළවීමේ’ අභිලාෂය අතික්‍රමණ කරමින් රාජපක්ෂවාදී දේශපාලනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිර්‍රීමේ ඉමක් දක්වා පැමිණ ඇත. එපමණක් නොව හුදෙක්ම ‘ අතෘප්තිකර දේශපාලන රාමුවක් බිඳ දැමීමේ ’ අභිලාෂය අතික්‍රමණය කරන්නාවූ අනාගතය ගොඩනැගීම දෙසට යොමුවන ප්‍රතිරචනාත්මක අදහස් ද ජන මනස තුළ සෙමින් සෙමින් හෝ කැටිවෙමින් පවතී. ඒ තුළ නිරවුල් හා විස්තරාත්මක චිත්‍රයක් තවම දකින්නට නැත. එහෙත් ‘ පරණ දේශපාලනය තවත් එපා’ යන දැඩි අභිලාෂය නම් ඉතා පැහැදිලිය ; එමගින් නව සමාජ ගිවිසුමක් මත සැකසෙන නව දේශපාලන පර්යායක් ඔස්සේ බිහිකරගත යුතු නව ජනරජයක් පිළිබඳ මහජන අභිලාෂයක් කිසියම් තරමින් හෝ ප්‍රකාශ වෙමින් පවතින බව අවධාරණය කළ යුතුයි

4. පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් ගර්හිත තත්ත්වයට පත් වීම නිසා දේශපාලන සමාජයට (වෘත්තික දේශපාලනඥයින් ට ) පෙර පුරුදු රටාවට අනුගතව කටයුතු කරන්නට නොහැකි තත්ත්වයක් සෑම අතින්ම උදාවෙමින් ඇත. ( මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන අතිබහුතර පිරිසකට මහජනයා හමුවීමට නොහැකි තරමට ඔවුන් ප්‍රතික්ෂේප වී ඇත )
වෘත්තික දේශපාලන නායකයෝ ජූලි 9 දක්වාම වාගේ පාක්ෂික බල දේශපාලනයේ සීමාවෙන් ඔබ්බට කල්පනා කිරීමේ හැකියාවක් පුරුදු පරිදි නොපෙන්වූහ. නමුත් දැන් ඔවුන් අතරින් සමහරුන්ට – විශේෂයෙන් විපාක්ෂික නායකයින්ට – කරුණු දෙකක් සමග එකඟ වීමට අරගලයේ ජයග්‍රහණය නිසා බල කෙරී ඇති බව පෙනේ.
# අරගලයේ සුජාතබව පිළිගැනීම. එය තනි බල කණ්ඩායමකට අයත් කරගත නොහැකි බව පිළිගැනීමට සිදුවීම.
# තමන්ට තනි බලවේගයක් ලෙස අනාගතයට මුහුණ දීම දුෂ්කර බවත් , කිසියම් ආකාරයේ සන්ධානගත මැදිහත් වීම් අවශ්‍ය බවත් ඒත්තු යාම

