Friday, April 19, 2024

නන්දේ.., මහජනයා උඹ උස්සා පොළවේ ගහන දිනය එන තෙක් බලන් හිටපන්! -රංග ජයසූරිය 

 

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.30, ) සුභසාධක රාජ්‍යයේ, දීර්ඝ කාලයක් තිස්සේ ආදරයෙන් හා භක්තියෙන් ගොඩනැගූ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍ය සේවයේ කුළුණු බිඳ වැටෙමින් තිබේ. ළමා මන්දපෝෂණය වැඩි වෙමින් පවතී. පොදු ප්‍රවාහනය ඇනහිට ඇත. අධික බර පටවා ඇති දුම්රියවල ගමන් කරන මගීන් තැලී මිය යයි. වයසක අය තෙල් පෝලිම්වල මැරී වැටෙති.

උඹ මීට පෙර ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළත් පසුව උඹ ජනාධිපති ලෙස පුනරුත්පත්තිය ලබා ගත කළ කාලය තුළත් මා නිරන්තරයෙන් උඹ ගැන දැඩි විරෝධයක් පළ කළ බව මෙම තීරුව කියවන අය දන්නවා විය හැකිය. ශ්‍රී ලංකාවේ අධිකරණය සාමාන්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් සහ දේශපාලකයින්ට දක්වන බයාදුකමෙන් මිදුණු දවසට ඒ කරුණු කාරණා සනාථ වනු ඇත.

එසේ වුව ද, අනෙකුත් රාජපක්ෂලා ඉල්ලා අස් වී උන්ගේ රාජවංශ ව්‍යාපෘතිය බිඳ වැටීමෙන් පසුව, දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් උඹ ධුරයේ රැඳී සිටීම ඉවසා සිටීමට මම වැඩි කැමැත්තක් දැක්වූවෙමි.

මුල දී, එය දේශපාලන අස්ථාවරත්වය වෙනුවෙන් සාධාරණ ගනුදෙනුවක් ලෙස පෙනී ගියේය. මගේ බොළඳකම මා දැන් පිළිගත යුතුයි. උඹ දේශපාලන ස්ථාවරත්වයේ උල්පතක් නොව, ඊට හාත්පසින්ම විරුද්ධ තත්ත්වයකි.

අස්ථාවරත්වයේ ලොකුම උල්පත උඹය..

දේශපාලන අස්ථාවරත්වයේ ලොකුම උල්පත උඹය. වෙනත් ආකාරයකින් කළමනාකරණය කර ගත හැකිව තිබූ ස්වෛරී ණය අර්බුදයක් පෙර නොවූ විරූ අති දැවැන්ත ව්‍යසනයක් බවට පත් කළ “මළ මොළය” උඹ පමණක් නොවේ.

උඹගේ පිට වීම සඳහා වූ අනන්තවත් ඉල්ලීම්වලට එරෙහිව උඹ කාර්යාලයේ දිගටම සිටීම අර්බුදය දිගු කරයි. රට වෙනුවෙන් උඹ ඔෆීසිය [බංකරය] හැර යා යුතුය. ආරම්භයක් වශයෙන්, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇති දැවැන්තම බාධාව ඉවත් කරමින්, උඹේ ඉවත් වීම සඳහා කාල රාමුවක් උඹම ප්‍රකාශයට පත් කළ යුතුය.

නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වනු ලැබූ පසු, (උපරිම වශයෙන් ආරක්ෂිතව පිටව යන මාර්ගයක් ගැන සාකච්ඡා කිරීමට පමණක් සීමා වෙමින්) උඹ උඹවම අනවශ්‍ය බවට පත් කළ යුතුය. උඹේ ලැග සිටීම නිසාම කළ නොහැකි වූ, වැටුණු වළෙන් රට ගොඩ ගැනීම සඳහා නව රජයට ඉඩ දිය යුතුය. උඹේ ආණ්ඩුව දිගු බියකරු සිහිනයක් විය; ශ්‍රී ලාංකිකයන්ට නැවත සුන්දර සිහින දැකීමට උඹ ඉඩ දිය යුතුය.

