Tuesday, July 16, 2024

ජනමාධ්‍යවේදී තවසීලන්ට නාදුනන පුද්ගලයකු පහර දෙයි; පොලිසිය ඔහු නිදහස් කරයි!

දෙමළ මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලනට ඉන්ධන හිඟය පිළිබඳ පුවතක් වාර්තා කරමින් සිටියදී මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී නාඳුනන පුද්ගලයකුගේ ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙය සිදුවූයේ 17වන සිකුරාදාය.

සිකුරාදා තවසීලන් මුලතිව් මල්ලාවි ඉන්ධන පිරවුම්හලට ගොස් ඇත්තේ, ඉන්ධන පිරවුම්හලෙන් පිටත දිගැදුණූ දිගු පෝලිම් පිළිබඳව වාර්තා කිරීම සඳහාය. එහිදී ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් බලා සිටියදී නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයට ලක් විය. තවසීලන් මල්ලාවි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

හමුදා හා පොලිස් සෙබළුන් බලා සිටියදීම ජ්‍යෙෂ්ඨ දෙමළ මාධ්‍යවේදී ශන්මුගම් තවසීලන්ට පහරදුන් නාඳුනන පුද්ගලයා දින 2 තිස්සේ අත්අඩංගුවට නොගත් මල්ලාවි පොලීසිය, අද දින විමර්ශනයක් සඳහා මාධ්‍යවේදියා කැඳවන ලද අතර අත්අඩංගුවට ගත් සැකකරු කෙටි වෙලාවක් රඳවා තබා නිදහස්කර යැවූ බව ටිවිටර් ආරංචි මාර්ග දක්වයි.

තවසීලන් වැඩ කරමින් සිටියදී පහර කෑමට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2020 ඔක්තෝම්බර් මාසයේදී තවසීලන් සහ තවත් මාධ්‍යවේදියෙකු වන කනපතිපිල්ලේ කුමනන් සමඟ නීතිවිරෝධී දැව ජාවාරම් පිළිබඳ පුවතක් වාර්තා කරමින් සිටියදී යකඩ පොලුවලින් පහර දෙන ලදී.

මාධ්‍යවේදීන් ඔවුන්ගේ වෘත්තීය කිරීමේදී  හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයට ලක්වීම දැන් නිතිපතා වාර්තා වේ.

එනමුත් උතුරු නැගෙනහිර සිදුවන එවැනි මර්දනකාරී ක්‍රියා කොළඹ ජනමාධ්‍ය සංවිධාන විසින් බොහෝ කොට නෙසළකා හරිනු ලැබේ.

Archive

Latest news

Related news