5. මේ තත්ත්වය අතිශයින් සුබදායි සන්දර්භයන් අරගලයේ දෙවන අදියර සඳහා නිර්මාණය කර ඇත.
මෙයින් ඉදිරි මාවත එළිපෙහෙළි කර ගැනීමට අත්‍යාවශ්‍ය වන තවත් මානයක අන්‍යොන්‍ය අවබෝධයක් හා ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් හා හැකියාවක් මතුවී ඇත. එයනම් ජන අරගලයේ බහුවිධ නායකත්වයන් හා වෘත්තික දේශපාලනඥයින් අතර සංවාදයක් හා ඒකාබද්ධව ක්‍රියාත්මක වීමට අවකාශයක් මතුවීමයි. මීට පෙර පාක්ෂික හා නිර්පාක්ෂික දෙබෙදුම තදින් ලකුණු වී තිබුණ බව සිහි කළ යුතුයි. මේ දෙබෙදුම නියමාකාරයෙන් පියවිය හැක්කේ එක් අතකින්;
( අ) වෘත්තික දේශපාලනඥයින් මේ පාර්ලිමේන්තුවේ රාමුවෙන් බැහැරට ගොස් ( එනම් අරගලයේ සුජාතබව සම්පූර්ණයෙන් පිළිගැනීම මත පදනම් වී) අනාගතය ගැන සැලසුම් කිරීම උදෙසා වඩා විවෘත සංවාද වේදිකාවක් සකසා ගැනීම මගිනි.
(ආ) එමෙන්ම අනෙක් අතින් අරගලයේ විවිධ නියෝජිතයන් පළමුව තමන් අතර මූලික එකඟතාවයන් හා සම්බන්ධීකෘත තත්ත්වයක් නිර්මාණය කර ගැනිමට අවංකව හා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ට අනුකූලව උත්සාහ කිරීම තුළිනි. එමෙන්ම ඒ සමග ඔවුන් වෘත්තික දේශපාලනඥයින්ගේ අනාගතකාරක දායකත්වයේ අවශ්‍යතාව පිළිගන්නා තැනකට ආ යුතුය.
(ඇ ) මේ මොහොතේ අර්බුදයෙන් ඉකුත්වී සැබෑ ඉදිරි ආරම්භයක් ලබාගැනීමට නම් ඊට දායක විය යුතු තවත් වැදගත් පාර්ශ්වයක් ඉහත දෙපිරිසේම අවධානයට ලක්විය යුතුය; ඔවුන් නම් දීර්ඝ කාලයක් සක්‍රිය පුරවැසියන් ලෙස දේශපාලන/සමාජ /ආර්ථික/සංස්කෘතික යනාදී ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටි , එබැවින් අරගලය සමග මෙන්ම දේශපාලන ලෝකය සමග විවිධ මට්ටමින් සම්බන්ධ වී සිටින වෘත්තික ක්ෂේත්‍රවල / හෝ වෘත්තීක සංවිධානවල නියෝජිතයන් , පොදු හා විෂයානුබද්ධ විද්වතුන් , දියුණු ප්‍රජා නායකයින් සහ වෙනත් මත නායකයින් වැනි දකුණේ , නැගෙනහිර , උතුරේ හා මැද රටේ ප්‍රගතිශීලී ගැහැනු හා පිරිමි බලපෑම්කරුවන්ය. ඔවුන් වනාහී මහජන අරගලයේ අභිලාෂයන් වඩා දියුණු ආකාරයෙන් නියෝජනය කරන පුරවැසි නායකයින් ලෙස සැලකීමේ වැරැද්දක් නැත.

6. වෘත්තික දේශපාලනඥයින් / පක්ෂ අතර දේශපාලන අර්බුදය ජයගැනීමේ අරමුණ පෙරදැරිව සාකච්ඡා ඇතිවෙමින් පවතී. අපගේ බලවත් ප්‍රාර්ථනාව වන්නේ , එම සාකච්ඡා ක්‍රියාදාමයන් ඩීල් දේශපාලනයෙන් හා පක්ෂ-කේන්ද්‍රීය බල අභිලාෂයෙන් තොරව හා අනාගත දේශපාලනය විසින් ඉල්ලා සිටින ශක්තිමත් ආචාරධාර්මික පදනමක් මත දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් අරමුණු කරගන්නා එකඟතාවන් කරා ගමන් කරාවා! යන්නයි. තවද ජන අරගලයේ අභිලාෂයන්ට ගරු කරමින් දේශපාලන සමාජය තුළ ඇතිවෙන සංවාදය උතුර හා දකුණ යා කරන්නාවූ මෙන්ම, මූලික සමාජ භේදවල ( කුලය , ලිංගිකත්වය , පන්තිය යනාදියේ ) බලය හීනවූ නව ශ්‍රී ලංකාවක් ද අරමුණු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

7. අර්බුදයෙන් ගොඩ එමින් වේගයෙන් අනාගතය ගොඩ නැගීමට නම් සමාජයේ විවිධ බෙදීම් ශමනය කිරීමට සක්‍රිය මාවතක් ගැනීම අත්‍යවශ්‍යය. මන්ද යත් ඉදිරිගාමී ගමනේ විවිධ අභියෝග ජයගැනීමට නම් අප සතු සියලු ආකාරයේ මානව ශක්තීන් ඒකරාශි කර ගැනීමට අවශ්‍ය නිසාය. ඒ සඳහා විවිධ ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය වන අතර මුලු සමාජය එක්සත්ව , සාමකාමීව හා අපේක්ෂාවෙන් යුතුව ඉදිරියට ගෙන යාම උදෙසා ඊට සුදුසු හා ප්‍රඥාවන්ත සාමුහික නායකත්ව වේදිකාවක් ආදර්ශයක් වශයෙන්ම ජනතාවට ( හා ජාත්‍යන්තරයට) පෙනෙන්නට තිබිය යුතුය.

