Thursday, March 28, 2024

රනිල් සමඟ තේපැන් සංග්‍රහය: කරු ජයසූරිය නායකත්වයෙන් යුතු සා.ස.ජා.ව්‍ය. යෙන් යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරක්

අප වෙබ් අඩවියට ලිපි සපයක ලේඛකයකු විසින් රනිල් සමඟ කරු ජයසූරිය ගේ ටී පාටිය සහ අරගල සටන් පාඨය වළ දැමීම  නම්න් පළ කරන ලද ලිපියට කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පිළිතුරක් එවා තිබේ. එය එවා ඇත්තේ එහි ප්‍රචාරක ලේකම් සුනිල් ජයසේකර විසිනි.

අප ලේඛකයා විසින් මතු කරන ලද රනිල් වික්‍රමසංහගේ වැඩ පිළිවෙලට ආශිර්වාද පුද කිරීම, යෝජිත 21 වන සංසෝධනය 19වන සංසෝධනය ඉක්මවා යා යුතු බව ප්‍රකාශ නොකිරීම, තරුණ නායකත්වයෙන් යුතු අරගලයේ ප්‍රධාන සටන් පාඨය වන “ගෝටා ගෙදර යන්න” ඉල්ලීම සඳහන් නොකිරීම සහ රනිල්-ගෝටා ආණෟඩුව විසින් දියත් කර ඇති මර්දනය ගැන සඳහන් නොකිරීම යන සෑම ප්‍රශ්ණයක් මෙම පිළිතුරු ප්‍රකාශය නිහඩය.

එපමණක් නොව එම ප්‍රකාශය කියන්නේ ලැජ්ජා නැති ප්‍රකාශය සම්බන්ධයෙන් කරු ජයසූරිය ප්‍රධාන එකී ව්‍යාපාරය සහමුලින්ම පෙනී සිටින බවයි.

එහෙත් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දැන ගැනීමට ඇති පරිදි. එම තේ පැන් සංග්‍රහයට සහභාගි වූ බහුතරයක්  එකී ප්‍රකාශය නිකුත් කරන තුරු එය දැක නැත.

මෙම පිළිතුරු ප්‍රකාශයේ අපූරු වැකියක් තිබේ‍: ” එහිදී අප පළමුවත්, දෙවැනිවත්,තුන්වෙනුවත් සලකා බලන්නේ එකී අරමුණ සාක්ෂාත් කරගත හැකි ශිෂ්ටසම්පන්න හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් කෙරෙහි පමණකි” යන්නය.

එයින් අදහස් කරන්නේ රටෙහිම ආදරය දිනා ගත් “ගෝටා ගෙදර යන්න” ව්‍යාපාරය එවැනි ශිෂ්ඨ සම්පන්න එකක් නොවන බවද? එසේ නොවන්නේ නම් මෙම වැකියේ අර්ථය කුමක්ද?

කරු ජයසූරිය  අශිර්වාද කරන රනිල්  වික්‍රමසිංහගේ සමස්ත ප්‍රවේශය කුමන්ත්‍රණයක් නොවේද? වෙනත් පක්ෂ වලින් මුදලට මංත්‍රීවරුන් බා ගැනීම ශිෂ්ඨ සම්පන්න ක්‍රියාමාර්ගයක්ද? සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු අවස්ථාවෙහි කුමන්ත්‍රණකාරී ලෙස අගමැතිකම ලබා ගැනීම ශිෂ්ඨ සම්පන්නද?

මෙම පිළිතුරු ලිපිය රනිල් වික්‍රමසිංහට ගොට්ට ඇල්ලීමේ නින්දිත උත්සාහයකි. එහි රනිල් වික්‍රමසිංහට අබටැයක් තරම් හෝ විවේචනයක් නැත.

මෙම ප්‍රශ්නවලට අප පිළිතුරු අපේක්ෂා කරන්නේ කරු ජයසූරියගෙනි.

යුදවාදී සහ ජාතිවාදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කළ පිරිස් වීදුරු ගෙවල් වල සිට තරුණ අරගලයට ගල් ගැසීම චක්‍රායුදයක් බවට පත්වන බව පමණක් දැනට කියා සිටිමු.

