Saturday, April 27, 2024

අරගලකරුවන් සහ අරගලකාරියන් අත්අඩංගුවට ගැනීම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා-Black Cap Movement

අරගලකරුවන් පැහැරගෙන යාම සහ නීතිමය අඩන්තේට්ටමට ලක්කිරීම පිළිබඳවයි

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති නමුදු තවමත් නිර්ලජ්ජිතව බලයේ රැඳී සිටින වත්මන් ජනාධිපතිවරයාගේ උපන්දිනය දා අරගලකරුවන්ට එල්ල වූ රාජ්‍ය මර්දනය, Black Caps Movement අපි තරයේ හෙළා දකිමු. මෙම විරෝධතාවට සම්බන්ධ වූ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු අරගලකරුවන් 21 දෙනෙකු ඊයේ පොලිසිය විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගෙන උසාවි ඇප මත මුදාහැර තිබේ.

ඊට අමතරව ගාලුමුවදොර අරගල භූමියේ සහ ගෝඨාගෝගම ආරම්භයේ සිට ඉතා සක්‍රීය සාමාජිකයකු වූ අමල් සාලින්ද මහතා ඊයේ (20) දිනයේදී පොලිසිය විසින් අත්තනෝමතික ලෙස පැහැරගෙන ගොස් වරාය පොලිසියේ රඳවා තබා ගෙන ඇත. ඊටත් වඩා වැදගත්ම කරුණ වන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥවරුන්ට ඔහුව අද (21) දින අධිකරණයට ඉදිරිපත් කරන බවට පවසා නීතීඥයින් නොමඟ යවමින් ඊයේ රාත්‍රීයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වෙනුවෙන් කරුණු දැක්වීමට නීතීඥ මහතුන් හට ලැබිය යුතු අවස්ථාව චේතනාන්විතවම අහිමි කරනු ලබන අතර, අමල් සාලින්ද මහතා දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට පත්වූ ඕනෑම සැකකරුවකු, උසාවියෙන් වරදකරු බවට තීන්දු කරන තුරු නිවරදකරුවකු ලෙස සැලකීමට නීතිය සහ පොලිසිය බැඳී සිටියි. එපමණක් නොව, ඕනෑම සැකකරුවකු හට ඇප ලබාගැනීමේදී නීතිඥ සහය ලබාගැනීමට මූලික අයිතිවාසිකමක් තිබේ. අමල් සාලින්ද මහතා සම්බන්ධයෙන් පොලිසිය ඉහත අයිතිවාසිකම් දෙකම සිතා මතාම උල්ලංඝනය කර තිබෙන බව අපේ අදහසයි. මෙහිදී සැකකරු වෙනුවෙන් කරුණු දැක්වීමට ඉඩක් නොලැබෙන පරිද්දෙන් නීතිඥයන්ට වැරදි තොරතුරු ලබා දී ඔවුන් නොමග යවමින්, සැකකරු බන්ධනාගාරගත කිරීමේ පූර්ව සූදානමකින් පොලිසිය හැසිරී ඇති බව පැහැදිලි ව නිරීක්ෂණය වේ.

අරගලයට සම්බන්ධ පාර්ශවයක් ලෙස Black Cap Movement අප, ඉහත සිදුවීම සහ එහිදී ශ්‍රී ලංකා පොලිසියේ හැසිරීම ඉතා පිළිකුලෙක් යුතු ව හෙළා දකිමු. එසේම, අරගලකරුවන් මර්දනය කරනු පිණිස පොලිසියේ බලතල අවභාවිතා කිරීමට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අවධාරණය කරමු.

ස්තුතියි.
විමුක්ති දුෂාන්ත – සම කැඳවුම්කරු
හේමප්‍රිය කවිරත්න – සම කැඳවුම්කරු
බුද්ධි කරුණාරත්න – මාධ්‍ය ප්‍රකාශක

21/06/22

Archive

Latest news

Related news