උඹට හා උඹේ ටිකෙන් ටික අඩු වෙන පුස්සන් හැත්තට උඹ පිටත්ව යා යුත්තේ මන්දැයි සිතා ගත නොහැකි නම්, උඹේ “බදා ගෙනම ඉඳීම” ජාතියේ මළගමට හේතු විය හැකි කාරණා කිහිපයක් මෙන්න:

පළමුව, ශ්‍රී ලංකාව වත්මන් දුක්ඛිත ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට නම්, සාධක ත්‍රිත්වයක් එක් විය යුතුය: ඒ ශ්‍රී ලාංකික මහජනතාව, විකල්ප රජය පිහිටුවන දේශපාලන පක්ෂ, සහ ජාත්‍යන්තර ප්‍රජාවයි. ඔවුන් කිසිවෙකුට උඹ සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය නැත.

උඹටත් ශ්‍රී ලංකා පාදඩ පෙරමුණටත් (SLPP) ඡන්දය දුන් මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් උඹ රටේ දුක්ඛිතභාවයේ උල්පත ලෙස සලකන අතර, උඹේ පසු බැසීම දැකීම ඔවුන්ගේ ආශාවයි.

උඹ තවත් ප්‍රචණ්ඩකාරී ගිනි ඇවිල වීමකට රට ඇද ගෙන යමින් සිටී..

උඹ බලයට ආවේ මුළුමනින්ම ජාති වාදය ඇවිස්සූ මැතිවරණ ව්‍යාපාරයකිනි; උඹ බලයට පත් කළ, අපේක්ෂා භංග වූ ජනතාව දැන් පෝලිම්වල ගහ මරා ගනිති. ඔවුන්ගේ කලකිරීම ප්‍රකාශ වන්නේ අධික බලයෙන් ප්‍රතිචාර දක්වන පොලිසිය සමග ඇති වූ ගැටුම් මගිනි. උඹ තවත් ප්‍රචණ්ඩකාරී ගිනි ඇවිල වීමකට රට ඇද ගෙන යමින් සිටින අතර, උඹේ බලය තහවුරු කර ගැනීමට උඹ එය යොදා ගනු ඇත.

දේශපාලන විපක්ෂයට උඹ යටතේ පාලනය වන ආණ්ඩුවක් සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඕනෑ නැත. එය දේශපාලනිකව සිය දිවි නසා ගැනීමක් ලෙසයි ඔවුන් සලකන්නේ. එසේම, රනිල් වික්‍රමසිංහගේ අත්දැකීමෙන් හෙළි වන පරිදි උඹ සමග කෙරෙන දේශපාලන සහජීවනය ද අර්ථ විරහිත නාස්තිකාර ව්‍යාපාරයකි.

ජාත්‍යන්තර ප්‍රජාවට ද උඹ නැති ආණ්ඩුවක් සමග වැඩ කිරීම වඩාත් පහසුය.

උඹේ අබිරහස්, ගඳ ගහන ඉතිහාසය..

උඹේ අබිරහස්, ගඳ ගහන ඉතිහාසය දෙස හැම විටම ඇස් යොමා ගෙන සිටි ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය උඹේ ආණ්ඩුව සමග කටයුතු කිරීමට අකැමැතිය. උඹ ජපාන ආයෝජනයක් වූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට පයින් ගසා, ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරන් වූ ජපන් ජාතිකයන්ට අපහාස කළේය. “මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්” (MCC) ප්‍රදානයට පයින් ගසා ඇමරිකානුවන්ට අපහාස කළේය.

බටහිරට අපහාස කිරීමෙන්, උඹත් උඹේ සහචරයිනුත් විශ්වාස කළේ චීනාගෙන් උඹලාට අත්සන් කළ හිස් චෙක් පොතක් ලැ‍බේවි කියාය.

