Thursday, April 25, 2024

ජනාධිපති ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය –   කරු ජයසූරිය, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස ඉල්ලා සිටින ශ්‍රී ලාංකේය ජනතාව මාස ගණනාවක් තිස්සේ ගෙන යමින් සිටින දැවැන්ත ජන අරගලය මේ වනවිට ඉතාමත්ම තීරණාත්මක මොහොතකට එළඹ තිබේ. ඔවුන් නගමින් සිටින හඬ පිළිබදව නෑසූකන්ව සිටි මේ රටේ පාලකයන්ට දැන් සිය තීන්දුව රටට ප්‍රකාශ කල යුතු අවස්ථාව එළඹ තිබේ.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ඒකායනව පෙනී සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ අභිවෘද්ධිය වුදෙසාය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ අයිතිවාසිකම් වුදෙසාය. ඒ අනුව අපගේ පැහැදිලි ස්ථාවරය වන්නේ ජනතාවගේ හඩට කන්දෙමින් ජනාධිපති ප්‍රමුඛ වත්මන් සමස්ථ ආණ්ඩුව වහාම සිය ඉල්ලා අස්වීම විධිමත් ආකාරයට රටට නිවේදනය කලයුතුව ඇති බවය.

මෙම පසුබිම තුළ මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ හා ඒවායේ නායකත්වයන් වෙත පුළුල් හා බැරූරුම් වගකීමක් පැවැරෙන අතර ඔවුන් එහිදී පොදු සම්මුතියකින් යුතුව කටයුතු කිරීමද ඉතාමත්ම වැදැගත්ය.

එමෙන්ම රටේ සාමය හා ජනතාවගේ ආරක්ශාව පිණිස වගකීමකින් යුතුව බැදී සිටින මේ රටේ ආරක්ෂක අංශ සිය ඒකායන අරමුණ කරගත යුත්තේ තමන් වෙත පැවැරෙන එකී කාර්‍යභාරය පිළිබදවය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් කෙරෙහි මෙන්ම ජනතාවගේ ආරක්ශාව  මුල්කරගත් ඔවුන්ගේ එම වගකීම රටටත් සමස්ත ලෝකයටත ආදර්ශයක් වන ආකාරයට සිදුකරනු ඇතැයි අපගේ අපේක්ෂාවය.

රටේ යහපත වුදෙසා ගතයුතු ක්‍රියාමාරග පිළිබදව මේ රටේ දේශපාලන බලවේගයන් හා සිවිල් සමාජය වෙත නිවැරදිව අවවාද හා අනුශාසනා කරන ලද අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද අතිඋතුම් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික හා ක්‍රිස්තියානි පූජාප්‍රසාදීන් වහන්සේලා ද හින්දු හා ඉස්ලාම් පූජක උතුමන් ද ඉටුකරන ලද වැදගත් කාර්‍යභාරය  මේ මොහොතේ තවදුරටත් රටට අවශ්‍ය වන්නේය යන්න අපගේ අදහසයි. ඒ අනුව මේ රටේ සියළුම පාර්ශවයන් වෙත උන්වහන්සේලාගේ අවවාද හා අනුශාසනා ලබාදෙනු ඇතයි අපි බලාපොරොත්තු වන්නෙමු.

ඒ සමගම රටේ යහපත හා ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම අපේක්ෂා කරමින් ඒ සදහා තීරණාත්මක කාර්‍යභාරය ඉටුකළ ගාලුමුවදොර අරගලය හා රටපුරා විවිධ ප්‍රදේශයන්හි අරගලයන්ට නායකත්වය දුන් සිවිල් සමාජ කණ්ඩායම් වෙතද මේ මොහොතේ අන් කිසිදු අවස්ථාවකටද වඩා තීරණාත්මක වගකීමක් පැවැරෙනු ඇත. සමස්ථ ශ්‍රී ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකය ද අද ඔවුන් කෙරෙහි මහත් ගරුත්වයක් දක්වන්නේ ඔවුන් සමාජ පරිවර්තනයක් උදෙසා දක්වන ලද සාමකාමී කැපකිරීම හේතුවෙනි. ඔවුන් වෙතින් පළවූ එම විශිෂ්ට ගුණය මුළුමහත් සමාජයම තවදුරත් අපේක්ෂා කරයි. එහිදී ඔවුන් මේ වනවිට අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය මෙන්ම එහි ඇති පෞරාණික  භාන්ඩ ජාතික උරුමයන් වන හෙයින් ඒවායේ ආරක්ශාව  ගැනද සැලකිලිමත් වීම වැදගත්ය. ඔවුන් රටට දිනාදෙන ජයග්‍රහණ වඩා වර්ණවත් වනු ඇත්තේ  ඒ ගුණය තවදුරත් ආරක්ශා කරන ප්‍රමාණයටය.

අවසාන වශයෙන් අප මාතෘභූමියේ ගෞරවය  හා අභිමානය පෙරටුකර ගනිමින් රටට යහපත් අනාගතයක් උදාකර ගැනීම උදෙසා මේ මොහොතේ විවිධ මැදිහත්වීම් සිදුකරමින් සිටින සියළුම පාර්ශවයන් වෙත සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සිය ප්‍රණාමය පුදකරන අතර සිදුවෙමින් පවත්නා දේශපාලන හා සමාජ පරිවර්තනය රටේත් ජනතාවගේත් සුබසෙත වුදෙසා යොදාගැනීමට මැදිහත් වන ලෙස සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නෙමු.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය.

Archive

Latest news

Related news