Friday, November 22, 2024

ආණ්ඩුවේ 22 වන සංසෝධනය: 19ය අහළකවත් නැහැ, අර්බුදය විසඳීමට මඟකුත් නොවෙයි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජායාරූපය: ගෝටා සහ රනිල් ඉවත්විය යුතු යැයි ඉල්ලා සිටින බෞද්ධ භික්ෂූන්ගේ විරෝධතාවයක් ජූලි 07 දින කොලඹ කොටුවෙහි ආරම්භ විය.

වත්මන් අර්බුදය විසඳීමට පිටුවහලක් කරගත හැකි 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෝඨාභය-රනිල් ආණ්ඩුව (එසේ නැතිනම්, එයට එ.ජා.ප.යේ රනිල් වික්‍රමසිංහ අගමැති වන පොහොට්ටු පක්ෂ ආණ්ඩුව කියමුද?) විසින් ජූනි 29 දින ගැසට් පත්‍රයේ පළකර ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී එයට අභියෝග කිරීමට පුරවැසියන්ට සහ පුරවැසි සංවිධාන වලට සතියක කාලයක් ලැබෙනු ඇත. එය ව්‍යවස්ථා සංශෝධනයක් නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි චන්දයෙන් සම්මත වීම අත්‍යවශ්‍ය බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මතු කළ හැකි එකම කරුණ වන්නේ එය ජනමතවිචාරණයකදී ජනතාව විසින් අනුමත කර ගත යුතුය යන්නයි.

ජනාධිපති යළි ආපසු හැරීමකි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූර කාලයෙන් අඩක් අවසන් කළා පමණි. රට දියුණු කිරීමට ජනාධිපති බලතල තවත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය යයි කියා ඔහුත් පොහොට්ටු පක්ෂයත් සම්මත කරගත් විසිවෙනි සංශෝධනයට මාස විස්සක් පිරුනා පමණි.  ඔහු සහ 20 යටතේ සිදුවී ඇති වින්නැහිය විස්තර කිරීම අවශ්‍ය නොවේ. පොහොට්ටු නායකයන්ගේ අනුග්‍රහය ඇතිව එහි මැරයන් විසින් අරගලයට පහරදීම හේතුවෙන් ඉල්ලා අස්වීමට අගමැති මහින්ද රාජපක්ෂට සිදුවිය. එම පහරදීම් හෝ රට පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට මේ බලවත් ජනාධිපතිට නොහැකිවිය. 19 වන සංශෝධනයට ආපසු යෑමට තමා සූදානම් බව කියා සිටි පීඩාවට පත් ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ නම් එයද කල හැකියයිද ඉඟි කළේය. මේ දෙකම අරගලයේ මෙන්ම ජනතාව අතුරෙන් බහුතරයේද ඉල්ලීම්ය. 2022 අප්‍රේල් මස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කල මත විමසීමකට අනුව ප්‍රතිචාර දැක්වූ අයගෙන් 74% ක් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කැමතිය. 2021 ඔක්තෝබර්-නොවැම්බර් මස එසේ කැමති වූයේ 50.3% කි. වෙරිටේ රිසර්ච් විසින් 2022 ජුනි මස කල මත විමසුමකට අනුව ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ 3% ක් පමණි.

රනිල් නම් තක්කඩිකම

පොහොට්ටු පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය ඊළඟට සූක්ෂම තක්කඩිකමක් කළහ . ඒ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමය. රාජපක්ෂවරුන් ඇතිකළ ආර්ථික ව්‍යාධි සුව කළහැකි මැජික් යෂ්ටියක් වික්‍රමසිංහ අත ඇතැයි  අරගලට සහය දෙමින් සිටි ඉහල සහ මධ්‍යම පන්තිකයින් බොහෝ දෙනා විශ්වාස කිරීමෙන් අරගලය යම් පසුබෑමකට ලක්වූ බව පෙනේ. එහෙත් එම බලාපොරොත්තු සීග්‍රයෙන් බොඳ වන අතර අරගලය නැවත තීව්‍රවීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණි.

ජනතාව අතර ඇති බලාපොරොත්තු සුන්වූ තත්ත්වයෙන් ආණ්ඩුව ප්‍රයෝජන ගන්නා බව 22 වන සංශෝධනයේ අන්තර්ගතයෙන් පෙනේ. පොරොන්දු වූ සංශෝධන කිට්ටුවකටවත්  22 නොයයි.