නමුත්, මරාගේ අත්තනෝමතික ක්‍රියා දාමය හෝ උගේ මලයා වූ උඹේ චෞරතන්ත්‍රීය පාලනය ගැන තැකීමක් නොකළ නමුත්, වෙනිසියුලාවේ සහ නිකරගුවාවේ අවිචාරී ඒකාධිපතියන්ට අරමුදල් සපයා චීන ජාතිකයන් දැන් අත පුළුස්සා ගෙන ඇත. ඔවුහු චීනාට පයින් ගැසූහ. එසේ වුවත්, චීනය වාණිජමය රාජ්‍යයක් වන අතර, ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා එකඟ වේ යයි සිතීම දුෂ්කරය. එය සමස්ත ක්‍රියාවලියටම හානි කර විය හැක.

උඹ ගැසූ මුස්ලිම් විරෝධී හූව..

උඹේ පාදඩ රෙජිමය උගුරට හොරා ගැසූ මුස්ලිම් විරෝධී හූව නිසා නොවන්නට, වැඩි වන බලශක්ති මිලට පින් සිදු වන්නට සල්ලිවලින් උතුරා යමින් සිටින මැද පෙරදිග රටවල්, අපට ආධාර කිරීම සඳහා වඩාත් ඉදිරියට පැමිණීමට ඉඩ තිබුණි.

මිතුරන් නැති කර ගත් උඹට ඉන්දියාව ඉතිරි විය; එහි සහාය ‘අසල්වැසියා පළමුව’ යන ප්‍රතිපත්තියේ ලක්ෂණයක් ලෙස සැලකේ. (සමහර විට, මොන්රෝ මූලධර්මයට සමාන ‘ඉන්දිරා මූලධර්මය’ අනුව, ඉන්දීය පරාසයේ ඇති රටවල් හදිසි අවස්ථාවක දී, අනෙක් රටවල් කරා යාමට පෙර ඉන්දියාවේ සහාය ලබා ගත යුතුය).

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව දැනටමත් ඉන්දියානු ත්‍යාගශීලීත්වය ද ඉක්මවා ගොස් ඇති අතර තවමත් තව තවත් ඉල්ලා සිටී. අනාගත ඕනෑම ඉන්දීය ආධාරයක් සමග නා නා විධ බොහෝ “නූල් සූත්තර” අමුණා තිබිය හැකි අතර, අපේ රටේ ව්‍යාජ දේශප්‍රේමියා වන උඹ ඒවාට අනුව නැටවෙනවා නියතය.

වික‍්‍රමසිංහ යනු සැක කටයුතු, යල්පැන ගිය භාණ්ඩයකි..

උඹේ තුච්ච ජාත්‍යන්තර ස්ථාවරය ගැන උඹම හොඳාකාරව දන්නා බැවින්, උඹ රනිල් වික්‍රමසිංහ උඹේ අගමැතිකාරයා ලෙස පත් කර ගත්‍‍තේය. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව ඊට වඩා හොඳින් ඒ ගැන දනී. වික‍්‍රමසිංහ යනු සැක කටයුතු, යල්පැන ගිය දේශපාලන භාණ්ඩයක් බව ඔවුහු දනිති.

මෙතෙක් ඔහුගේ දායකත්වය ජාතිය බේරා ගැනීමට නොව රාජපක්ෂලා බේරා ගැනීමටය, ඊටත් වඩා. උඹ විසින් නිර්මාණය කරන ලද දේශපාලන අස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ව්‍යාකූලත්වය නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අපේක්ෂිත ආධාර ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම ශ්‍රී ලංකාවට අපහසු වී ඇත. ණය දෙන්නන් සහ මිත්‍ර ජාතීන් සමග සාකච්ඡාවල ප්‍රගතියක් නොමැති විට, ශ්‍රී ලංකාව තව දුරටත් ප්‍රපාතයට ලිස්සා යයි. එවිට උඹ ජනතාවගේ ගොරතර දුක්ඛන්ධයේ කුණු දිය උල්පත වනු ඇත.

දෙවනුව, උඹට දේශපාලන වරමක් ඇතැයි උඹ කියා සිටී. අහෝ, එය බොහෝ කලකට පෙර අවසන් විය. තම ව්‍යසනකාරී බදු ප්‍රතිසංස්කරණ මගින් ද, ඉන් පසු දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය විනාශ කරමින් ද, ගොවි පවුල් ලක්ෂ 18 ක් දුගී දුප්පත් අගාධයේ හෙළමින් ද තනි මතයට ක්‍රියා කරමින් රාජ්‍යයේ කොන්ද කඩා දැමූ උඹට තව දුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් හෝ දේශපාලන වරමක් නැත.

