Thursday, May 9, 2024

ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි

ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක  පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ.   එම තත්වයට රට පත් කර තිබෙන්නේ  දේශපාලඥයන් ලෙස පෙනී සිටිමින්  රටෙහි බලය තම අතට ගෙන සිටින පුද්ගලයන් විසිනි. දේශයක් පාලනය කිරීමට එනම් දේශපාලනය කිරීමට මේ පිරිසට කිසිම හැකියාවක් නැති බව දිනක් පාසා පෙනී යයි.

ඔවුන් කරමින් සිටින්නේ හුදෙක් තම සිතැඟි පරිදි රට වැසියන් විවිධ අත්හදා බැලීම් වලට යොදා ගනිමින් තමන්ගේ සහ ගජ මිතුරන්ගේ මඩි තර කර ගැනීමේ කාර්යයෙහිය. රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ අද රට පවත්වා ගෙන යන්නේ මහා විගඩම් මඩුවක් ලෙසය.  රට මුහුණ දී සිටින දරුණූ ප්‍රශ්න විසඳනවා වෙනුවට එම ප්‍රශ්න ගැන ප්‍රකාශ නිකුත් කරමින් ඔවුහු හිතුමතේ ඔහේ මොන මොනවා හෝ කරමින් සිටිති. කිසිදු සැළැස්මක් පේන මානයක වත් නැත.

ලංකාවෙි මෙතෙක් දේශපාලනය ක්‍රියාත්මක වූයේ විගඩම්. යටපත් කිරීම. ගසාකෑම් සහ දූෂණයන් ගෙන් පිරුනු එකක් ලෙස බව අපි දන්නෙමු.

නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ආණ්ඩුව මේ කරමින් සිටින්නේ පැහැදිලිවම රටේ ජනයා සමග විහිලු කිරීමක් නොව ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමකි.

රාජපක්ෂලා තම දේශපාලන න්‍යාය පත්‍රය අනුව හිරගෙවල්වල සිටි මිනීමරුවන් නිදහස් කරමින්, අල්ලස් ගනිමින් සහ රාජ්‍ය දේපල වංචාකල වන්ගේ නඩු ඉවත්කරමින් ඔවුන්ට විවිධ තානාන්තර ප්‍රදානය කරමින් සිය හිතවතුන්ට හිතුමතේ මුදල් ගරා ගැනීමට රාජ්‍ය ප්‍රතිපත්ති නවමින් රට පාලනය කළේ  ජනතාව ගැන අබමල් රේණුවක සිතුවිල්ලක් නැතිව බව අපි දන්නෙමු.

රාජපක්ෂ ආපසු එයි!

ජනතා කෝපය මතුව ආ මොහොතේ එක මොහොතකට තැති ගත් ඔව්හු අඩියක් පිටිපසට ගත් නමුත් රනිල් වික්‍රමසිංහ ආවරනයට යොදාගෙන ඔවුන් නැවත දැන් හරි බරි ගැසී වාඩිවී නැවතත් තම පැරනි ක්‍රමවේදයන් ඒ ආකාරයෙන් පවත්වා ගනිමින් සිටිති.

මේ පිරිස කිසිම මොහොතක සිදු වූ  පසුබෑම් සහ කරන ලද අමනෝඥ වැරදි  පිළිබඳ බැරෑරුම්ව වටහා ගැනීමක් හෝ බැරෑරුම්ව සිතීමක් හෝ පවා කර නැති බව අද පාර්ලිමේන්තුව තුළ කතා කරන  අන්දමින්ද  මේ වන විට කරමින් පවතින ක්‍රියාවන් තුලින් පැහැදිලිව පෙන්නුම් කරයි.

ඔවුන් ඇවන්ගාඩ් කොම්පැනි කාරයින්ට, ඇලෝසියස් මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින්ට එමෙන්ම  පිට රටින් බඩු ගෙන්වූ තම හිතවත් ව්‍යාපාරිකයන්ගේ මඩිය තර වන ආකාරයට රජයේ බදු ප්‍රතිපත්ති ඒ ඒ මොහොතට හිතුමතයට වෙනස් කිරීම ආදී දේවල් කරමින් රටෙහි ජනතාව නිදහස් සිතීමක් නැති වහලුන් බවට පත් කර සිය වංචාකාරී දේශපාලනය කර ගෙන ගියහ. .

