Wednesday, April 24, 2024

“ගාලු කොටුවේ “ගෝටා ගෙදර පල” උද්ඝෝෂනය කඩාප්පල් කිරීම නීති විරෝධියි; හමුදාවට මැදිහත් වෙන්න අයිතියක් නැහැ” – නීතිඥ සංගමය

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනකාරී යුදකරණ පිළිවෙත ඉදිරියට ගෙන යමින් මේ දිනවල ගාල්ල මහජන ක්‍රීඩා පිටියෙහි පැවැත්වෙන  ඔස්ට්‍රේලියානු -ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟය අවස්ථාවෙහි ගාලු කොටුව මත පැවැත් වූ “ගෝටා ගෙදර පල” විරෝධතාවය මර්දනය කිරීමට යුද හමුදාව යොදවන ලදී. මෙය මර්දනය පසුගිය දින දෙකෙහිම සිදු වු  නමුත් දිගටම විරෝධතා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කැරේ.

මෙයට පෙර මෑත අවස්ථාවන්හිදී මෙළෙස සාමකාමි විරෝධතාවයක් මර්දනය කිරීමට එක එල්ලේම යුද හමුදාව යොදා ගත් අවස්ථාවක් නැත.

මෙලෙස හමුදාව මෙම මර්දනයට යෙදවීමට නියෝග දුන් හමුදා නිලධාරියා නීතිය ඉදිරියට පැමිණ විය යුතුව තිබේ.

ගොඨාභය රාජපක්ෂට දැන් මෙම බලය ලැබී තිබෙන්නේ රනිල් රාජපක්ෂ  නිසාය. රනිල් රාජපක්ෂගේ එකම කාරීය රාජපක්ෂවරුන්ගේ පස්ස සේදීම බව දැන් ඕනෑවටත් වඩා පැහැදිළිය.

“ගෝටා ගෙදර පල” යන සටන් පාඨ සහිත පුවරු රැගෙන ගාලු කොටුවෙහි පවත්වන ලද එකී සාමකාමී සහ නීත්‍යනුකූල උද්ඝෝෂනය යුද හමුදාව සහ පොලීසිය විසින් කඩාකප්පල්  පිළිබඳසිය කණස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද පොලිස්පති සහ යුද හමුදාපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

ගාලු කොටුවෙහි එම උද්ඝෝෂනය සිදු කරන ලද  ප්‍රදේශය පොදු ස්ථානයක් බවත්, එබැවින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට නීත්‍යනුකූල හේතුවක් නොමැති බවත් එම ලිපිය සඳහන් කරයි.

ජනතාවට විරුද්ධ වීමට ඇති අයිතිය ඇතුළුව ඔවුන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිතා කිරීමට ඉඩ දීමේ වැදගත්කම නීතිඥ සංගමය දිගටම අවධාරණය කර ඇති බව සදහන් කරන ලිපිය ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ජනතාව කිව නොහැකි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින රටේ වර්තමාන තත්ත්වයට විරෝධය දැක්වීමට සහ විරුද්ධ වීමට ජනතාවට ඇති අයිතිය යටපත් කිරීම පිළිතුර නොවේ, යැයිද ප්‍රකාශ කරයි.

” විරෝධතාකරුවෝ හමුදා සෙබලුන්ගෙන් මෙම පියවර ගැනීමට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්ණ කිරීමට නිර්භීත වූහ. එනමුත් පිළිතුරක් නොදී මෙ සෙබලු බලයෙන් විරෝධතා පුවරු ඉවත් කළහ.”

සාමකාමී විරෝධතා සහ විසම්මුතිය මැඩපැවැත්වීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදා නොගත යුතු බව කියා සිටින එම ලිපිය කියා සිටින්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන තහවුරු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

“විරෝධතාකරුවන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන්ද සම්බන්ධ වී ඇති බවට පළවන වාර්තා පිළිබඳවද අපි කනස්සල්ලට පත්ව සිටිමු. හමුදා සාමාජිකයන්ගේ එවැනි මැදිහත්වීම් නීතියට අනුකූල නොවේ.” යැයි ද ලිපිය අවධාරණය කරයි.

අවසාන වශයෙන්, පොලිස්පතිවරයාට සහ යුද හමුදාපතිවරයාට අමරතුංග වී. සිරිමල් ඇතුළු පිරිසට (ජනගෝෂ නඩුව) [1993] 1 SLR 272 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාගේ රාජකාරිය නියම කළ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙහි පහත සඳහන් කොටස  නීතිඥ සංගමය පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට මතක් කර දෙයි.

“අද නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩලීමේ ප්‍රතිඵලය විය හැක්කේ, නොවැලැක්විය හැකි ලෙස, වෙනත් දවසක ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් පමණි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) වගන්තිය මගින් මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම, සුරක්ෂිත කිරීම සහ ඉදිරියට ගෙන යාම සඳහා මෙම අධිකරණය වෙත පැවරී ඇති වගකීම, අපගේ බලය ක්‍රියාත්මක කිරීම (126 (4) වගන්තිය යටතේ එය සහතික කිරීම සඳහා පොලිසියට උපදෙස් ලබා දීම සාධාරණීකරණය කරයි. ඔවුන් පුරවැසියාගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ මූලික අයිතියට ගරු කළ යුතු අතර සාමකාමී විරෝධතාවයන් මැඩපැවැත්වීමට කටයුතු නොකළ යුතුය. කෙසේ වෙතත්, පොලිස්පතිවරයා තම කැමැත්තෙන් සියලුම පොලිස් ස්ථාන භාර නිලධාරීන්ට සුදුසු උපදෙස් සහ උපදෙස් නිකුත් කරනු ඇතැයි අපි විශ්වාස කරමු , රජය සහ දේශපාලන පක්ෂ සහ ප්‍රතිපත්ති විවේචනය කිරීම, 14 (1)(අ) ව්‍යවස්ථාව යටතේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අනුමත කළ හැකි ක්‍රියාවකි.”

අනීතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවෙහි මෙවැනි ලිපි කෙතෙක් යැවූවද පොලිස්පතිවරයා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැත. ඒ සිය තනතුර රැකගැනීම ඔහුගේ මූලික අරමුණ බව පෙනන නිසාය.

 

Archive

Latest news

Related news