Saturday, April 27, 2024

ප්‍රසන්න රණතුංග කප්පම් නඩුව: මහ ඇමති බලතල සහ වරප්‍රසාද අවභාවිත කර රුපියල් මිලියන 64 ක මුදලක් ලබා ගෙන තිබෙනවා. – නඩු තීන්දුව

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවෙහි දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග  තම මහ ඇමති කාර්යාලයේ බලතල සහ වරප්‍රසාද අවභාවිත කර ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවේ තීන්දුවේ සඳහන් කර  තිබේ.

ක්‍රිස්ටියන් ජෙරාඩ් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර චෙක්පත් කිහිපයක් මගින් රුපියල් මිලියන 64ක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග සහ නරේෂ් කුමාර් ෆාරීක් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 15ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබුණි. රණතුංග මෙම වරද සිදුකර ඇත්තේ මෙරට ප්‍රධානතම පලාත වන   බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදීය.

එම තනතුරු ඉතා බලවත් එකකි.

රණතුංග මහතා පොරොන්දු පත්‍ර ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අතර අනෙක් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි. එම චෝදනාව සම්බන්ධයෙන් රණතුංග මහතාට වසර පහකට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් විනිසුරුවරයා විසින් නියම කළේය. ඔහුට රුපියල් මිලියන 20ක දඩයක් ද නියම කළ අතර පැමිණිලිකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

පළමු විත්තිකරු වන රණතුංග  තමාට පොරොන්දු පත්‍ර ලබා දෙන ලෙස පැමිණිලිකරුට බල කළ බව පිටු 52 කින් යුත් නඩු තීන්දුවේ සඳහන් වේ. මෙම කාරණය සම්බන්ධයෙන් පළමු විත්තිකරු සහ අනෙක් විත්තිකරුවන් දෙදෙනා අතර එකඟතාවක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නොවූ බව නඩු තීන්දුව සඳහන් කරයි.

රණතුංග  පැමිණිලිකරුට තර්ජනය කර රුපියල් මිලියන 5ක චෙක්පත් ලබාගෙන එය මුදල් බවට පත්කර ගෙන ඇත. රණතුංග මහතා පැමිණිලිකරුගෙන් පොරොන්දු පත්‍ර ලබා ගන්නා විට පැමිණිලිකරුගේ නමට රුපියල් මිලියන 40.2ක චෙක්පත් හයක් රණතුංග ළඟ තිබුණි. ඉන් චෙක්පත් තුනක් දින නියම කර නොතිබූ බව නඩු තීන්දුව සටහන් කරයි.

මීතොටමුල්ල ප්‍රදේශයේ තමන්ට අයත් ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිලිකරු වන ක්‍රිස්ටියන් ජෙරාඩ් මෙන්ඩිස් විත්තිකරු වන ප්‍රසන්න රණතුංග  හමුවී තම ඉඩමට යන මාර්ගයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහය ඉල්ලා ඇත. විත්තිකරු ඊට එකඟ වී අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් ලබාදී ඔවුන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම ඉඩම සංවර්ධනය කර රුපියල් මිලියන 204.8 කට විකුණා ඇති අතර, පැමිණිලිකරුට අයත් සමාගම‍  වෙත නිකුත් කරන ලද චෙක්පත් රුපියල් මිලියන 64 ක් විය.

ඉඩම විකිණීමෙන් ලැබෙන ලාභය වියදම් කිරීමෙන් පසු මුදල අඩු කර රණතුංග මහතා සහ මෙන්ඩිස්  අතර බෙදා ගැනීමට එකඟතාවක් ඇති වී තිබේ. කෙසේ වෙතත්, මෙන්ඩිස්  විසින් නිකුත් කරන ලද ඇතැම් චෙක්පත් වෙනස් කිරීමට නොහැකි වූ පසු ප්‍රසන්න රණතුංග මහතා පැමිණිලිකරුට අසභ්‍ය භාෂාවෙන් තර්ජනය කර මුදල් ඉල්ලා තිබේ.

පැමිණිලිකරුගේ සාක්ෂිවලට අභියෝග කිරීමට ප්‍රසන්න රණතුංගට එනම් විත්ති පාර්ශ්වයට නොහැකි වූ අතර ලේඛනමය සාක්ෂි ද ඊට සහාය වී ඇති බව විනිසුරුවරයා සඳහන් කළේය.

රණතුංගගේ බිරිඳ ඉඩම සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 5ක් වැය කර ඇති බවට විත්ති පාර්ශ්වය කළ ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් අධිකරණයට හමු වී නැත.

යමෙකු තම බලතල සහ වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරමින් තර්ජනය කරන විට බියට පත් වීම සාධාරණ බවද අධිකරණයේ නිරීක්ෂණය කර තිබේ. විත්තිකරුගේ  එනම් ප්‍රසන්න රණතුංගගේ තර්ජන හේතුවෙන් පැමිණිලිකරු පොරොන්දු පත්‍රවලට අත්සන් තබා ඇත. විත්තිකරු එනම් ප්‍රසන්න රණතුංග, පැමිණිලිකරුට දුරකථනයෙන් සහ පැමිණිලිකාර කාර්යාලයට පැමිණ තර්ජනය කර ඇත.

රණතුංග  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයගේ නමට එරෙහිව පූර්ව චෝදනා නොමැති බවත්, පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන්හිදී ඔහුගේ නිවස ගිනි තබා ඔහු දැඩි දුෂ්කරතාවට පත් වූ බවත්ය. තම සේවාදායකයා ද බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පිහිටවූ ආණ්ඩුවක ඇමැතිවරයකු බැවින් ඔහුට දැඩි දඬුවම් ලැබුණහොත් මේ රජය කෙරෙහි ජනතා විශ්වාසයද නැති විය හැකි බව ජනාධිපති නීතිඥ ද සිල්වා මහතා කියා සිටියේය.

විරෝධතා මතු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (ඩී.එස්.ජී) දිලීප පීරිස්  පෙන්වා දුන්නේ විත්තිකරු තම නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් අපරාධයක් සිදු කර ඇති බවත් එයින් ලාභ ලැබීමේ අරමුණින් රාජ්‍ය බලතල යොදා ගනිමින් පිටස්තර පුද්ගලයකු සිදුකළ ගනුදෙනුවකට මැදිහත් වී ඇති බවත්ය.

ඔහු මෙම නව අමාත්‍ය ධුරයට පත්වන අවස්ථාවේදී විත්තිකරුවන්ට අධි චෝදනා භාරදී තිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ නිසා ප්‍රසන්න රණතුංග තම තනතුර අනිසි ලෙස භාවිතා කර ඇති බැවින් ඔහුට උපරිම දඬුවම් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

( සන්ඩේ ටයිම්ස් ඇසුරිණි)

Archive

Latest news

Related news