උඹව අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතුය…

වග වීම වැදගත් යයි සිතන ඕනෑම රටක දී, රාජ්‍ය කටයුතු බරපතල ලෙස අවුල් වියවුල් කිරීම සම්බන්ධයෙන් උඹව දෝෂාභියෝගයකට ලක් කළ යුතුව ‍හෝ අධිකරණය හමුවට ගෙන ආ යුතුව තිබුණි.

තෙවනුව, ජාත්‍යන්තර දේශපාලනයේ මෑත ඉතිහාසයෙන් හෙළි වනු ඇත්තේ, එම රටවල් දැඩි ණය අර්බුදයකට මුහුණ දුන් පමණින් ශක්‍ය දේශපාලන හා ආර්ථික ආයතන ලෙස පැවැත්ම නතර නොකරන බවයි. 2000 ගණන්වල මුල් භාගයේ දී අයර්ලන්තය එවැනිම තත්ත්වයක සිටි අතර, 2010 ගණන්වල ග්‍රීසිය එවැනිම ආර්ථික පිරිහීමකට ලක් විය. ආර්ජන්ටිනාව පුරුද්දක් ලෙස ණය ගෙවීම පැහැර හරී. නමුත් එම රාජ්‍යයන් ශක්‍ය ආයතන ලෙස පවතී.

ගොඩ ඒමට බැරි තරමටම කඩා වැටුණු – දැන් වෙනිසියුලාව සහ 2000 ගණන්වල මුල් භාගයේ සිම්බාබ්වේ වැනි රටවල්වලට – එසේ සිදු වීමට වෙනත් හේතුවක් තිබුණි: බලය ලබා ගැනීම සඳහා අගතිය සහ බොරු ‍පොරොන්දු භාවිතා කරන, ජාතියේ පැවැත්මට වඩා තම දේශපාලන පැවැත්මට මුල් තැන දෙන නායකයන් රට අභාවයට යද්දී වුව ද නීචයන් සේ බලයේ එල්ලී සිටින්නේ, “මුර රස්සාව භාර ගත් කොර මිනිහෙකු වාගේය.”

උඹ ශ්‍රී ලංකාව රැගෙන යන්නේ ඒ දිශාවටය. ආර්ථික අනාවැකි භයානකයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 6.8 කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව අනාවැකි කියයි. UNICEF අනතුරු අඟවන්නේ ආහාර සුරක්ෂිතතාවට සම්බන්ධ “එක්තරා ආකාරයක අර්බුදයක්” ගැනයි.

උඹ දැනට අධික්ෂණය කරමින් ඉන්නේ බොහෝ ක්ෂේත්‍ර අඩපණ වී අක්‍රිය වී ඇති රාජ්‍යයකි. සුභසාධක රාජ්‍යයේ, දීර්ඝ කාලයක් තිස්සේ ආදරයෙන් හා භක්තියෙන් ගොඩනැගූ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍ය සේවයේ කුළුණු බිඳ වැටෙමින් තිබේ. ළමා මන්දපෝෂණය වැඩි වෙමින් පවතී. පොදු ප්‍රවාහනය ඇනහිට ඇත. අධික බර පටවා ඇති දුම්රියවල ගමන් කරන මගීහු තැලී පොඩි වී මිය යති. වයසක අය තෙල් පෝලිම්වල මැරී වැටෙති.

සාමාන්‍ය බුද්ධියක්වත් නැති උඹ…

මහජන සහයෝගයක් හෝ ජාත්‍යන්තර හවුල්කරුවන් (හෝ සාමාන්‍ය වැටහෙන බුද්ධියක් පවා) නැති උඹට මේ රටේ උග්‍ර ආර්ථික අර්බුදයට පිළියම් යෙදිය නොහැකි නමුත් ඒ වෙනුවට උඹ දිගටම රට පාලනය කර ගෙන යයි.