අගමැති, ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව  බලය ජනාධිපතිටය

19 වන සංශෝධනය යටතේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අගමැතිගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් විය. තමන්ට කැමති අවස්ථාවක අගමැති ඉවත්කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය ඉවත් කරන ලදී. ජනාධිපති සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ව්‍යවස්ථාවට පටහැනිව ඉවත්කිරීමෙන් ආරම්භ වූ දින පනස් දෙකේ ව්‍යවස්ථා අර්බුදය කෙළවර වූයේ ඔහුට විශාල පරාජයක් ලැබීමෙනි. අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අගමැතිගේ උපදෙස් මත පත් කිරීම ඇතුළු 19 වන සංශෝධනයේ බොහෝ ප්‍රතිපාදන 20 වන සංශෝධනයෙන් ඉවත් කරන ලදී. අගමැති ඉවත් කිරීමට ජනාධිපතිට නැවත බලය ලැබිණ.

අගමැතිගේ උපදෙස් මත අමාත්‍යවරු පත්කළ යුතු යයි 22 වන සංශෝධනයෙන් කියවෙන නමුත් එය වත්මන් පාර්ලිමේන්තුවට බල නොපායි. අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාශය අහිමි වී ඇතැයි ජනාධිපතිවරයාගේ මතය වන්නේ නම් අගමැතිවරයා ඉවත්කිරීමට, මෙම පාර්ලිමේන්තු කාලය තුල පමණක්, ජනාධිපතිවරයාට බලය ලැබේ.

කරු ජයසූරිය භාවිතය

19 වන සංශෝධනය යටතේ අගමැති ඉවත් කිරීමේ බලය තිබුනේ පාර්ලිමේන්තුවට පමණි. ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත වුවහොත් එසේත් නැතිනම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ අයවැය ලේඛනය පරාජය වුවහොත් අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉබේම විසිරේ. එසේ වූ අවස්ථාවක් අප මතකයට නැගේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ පත් කිරීම  ව්‍යවස්ථා විරෝධී නමුදු ඒ පිලිබඳ අධිකරණ නියෝගයක් නොමැති නිසා කතානායක කරු ජයසූරිය අගමැතිවරයා ලෙස රාජපක්ෂව  පිළිගත්තේය. ඔහුට අගමැති ආසනය ලැබුණු අතර කතානායකවරයා ඔහු ඇමතූයේ “ගරු අගමැතිතුමා” යනුවෙනි. ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මතවූ වහාම රාජපක්ෂ කතා කිරීමට නැගී සිටි අතර කතානායක වරයා ඔහුට වාරය දුන්නේ “ඔව්, ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමා” කියමිනි. තමාට කොහෙන් පහරක් වැදුනාද නොදත් රාජපක්ෂගේ අපහසුතාවය මනාව පෙනුනි.

පාර්ලිමේන්තුව විසින් අමාත්‍ය මණ්ඩලය එසේ ඉවත් කිරීමට අදාළ ප්‍රතිපාදනය 20 වන සංශෝධනයේ එසේම තිබෙන අතර එය යෝජිත 22 වන සංශෝධනයන් ද ඉවත් නොවේ. එසේ පැහැදිලි ප්‍රතිපාදන ඇති විටක අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය දෙන්නේ කුමටද? අගමැතිවරයා ඉවත් කළහොත් අලුතෙන් පත් කෙරෙන අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පරාජය කල හැකි බව හෝ එසේ ඉවත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝග කල හැකි බව පිළිතුරක් නොවේ. ඒ අතරතුර ඇති විය හැකි බලපෑම් සහ තනතුරු මෙන්ම වෙනත් දෑ පිරිනැමීම් පිලිබඳ අත්දැකීම් බොහෝ ඇත. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්කල පසු ඇතිවූ තත්ත්වය හොඳ උදාහරණයකි. සමහරු මන්ත්‍රීවරු දිනක් සිරිසේන සහ රාජපක්ෂ සමගද තව දිනෙක වික්‍රමසිංහ සමගද විය. එක්තරා මන්ත්‍රීවරයෙකු පැති මාරු කල වාර ගණන ගණන් කල නොහැකි විය! අගමැතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇති විට එසේ කිරීමට ජනාධිපතිවරයාටද බලය දීම අත්තනෝමතික වන අතර අප ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති සමානත්මතා මූලධර්මයට පටහැනිය. එය පාර්ලිමේන්තුවේ බලතල  යටපත් කරන අතර ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කරයි. ඒ අනුව එය ජනමතවිචාරණයකට යොමුකළ යුතුයි ලියුම්කරුගේ මතයයි.