ඒ සියලු දුෂ්ඨකම්හි විපාකයක් ලෙස දැන් සිදුවෙමින් පවතින්නේ ඇතත ඛේදවාචකයෙකි. රට පුරාම ජනයා ඉන්ධන පෝලිම් වල ය. ගෑස් නැතුව උයා පිහා ගැනීමට නොහැකිව ලත වන පවුල් ප්‍රමාණය මිලියන ගණනකි. කිරිපිටි නැති දරුවන් මන්දපෝෂණය වෙත ඇදෙමින් සිටියි. ඊළඟ පරම්පරාවක්ම ශාරීරික සහ මානසික මන්ද පෝෂණයෙන් යුතු ජන කණ්ඩායමක් බවට පත්කිරීමේ ගෝඨාභය රාජපක්ෂ ඇරඹූ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ එක්වී ක්‍රියාත්මක එලෙසම කරමින් පවතී.

මේ සියල්ල මෙසේ පවතින අතර රජයේ බදු වංචා කර කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වූ අය, ධම්මික පෙරේරා වැනි, දැන් රටේ පවතින නීතියට පිටින් පාර්ලිමේන්තුවට පත් කර ගනිමින් ඇමතිකම්ද ප්‍රදානය කරති. මේ ගැන කතා කරන ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු “අපි ධම්මික පෙරේරාටත් දීල බලමු” යි කියන කතා වලින් පෙනෙන්නේ මෙම දේශපාලඥයන්ට මෙලෝ රහක් නැතිබවයි. ජනතාව චන්දයෙන් පත් වූ නමුත් ඔවුනට කිසිම දැක්මක් නොමැති බවයි.

ජන්දයක් නැති ධම්මික පෙරේරා

ධම්මික පෙරේරාට මේ රටේ කිසිවකු එකම ඡන්දයක් වත් පාවිච්චි කර නොමැත. එසේ ඇති තැනක ජනතාවගේ කැමැත්ත වෙනුවෙන් රජය කරවීමට පත්ව සිටින ඇමතිවරයෙකුගේ තත්ත්වයට ඔහුව පත් කරන්නේ ලංකාවේ ජනතාව පර්යේෂණාගාරයක හාවුන් නැති නම් මීයන් රැළක් කියා සිතා ගෙන ද යන ප්‍රශ්ණය අසිය යුතුය. ඔවුන්ගේ හිතුමතයට නීතිය තමන්ට අවශ්‍ය විදියට නමා ගනිමින් රටේ ජනතාව මත ආධිපත්‍ය පතුරුවා ඔවුන් පීඩාවට පත්කරමින් සිටිති.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරුවන්නේ නැත. ‍ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමට නම් එහි පුරවැසියන්ට තමන්ගේ පාලන ක්‍රමය ගැන සහ එයට බලපෑම් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.

අද වර්තමාන අගමැති  රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක වෙන්නේ රජයේ ප්‍රවෘත්ති ප්‍රකාශකයා වශයෙන් මෙනි. ඔහු දිගින් දිගටම කරන්නේ ඉදිරියේ සිදුවිය හැකි දේ ගැන තොරතුරු දීම පමණකි.  මාධ්‍ය ප්‍රකාශකයෙකුගේ කාර්ය අගමැතිවරයා වූ ඔහුගෙන් රට බලාපොරොත්තු වන්නේද යන්න ප්‍රශ්ණයකි. ඔහු කළ යුත්තේ රට අද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වැඩ කිරීමයි. නීති විරෝධී ක්‍රියාවන්හි යෙදී චෝදනා ලදවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට වැඩ සකස් කිරීමයි.

ඒ වෙනුවට ඔහු කරන්නේ මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස කයිවාරු ගැසීම පමණි. ඔහු අගමැති කම බාර ගත්තායින් පසු දැන් සති හයක් පමණ ගත වී හමාරය. ඔහු කළේ මොනවාද? ලොකු කතා එමටය. නමුත් සිදු වූ දෙයක් නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ සැඟවී සිටි රාජපක්ෂලා සහ ඔවුන්ගේ සහචරයන් ක්‍රමානුකූල නැවත හිස ඔසවා තර්ජනාංගුලිය ජනතාව වෙත අමෝරා ගෙන සිටීමයි.

අධිරණයත් විගඩමක් වෙයිද?