8. මෙම සාමුහික පරිශ්‍රමයේ පිටුබලය සහිතව යහපත් නව රාජ්‍යත්වයක් හා ආණ්ඩුකරණයක් උදෙසා අවශ්‍ය කෙරෙන නව සමාජ ගිවිසුමක් අප විසින් කල් නොයවා ගොඩ නැගීම අවශ්‍යය. එය කළ හැකි වන්නේ සමාජ ජීවිතයේ සෑම මානයක්ම ( දේශපාලන , සමාජ , සංස්කෘතික හා ආචාරධාර්මික යනාදී වූ) ආවරණය කෙරෙන පරිදි සෑම ආකාරයේම අදාළ පරදු දරන්නන් අතර සාමුහික යහපත උදෙසා පොදු සම්මුතීන් ගොඩ නැගීම අරමුණු කොට කෙරෙන දියුණු සංවිධිත සංවාද මගින්ය ; එලෙස සවිමත් ඉදිරිගාමී නව සමාජ ගිවිසුමක් බිහිකිරීමට සියලු පරිශ්‍රමය අප විසින් අවංකව දැරීම මගින්ය .

9. විශේෂයෙන් මෙම ක්‍රියාදාමයන් ට විශාල ලෙස දායක විය හැකි දේශපාලන කණ්ඩායම්වලට විශේෂ වගකීමක් තිබේ. එනම් සාමුහික යහපත පිළිබඳ පොදු අභිලාෂයන්ට හානිකරන යල්පිණූ ආන්තික හා පාර්ශවීය දේශපාලන මාවත් වෙතට සමස්තය ඇදීමෙන් වැලකී, පොදු මෙන්ම දේශපාලන , සමාජ හා ආර්ථික මානයන් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී හරයන් සැබෑ ලෙස භාරගැනීමයි. මේ අභියෝගය බැරෑරුම් ලෙස භාරගන්නා දේශපාලන පක්ෂ විවෘත හා ස්වයංවිවේචනාත්මක පිළිවෙතකට එන්නේ නම් මුළු සමාජයම හිරවී සිටින විශාල ආචාරධාර්මික ගැටළුවක් එයින් විසඳෙනු ඇත; ප්‍රජාතන්ත්‍රවාදී , සාධාරණ හා සාමකාමී සමාජයක් ඔබේ අරමුණ නම් ඒ ලක්ෂණ දැන්ම ඔබ හා ඔබේ පක්ෂය සතුව තිබිය යුතු යැයි සමාජය ඔබෙන් බලාපොරොත්තු වන බව කරුණාකර වටහා ගන්න .

10. අරමුණ , මාර්ගය හා කතෘකයා එකම සත්තාවක තුන් පැත්තකි. දූෂිත මිනිසුන් ට දූෂිත මාර්ග/ ක්‍රමවේද ඔස්සේ යමින් අදූෂිත රටක් නිර්මාණය කළ නොහැකිය . අත්තනෝමතික හා උද්ධච්ච ආකල්ප ඇති මිනිසුන් ට අධිකාරවාදී මාර්ග / ක්‍රමවේද ඔස්සේ යමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කළ නොහැකිය . කළහකාරී මිනිසුන්ට ප්‍රචණ්ඩ මාවත් / ක්‍රමවේද ඔස්සේ යමින් සාමකාමී රටක් නිර්මාණය කළ නොහැකිය.
යහපත් රටක් යනු යහපත් මිනිසුන් විසින් යහපත් මාර්ග ඔස්සේම පමණක් නිර්මාණය කළ හැකි යතාර්ථයකි. මේ විශ්වීය ආචාරධාර්මික නීතියට වංචා කිරීමෙන් ලැබෙන්නේ ඊට සුදුසු අනිටු ඵල බව විනාශය කරා අප එක එල්ලේ ආ දශක හතක ගමනින් අපට ඉගෙනගන්නට ඇති සරල පාඩමයි.

Sunil Wijesiriwardana / මුහුණූ පොතිනි

Archive

Latest news

Related news