ජනාධිපතිට ඇමැති ධුර

19 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අමාත්‍ය ධූර දැරිය නොහැක. ජනාධිපති සිරිසේනට ආරක්ෂක, මහවැළි සහ පරිසර අමාත්‍ය ලෙස කටයුතු කිරීමට ඉඩ දෙන අන්තර් කාලීන විධිවිධානයක් විය. 22 වන සංශෝධනය යටතේ ජනාධිපති ආරක්ෂක අමාත්‍ය වනු ඇත. මීට කලින් ජනාධිපති ගෝඨාභය ආරක්ෂාවට සම්බන්ධයක් නොමැති විදුලි සංදේශ නියාමන කොමිසම, ආපදා කළමනාකරණ කේන්ද්‍රය, කාලගුණ දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැනි ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තේය. 22 වන සංශෝධනය යටතේද එසේ කිරීමට බාධාවක් නොමැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ නීතිපති සහ නීති කෙටුම්පත්කරු පවා ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගත ආකාරය අපට මතකය!

22 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයා පෙරකී බලතල තමා වෙත තබා ගන්නේ වත්මන් පාර්ලිමේන්තු කාලය තුල මිස ඔහුගේ ධූර කාලය තුල නොවේ. මෙයින් ජනාධිපතිවරයාගේ වත්මන් සැලැස්ම පිලිබඳ ඉඟියක් ලැබේ. ඔහුගේ ධූර කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට ඔහු තුල අදහසක් නොමැති බව පැහැදිලිය. එවැනි අදහසක් ඇත්නම් එම බලතල තම ධූර කාලය පුරා ඔහු තබා ගනු ඇත. කලින් මැතිවරණයක් පැවැත්වුවහොත් තමන් පරාජය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දන්නා බව මෙයින් පෙනේ.

වසර දෙකහමාරකින් විසුරුවා හැරීම

19 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව පළමු වසර හතර හමාර තුල විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව තුනෙන් දෙකක වැඩි චන්දයෙන් එසේ ඉල්ලා සිටියහොත් පමණි. 20 වන සංශෝධනයෙන් එම කාලය වසර දෙක හමාරකට අඩු කරන ලද අතර පාර්ලිමේන්තුව සරල බහුතරයකින් එසේ ඉල්ලා සිටීම ප්‍රමාණවත් කරන ලදී. මෙහි වෙනසක් 22 වන සංශෝධනයෙන් නොකෙරේ.

ආණ්ඩුවේ ආධිපත්‍යය සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය

කතානායක, අගමැති සහ විපක්ෂ නායක 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිල බලයෙන් පත්වූ අතර ජනාධිපතිවරයා විසින් එක්  මන්ත්‍රීවරයෙකු නම් කරන ලදී. මන්ත්‍රීවරු දෙදෙනකු ඇතුළු පස් දෙනෙක් අගමැති සහ විපක්ෂ නායක විසින් එකඟත්වයෙන් නම් කරන ලදී. එසේ කිරීමේදී, වෘත්තීය සහ සමාජීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ලක්ෂණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිළිබිඹු වීම සහතික වීම පිණිස පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයන් විමසිය යුතුය. එක් මන්ත්‍රීවරයෙකු අගමැති සහ විපක්ෂ නායක අයත් පක්ෂ හැර අනිකුත් පක්ෂවල මන්ත්‍රීවරු විසින් නම් කරන ලදී. මන්ත්‍රීවරු නොවන සාමාජිකයින්ගේ නම් පාර්ලිමේන්තුව අනුමත කලයුතු විය. ඔවුන් සාකච්ඡාමය ක්‍රියාවලියකින් පසු අගමැති සහ විපක්ෂ නායක විසින් එකඟත්වයෙන් නම් කෙරෙන නිසා, පාර්ලිමේන්තු අනුමැතිය හුදෙක් විධිමත් කිරීමක් විය.

22 වන සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවන නමුත් පෙරකී සාමාජිකයින් පස්දෙනා පත් කිරීම පිලිබඳ තීරණාත්මක වෙනසක් කෙරේ. ඔවුන් පස්දෙනා පත් කරනුයේ අගමැති සහ විපක්ෂ නායකගේ ඒකාබද්ධ නාමයෝජනාවකින් නොවේ. ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම එක් මන්ත්‍රීවරයෙකු නම් කරන අතර අනෙක් මන්ත්‍රීවරයා විපක්ෂ නායක අයත් වන පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පත් කෙරේ. පාර්ලිමේන්තුවට පිටින් පත් කරන තිදෙනා අගමැති සහ විපක්ෂ නායකගේ ඒකාබද්ධ නාමයෝජනාවකින් නොව ඔවුන් දෙදෙනා විමසා කතානායකවරයා විසින් පත් කෙරේ. කුඩා පක්ෂ නායකයින් විමසීමක් නොකෙරේ.

