Wednesday, April 24, 2024

පොලිස් ඇදිරි නිතිය වඳුරු කුණුහරුපයක්: විරෝධ පිට විරෝධ හමුවේ ඇඳිරි නීතිය රෝල් කර ගහ ගනී!

ජූලි 08 දා රාක්‍රී 9.00 සිට දින නියමයක් නොමැතිව පොලිස්පති වික්‍රමරත්න විසින් පණවන ලද ඊනියා පොලිස් ඇඳිරි නීතිය සහමුලින්ම නීති විරෝධී පියවරක් බව හ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මානව හිමිකම් කොමිසම ඇතුලු සංවිධාන ගණනාවක් කර තිබේ.

අද උදෑසන පොලිස්පතිවරයා එම වඳුරු කුණුහරුපය රෝල් කර පස්සා පැත්තේ ගසා ගෙන තිබේ.

නීතිඥ සංගමය මෙම පියවරට දැඩි  විරෝධය පළ කළ අතර මානව හිමිකම් කොමිසම කීවේ පොලිස්පති කර ඇත්තේ නීති විරෝධී පියවරක් බවයි.

මෙම නීති විරෝධී පියවර සම්බන්ධයෙන් තමන් අධිකරණයට යන බව තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය ප්‍රකාශ කළේය.

රටෙහි පොලිස්පතිවරයාම නීතිය කෙලෙසන්නේ නම් එවැනි රටක නීතියේ ආධිපත්‍යක් තිබිය හැක්කේ කෙසේදැයි බොහෝ සංවිධාන ප්‍රශ්ණ කරති.

“1865 අංක 16 දරන පොලිස් ආඥාපනතේ S. 56 (සංශෝධිත පරිදි) “සාමය සුරැකීමේ” රාජකාරිය ඇතුළුව එක් එක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය දක්වා ඇති බව සටහන් වේ. සමස්තයක් ලෙස ආඥාපනත විමසා බැලීමෙන් පෙනී යන්නේ ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කිරීමට පොලිසියට සාමාන්‍ය බලතල ලබා දී නොමැති බවයි. ‘පොලිස් ඇඳිරි නීතිය’ පුරුද්දක් ලෙස විකාශනය වී ඇති බව පෙනේ.” – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම Human Rights Commission of Sri Lanka https://www.hrcsl.lk/wp-content/uploads/2020/02/curfew.HRCSL-recommendation-final.pdf

ඒ ඒ සංවිධාන විසින් නිකුත් කරන ලද ප්‍රකාශ පහත දැක්වේ:

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පති තුමනි

නීති විරෝධී ලෙස ඇඳිරි නීතිය පැනැවීම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ‘පොලිස් ඇඳිරි නීතිය’ පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට ටික වේලාවකට පෙර  නිවේදනය කළේය.

හදිසි නීතිය පනවා නොමැති මෙවැනි අවස්ථාවක ඇඳිරිනීතිය පැනවීම සඳහා පොලිස්පති ලෙස ඔබට බලය ලැබුණේ කුමන නීතියක් යටතේද යන්න බරපතළ ගැටලුවකි.

ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව පුරවැසියන් සාමකාමී අරගලයක් දියත් කරන මෙවැනි කාලවකවානුවක එම සාමකාමී විරෝධතා නතර කිරීම සඳහා  පවතින නීතියට අතික්‍රමණය කරමින් ඔබ විසින් පොලිස් ඇඳිරි නීතිය දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය කිරීමක් ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි සලකමු.

එසේ හෙයින් ඔබ විසින් පනවා ඇති නීති විරෝධී පොලිස් ඇඳරිනීතිය වහාම ඉවත්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන ලෙස අපි දැනුම් දෙමු.

ස්තුතියි.
මෙයට,

තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්.
[email protected]

පිටපත්
1) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

2) ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය

මානව හිමිකම් කොමිසම

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සි.ඩී.වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
ශ්‍රී ලංකා පොලිසිය,
ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය,
326, පල්ලිය පාර,
කොළඹ 01.

2022.07.08

පොලිස්පතිතුමනි,

පොලිස් ඇඳිරිනීතිය පැනවීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන විමසීම

සාමකාමීව විරෝධතා දැක්වීම පුරවැසියා සතු ව්‍යවස්තාපිත අයිතියක් බව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පොලිස්පතිවරයා ලෙස ඔබ හොඳන් දන්නවා ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විස්වාස කරයි.

එවැනි තත්වයක් තුළ මෙරට පුරවැසියන් හෙට (2022 ජූලි 9) දින සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම්කොට තිබියදී, ඔබේ අත්සනින් හා පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ශය යටතේ බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතකට 2022. 07. 08 වන දින පැය 21 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පවසමින් නිකුත් කළ නිවේදනයක් අප වෙත ලැබී තිබේ.

මෙම නිවේදනය පිළිබඳ අප ලබා ගත් නීති උපදෙස් ප්‍රකාරව, මෙසේ පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාව මගින් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ලබා දී නැත.
එම නිසා ඔබ ජනතා පරමාධිපත්‍ය හිමි මහජනයා සතු මූලික මිනිස් අයිතිවාසීකම් උල්ලංඝනය කරමින් කිසියම් පාර්ශවයක් වෙත පක්ෂපාතීත්වය දක්වා ඇති බවට සාධාරණ සැකයක් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.

එය එසේ වී නම්, ඒ පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ තදබල විරෝධය ප්‍රකාශ කරන අතර මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද දන්වා සිටිමින්, මෙලෙස පොලිස් ඇඳිරිනීතිය පැනවීම සඳහා ඔබ වෙත ව්‍යවස්ථාපිතව පැවරී ඇති බලතල මොනවාදැයි පෙන්වා දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දන්වා සිටී.

ස්තූතියි.

ලසන්ත ද සිල්වා
කැදවුම්කරු

හනා ඊබ්‍රහීම්

ලේකම්

 

Archive

Latest news

Related news