සිව්වනුව, තිරිසන්කම හා තිරිසන් බලය යොදා නොගෙන ජනතාව‍ගේ බෙල්ල වටේ පුඩුව දා ගෙන දේශපාලනික හිර කිරීමක් සිදු කළ නොහැක. ඊයේ, උඹේ උපන් දිනය වෙනුවෙන් හමුදා සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ‘ගෝටාගෝගම’ අවට යොදවා තිබුණි.

වෙනිසියුලාවේ හා නිකරගුවාවේ ජනාධිපතිකාරයන් වගේම උඹත් දැන් මාරු වෙමින් සිටින්නේ “කඳුළු ගෑස් හා ජීව උණ්ඩවලින්” රට පාලනය කිරීමටය. එවැනි රාජ්‍ය පාලන වටපිටාවක දී දිළිඳු ජාතියේ සීමිත සම්පත්වලින් සැලකිය යුතු කොටසක් ආරක්ෂක හමුදා සුඛ විහරණය සඳහා කැප කිරීමට ද සිදු වේ.

මේ සිදු වෙන්නේ එයයි. පෝලිම්වලට පිටින් ගිහින් ඉන්ධන පිරවුම්හල්වලින් “ෆුල් ටෑන්ක්” පොම්ප කර ගන්නා පොලිස්කාරයන් දිහා බලන්න.

රනිල් මෙම මර්දනයේ සහායකයෙකි…

උඹ සමාජය මිලිටරිකරණයට හා ම්ලේච්ඡකරණයට ලක් කරමින් සිටින බැවින්, ‘අරගලයේ’ නිහතමානී ජයග්‍රහණ පවා වාෂ්ප වෙමින් පවතී. රනිල් වික්‍රමසිංහ අගමැතිකාරයා මෙම මර්දනයේ සහායකයෙකි. ශ්‍රී ලාංකික මහජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව උන්ට සාර්ථක වීමට ඉඩ නොදිය යුතුයි.

උඹ ප්‍රභාකරන්ට වඩා විශාල හානියක් කළේ ය..

උඹ ශ්‍රී ලාංකීය ජාතිය දණ ගැස්සුවේය. වසර දෙකක පමණ කෙටි කාලයක දී රටට හා ආර්ථිකයට උඹ කළ විනාශය, ජාති-වාදයේ හොරණෑවක් වූ එක්තරා උන්මන්තකකයෙකු විසින් දශක තුනක් පුරා කරන ලද සමස්ත විනාශයට වඩා අතිමහත් බව ඕනෑම මධ්‍යස්ථ විග්‍රහයක දී සනාථ විය හැකිය. ඒ මිනිසා වේලුප්පිල්ලෙයි ප්‍රභාකරන්ය.

උඹ යා යුතුයි. ආරම්භයක් වශයෙන්, උඹ ඉවත්ව යන කාල සීමාව ප්‍රකාශයට පත් කළ යුතු අතර සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට දේශපාලන විපක්ෂයට ආරාධනා කළ යුතුයි. කඩා වැටුණු රාජ්‍යය ගොඩනැගීමට, ජාත්‍යන්තර සහාය සාකච්ඡා කිරීම සහ දේශපාලන බලය තනි පුද්ගලයන් හෝ කල්ලිවලට නතු නොවන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමට උඹ ඔවුන්ට ඉඩ දිය යුතුය.

උඹ සමගම විධායක ජනාධිපති ක‍්‍රමය ද යා යුතුයි..

උඹ සමගම විධායක ජනාධිපති ක‍්‍රමය ද යා යුතුය; අධික බලතල අතට ලැබුණු විට සිදු වන විනාශය උඹ හා උඹේ රාජපක්ෂ හැතිකරය විසින් මනාව තහවුරු කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ලැබිය යුතුයි. රටට යහපත් අනාගතයක් ගැන සිහිනෙන් වුව දැකීමට නම් උඹ යා යුතුයි.

– 2022 ජුනි 21 වෙනි දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Ranga Jayasuriya ලියූ, ‘Why Gotabaya should go? Why now?’ නම් අදහස් දැක්වීම සිංහලට පරිවර්තනය කළේ, – ආනන්ද

( ලංකා ඊ නිව්ස් වෙතිනි)

Archive

Latest news

Related news