Thursday, March 28, 2024

දේශබන්දු අත්අඩංගුවට ගන්නා ලෙස පවරූ නඩුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ගෙන් ඉවතට!

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැය 09වන දින ගෝල් පේස්හි ගෝටා ගෝ ගමට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස පවරා ඇති නඩුව විභාග කිරීම කොටුව මහේස්ත්‍රාත් තිළින ගමගේගෙන් ඉවත් කර තිබේ.

මෙසේ එම නඩුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලද්දේ නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය වන අචලා සෙනවිරත්න විසින් කරන ලද ඉල්ලීමක් අනුවය.

එම ඉල්ලීම කරන ලද අවස්ථාවෙහිදී අධිකරණයේ සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න එම ඉල්ලීමට විරුද්ධව කරුණූ දක්වා තිබේ.

එසේ නමුත්   මහේස්ත්‍රාත් තිළින ගමගේ, දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී බවට සැකයක් ඇති බවට නීතිඥ අචලා සෙනවිරත්න තර්ක කිරීමෙන් පසු නඩුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට පියවර ගන්නා ලදී.

මෙම නඩුව පවරා ඇත්තේ සෙයිද් මොහොමඩ් නිසාර් මවුලානා විසිනි. ඔහු ද 09දා රාජපක්ෂ මැර බලකායේ ප්‍රහාරයට ලක්විය. තමන්ට පොලුවලින් පහර දුන් බවත් ඒ හේතු කොට ගෙන ප්‍රථමයෙන් පුද්ගලික රෝහලකින්ද පසුව කොලඹ මහ රෝහලින්ද ප්‍රතිකාර ගත් බව ඔහු කියා සිය පැමිණිල්ලේ කියා සිටී.

මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවෙහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එහි සිටි බවත් මර කල්ලි මෙහෙය වූ සනත් නිශාන්ත නම් මංත්‍රීවරයා සමඟ ඔහු සිටි බවත් ප්‍රහාරය වැළැක්වීමට ඔහු කිසිදු පියවරක් නොගත් බවත් එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව පොලිස් අඥා පනතේ පොලිස් නිලධාරියකුව සිටියදී බියගුළු වීමේ වරද සිදු කිරීම යනාදිය සම්බන්ධයෙන් වග උත්තරකරුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙසත්,

සැකකරු අත්අඩංඟුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසත්,

ඉහත සඳහන් පොලිස් අඥා පනත උල්ලංඝනය කරන වරදවල් සම්බන්ධයෙන් පරීක්ෂණයකට සිතාසි නිකුත් කරන ලෙසත්,

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 282වන වගන්තිය ප්‍රතිපාදන අනුව චෝදනා ගොනු කරන ලෙසත්,

ඒ අනුව දඩුවම් සහ සහන ලබා දෙන ලෙසත් පැමිණිළිකරු ඉල්ලා සිටී.

මෙයට පෙර පසුගිය අප්‍රෙල් මාසයේදී ද එවැනි ඉල්ලීමක් කරන ලදී. තිලින ගමගේ සහ රාජපක්ෂවරුන් අතර ඇති සම්බන්ධය මෙම වීඩියෝවෙහි දැක්වේ.

Archive

Latest news

Related news