මෙයින් ප්‍රශ්න කීපයක් මතුවේ. කතානායකවරයා පක්ෂග්‍රාහී නම් (එවැනි කතානායකවරුන් කීප දෙනෙක්ම සිට ඇත) පාර්ලිමේන්තුවට පිටින් පත් කරන තිදෙනාම තමන්ට අවශ්‍ය අය බවට ආණ්ඩුවට වගබලා ගත හැක. තමන්ට  බහුතරයක් ඇති බැවින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම ආණ්ඩුවට අපහසු නොවේ. මේ තිදෙනා නම් කිරීමේදී කුඩා පක්ෂ වලට භූමිකාවක් නැත. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 25ක් තරම් ප්‍රමාණයක් අයත් දෙමල ජාතික සන්ධානය, ජාතික ජන බලය, ඊ.පී. ඩී.පී., වෙනත් දෙමල පක්ෂ ඇතුළු කුඩා පක්ෂ විමසීමක් නොකෙරෙනු ඇත.

තවද, වෙනස් ක්‍රම වේද වලින් පත් කෙරෙන නිසා වෘත්තීය සහ සමාජීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ලක්ෂණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිළිබිඹු වීම සහතික කිරීම ඉතා අපහසු වනු ඇත. අනෙක්  අතට 19 වන සංශෝධනය යටතේ පෙරකී පස් දෙනාම පත් කරන ලද්දේ සියලු පක්ෂ නායකයින් විමසා අගමැති සහ විපක්ෂ නායකගේ ඒකාබද්ධ නාමයෝජනාවකින් නිසා එසේ බහුත්ත්ව ලක්ෂණය සහතික කිරීම පහසු විය.

පනත් කෙටුම්පත් අභියෝගයට වැඩි කාලයක්

1978 ව්‍යවස්ථාවට  අනුව පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින හතකට පෙර එය ගැසට් පත්‍රයේ පලකල යුතු අතර එසේ ඉදිරිපත් කිරීමෙන් සතියක් ඇතලත එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කල හැක. ගැසට් කිරීමේ අවම කාලය 19 වන සංශෝධනයෙන් දින 14 ක් දක්වා දීර්ඝ කල නමුත් 20 වන සංශෝධනයෙන් එය නැවත දින හතකට අඩු කෙරින. 22 වන  සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කලයුතු කාලය දින 14 ක් දක්වා දීර්ඝ කර ඇත. මෙය අගය කල යුතුය.

සම්මුතිවාදී ආණ්ඩුවකට බාධාවක්

වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට නම් සියලු පක්ෂවල සහාය ලබන පාලනයක් ඇති කල යුතු බව පැහැදිලිය. පාර්ලිමේන්තුවේ සියලු  පක්ෂ කැබිනට් මණ්ඩලයේ නියෝජනය වීම හෝ සියලු පක්ෂ නායකයින් අමාත්‍ය ධූර ලබා ගත යුතු බව මෙයින් අදහස් නොකෙරේ. යම් පක්ෂයක් පාලනයට සහාය දෙන නමුත් අමාත්‍ය ධූර බාර නොගනු ඇත. තවත් පක්ෂයක නායකයා නොව ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අමාත්‍ය ධූර බාර ගනු ඇත.

වත්මන් 22 වන සංශෝධන පනත් කෙටුම්පත දැන් ඇති ආකාරයට නීති ගත වුවහොත්, ජනාධිපතිවරයාට වත්මන් පාර්ලිමේන්තු කාලය තුල ඇති බලතල නිසා විපක්ෂයේ කිසිම පක්ෂයක් හෝ ස්වාධීනව සිටින මන්ත්‍රීවරු පවා ආණ්ඩුවකට එක් නොවනු ඇත.

22 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයා පෙරකී බලතල තමා වෙත තබා ගන්නේ වත්මන් පාර්ලිමේන්තු කාලය තුල මිස ඔහුගේ ධූර කාලය තුල නොවේ. මෙයින් ජනාධිපතිවරයාගේ වත්මන් සැලැස්ම පිලිබඳ ඉඟියක් ලැබේ. ඔහුගේ ධූර කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට ඔහු තුල අදහසක් නොමැති බව පැහැදිලිය. එවැනි අදහසක් ඇත්නම් එම බලතල තම ධූර කාලය පුරා ඔහු තබා ගනු ඇත. කලින් මැතිවරණයක් පැවැත්වුවහොත් තමන් පරාජය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දන්නා බව මෙයින් පෙනේ.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

 

Archive

Latest news

Related news