දැන් පෙනෙන විදියට ලංකාවේ අධිකරණයත් විගඩමක් බවට පත්වී ඇත්දැයි සැකයක් ඇතිවේ. ලංකාවෙි නීතිය සාධාරණව හැමට සමව ක්‍රියාත්මක නොවූ බව අප දන්නෙමු. එහි පාලකයන්ට සහ බලය ඇත්තන්ට එක ආකාරයකටත් බලය නැති අයට තවත් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක වන බව අපි අත්දකිමින් සිටියෙමු. දැන් එයම අත්දකිමින් සිටින්නෙමු. උතුරේ දෙමළ ජනයාට එක ආකාරයකටත්, මුස්ලිම් ජනයාට තවත් ආකාරයකටත්, සිංහල බෞද්ධයා අන්තවාදියාට තවත් ආකාරයකටත් රාජ්‍ය බලය සහ දේශපාලන බලය හිමි ඔවුනට තවත් ආකාරයකටත් රටෙහි  නීතිය ක්‍රියාත්මක වූ බව නොරහසකි.

නීතියේ ඇති මෙම දුර්වලකම රටටම බලපාන බව පෙන්නුම් කරන හොඳම සාධකයක් වන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබූ රාජ්‍ය දේපල වංචා නඩු විසි කර දමමින් ඔහුට ජනාධිපති අපේක්ෂකයා වීමට ඉඩ හැරීමයි. එය ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය විසින් කළ විශාල වරදක් බව මේ වන විට ගෝඨාභය රාජපක්ෂ රටට කර ඇති වින්නැහියෙන් ඔප්පු කර ඇත. දැන් ගෝඨාභය සමග එක් වූ රනිල් වික්‍රමසිංහ තව තවත් විගඩම් කරමින් සිටී. රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන කැසිනෝ ධම්මික දැන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඔහුට ඇමතිකමක් ද භාර දී ඇත. ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු ආසන දීම පිළිබඳව ඊට එරෙහිව අධිකරණයට ගොනු කළ පෙත්සම් ගණනාවක් තිබුනා වුවත් ඒවා විමසීමකින් තොරවම ඉවත දමා ඔහුට පාර්ලිමේන්තුවටත් කැබිනට් ණ්ඩලයටත් එක්වීමට අද ඉඩප්‍රස්ථාව සලසා තිබේ.

ලංකාවෙහි දේශපාලනඥයන් මෙන්ම එහි ජනතාව ද තමන් ලබන කිසිම අත්දැකීමකින් පාඩම් ඉගෙන ගන්නා බවක් පෙන්නුම් නොකරයි. ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා වශයෙන් තරග කිරීමට එරෙහි වූ අවස්ථාවේ එම නඩු විසිකර දැමුවා මෙන්ම ඔහුට ජනාධිපති වීමට අවස්ථාව ද ජනතාව විසින් සකසා දුනි. අද එම ජනතාව තමන් කළ එම වැරැද්දට වන්දි ගෙවමින් සිටී. හෙට මෙම වන්දිය මීටත් ඉහළ යන බව ඔවුන් නොදන්නවා වුණත් දේශපාලන සහ ආර්ථික කාරනා ගැන  වැටහීමක් ඇත්තවුන්ට එය පැහැදිලිව පෙනෙන්නට තිබේ.

දැන් ධම්මික පෙරේරාටත් ඒ ආකාරයෙන්ම රට බාර දී ඇති අතර හෙට ඔහු මොනවා කරාවිද අපට සිතා ගැනීමට නොහැක. බදු ගෙවීම් පැහැරහැරි ව්‍යාපාරිනයකුට රටෙහි දත්ත ගබඩාව බාරදෙනවා යනු නරියාට කුකුලන් බාරදීම බව පැහැදිලිය. ගෝඨාබය-රනිල් දෙබාන ලංකාවට දෙවියන්ටවත් පිහිට විය නොහැකි තත්වයකට පත් කරනබව දැන්නම් පැහැදිලිය.

රට බර කරත්තයක් නම් අද එය තිබෙන්නේ එහි කඩඇන දක්වාම මඩෙහි එරීය. එහි බැඳ ඇති ගෝඨා-රනිල් වැහැරුනු මහළු ගොන් බානකි. ඔවුන් කරනු ඇත්තේ එම කරත්තය ඇදීමට වෙරදැරීම තුල එය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. රට බේරාගැනීමට නම් වහාම මෙම ගොන් බාන ලිහා රට නිදහස් කරගත යුතුය.

 

 

 

Archive

Latest news

Related news