Thursday, April 25, 2024

මෙරට ලක්ෂ 50ක් ජනයා හාමතේ!- එක්සත් ජාතීන් කියයි

කොළඹ වෙසෙන ලක්ෂ 2ක් ඇතුළුව මිලියන පහකට ආසන්න ශ්‍රී ලාංකිකයන් එදිනෙදාට ජීවත් වෙමින්, අඩුවෙන් කමින්, රන් ආභරණ විකුණමින්, මුදල් ණයට ගනිමින් ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සතියේ බ්‍රහස්පතින්දා සිය ලෝක ව්‍යාප්ත ආයාචනයක සඳහන් කර තිබේ.

අවදානමට ලක් වූවන් අතර උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු පහට අඩු ළමුන් 56,000 ක් සිටින අතර ඔවුන්ට පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර අවශ්‍ය බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ප්‍රකාශ කර තිබේ.

ගෝටා ජනාධිපති ධූරයට පත්වී වසර දෙකක් වන විට රජය 2021 නොවැම්බර් මාසයේදී දරුවන්ට ත්‍රිපෝෂ පෝෂණය ලබා දීම නතර කළ අතර පාසල් ආහාර ද නවතා දමන ලදී. 2020 දී ලෝක ආහාර වැඩසටහන මගින් ත්‍රිපෝෂ සඳහා දේශීය බඩඉරිඟු මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ප්‍රදානයක් ලබා දී තිබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙරට ජනගහනයෙන් සියයට 22 ක් දක්වා පිරිසකට ආහාර ආධාර අවශ්‍ය බවයි. එය පවසන්නේ නිවාස සියයට 86 ක ජනයා තමන් කන දේ අඩු කරන අතර සමහරු ආහාර නොමැතිව සිටින බවයි.

සෞඛ්‍ය සේවය ද අනතුරේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

“දැනට අත්‍යවශ්‍ය ඖෂධ 200 කට ආසන්න ප්‍රමාණයක් තොග නොමැති අතර ඉදිරි මාස දෙක තුන තුළ තවත් තීරණාත්මක ඖෂධ 163 ක හිඟයක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත,”  යැය එම වාර්තාව පවසයි. එමෙන්ම අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම 2700කට වැඩි ප්‍රමාණයක් සඳහා සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250කට වැඩි ප්‍රමාණයක් තොග ගබඩාවල නොමැත.

තවත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයක් පවසන්නේ ශ්‍රී ලංකාව “පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකට” මුහුණ දීමේ අවදානමකට ලක්ව ඇති බවත්, එම තත්වය විසඳීමට පියවර ගනිමින් සිටින බවත්ය. මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රකාශක ජෙන්ස් ලාර්ක් විසින් මෙම අනතුරු ඇඟවීම කර ඇත.

ඒ අතරම, ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ මානුෂීය හවුල්කරුවන්ගේ ඇස්තමේන්තුවලට අනුව, “මිලියන 5.7 කට ආසන්න කාන්තාවන්, ළමයින් සහ පිරිමින්ට ක්ෂණික ජීවිතාරක්ෂක ආධාර අවශ්‍යව ඇත” යනුවෙන් එක්සත් ජාතීන් සඳහන් කරයි.  කුසගින්නෙන් පෙළෙන යුද වැන්දඹුවන් බහුලව සිටින කුරුණෑගල ප්‍රදේශයේ 600,000ක් පමණ සහනාධාර අවශ්‍යව සිටිති. හම්බන්තොට ලක්ෂ 2කට ආධාර අවශ්‍යතාවයක් තිබේ.

කුරුණෑගල ජනයාගෙන් සියයට 82ක් ණය ගන්නා අතර සියයට 60ක් රත්‍රං බඩු උකස් කරති. දකුණේ සියයට 51 ක් ණය ගන්නා අතර සියයට 50 ක් තම ස්වර්ණාභරණ අලෙවි කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සොයාගෙන ඇත.

ගොවි සහ ධීවර ප්‍රජාවන් ආහාර අනාරක්ෂිතභාවයට ගොදුරු වීමේ අවදානම වැඩි වී ඇත.

Archive

Latest news

Related news