( ශ්‍රී ලංකා බ්‍රීෆ්)

එම ප්‍රකාශය පහත පළවේ:

ලැජ්ජා නැති පුවත්පත් ප්‍රකාශය”  ගැන කරනු ලබන පැහැදිලි  කිරීමකි

ජනමාධ්‍ය  සදාචාරය,විසම්මුතියේ අගය, ජනමාධ්‍ය ආචාරධර්ම හා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය වැනි ඉහළ සමාජ සාරධර්ම උදෙසා නිරතුරුවම පෙනී සිටින SRILANKA BRIEFවෙබ් අඩවිය; සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පිළිබඳව  මහජනතාව නොමග යවන ආකරයේ සටහනක් පළකර ඇති බව දැනුම් දෙනු කැමැත්තෙමු. “ලැජ්ජා නැති පුවත්පත් ප්‍රකාශය” ලෙස එය හදුන්වා දී තිබේ.

SRILANKA BRIEF සදහන් කරන එකී පුවත්පත් ප්‍රකාශය පිළිබඳව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය වගකීමකින් යුතුව පෙනීසිටී. එකී පුවත්පත් ප්‍රකාශයට පදනම් කරගෙන ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් සිදුකරන ලද සාකච්ඡාවට පාදක වූ කරුණු එහි මැනැවින් අන්තර්ගත කර ඇති අතර එකී කරුණු පාදක කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පමණක් නොව ශ්‍රී ලංකාවේ ඕනෑම දේශපාලන නායකත්වයක් සමග තවදුරටත් අදහස් හුවමාරු කරගැනීමට අප සංවිධානය කිසිසේත්ම නොපැලිකෙන බව ප්‍රථමයෙන්ම සදහන් කරනු කැමැත්තෙමු.

එහිදී සංවිධානයක් ලෙස අප වැදගත් කොට සලකන්නේ මේ රටේ එක් එක් දේශපාලන පක්ෂ හා ඒවායේ නායකත්වයන් එක් එක් අවස්ථාවන්හි ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නොවේ. මේ මොහොතේ රටට බරපතළ විනාශයක් සිදුකරමින් තිබෙන දේශපාලන හා සමාජ අරාජිකත්වය හා එයට අතිශයින්ම ඉවහල්වී ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අප ඉතාමත් වැදගත් කොට සලකන්නෙමු. එම කාර්යය සපුරා ගත යුත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ඒවා නියෝජනය කරන මන්ත්‍රීවරුන් මැදිහත් කරගනිමින් වීම අත්‍යවශ්‍ය හා අනිවාර්ය වී තිබේ. ඒ අනුව අප සංවිධානයක් ලෙස අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලද්දේ යෝජිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යතාර්ථයක් කරගැනීමෙහි ඇති වැදගත්කම පිළිබඳවය. ඊට අමතරව ඉදිරියේදී  ඇතිවිය හැකි ආහාර හිගයට ගතහැකි විසඳුම් කෙරෙහි මෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම් මුල්කරගත් කාරක සභා ශක්තිමත් කිරීමේ ඇති අවශ්‍යතාවය කෙරෙහිද අප අවධානයට යොමුකරමින් සාකච්ඡා කළ කරුණු අතර විය.

එමෙන්ම SRILANKA BRIEF හි පළකර ඇති සටහනෙහි සදහන් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලයුතු බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීම වූ අතර කරු ජයසූරියට එයද අමතක වී තිබේ’ යන කරුණ කෙරෙහි විශේෂයෙන්ම එහි සංස්කාරකවරයා වෙත අවධාරණය කලයුතු කරුණක් තිබේ. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම සදහා සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමියන්ගේ මූළික පෙනීසිටීම  සංවිධානයක් ලෙස අප අපගේ ප්‍රමුඛතම කාර්යභාරය ලෙස නොවෙනස්ව සලකන බවය. එහිදී එකී අරමුණ උදෙසා  අප නිරතුරුවම පෙනීසිටින්නේ ප්‍රායෝගික හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් ඔස්සේ බවද සදහන් කරනු කැමැත්තෙමු.  2015 වසරේදී පමණ මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ සදහන් කළ කරුණක් කෙරෙහිද එහිදී අවධානය යොමුකිරීමට කැමැත්තෙමු. එනම් එදා ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට උන්වහන්සේ දැනුම් දුන්නේ ‘ඔබ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට පියවර ගන්නේ නම් අප ඒ සදහා ඔබට සහය ලබාදෙන්නට සූදානම්’ ය යන්නය. එයින් උන්වහන්සේ අදහස් කරන ලද්දේ  විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ පාලන ව්‍යුහයෙන් ඉවත් කර රට නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමුකරවීම අප සතු ප්‍රමුඛ වගකීම වනවා මිසක එය කරන්නේ  කුමන දේශපාලන නායකයෙක්  මුල්කරගෙනද යන්න අපට වැදගත් නැත යන්නය.

සංවිධානයක් ලෙස අප අද ද පෙනී සිටින්නේ එවැනි ආස්ථානයක පිහිටාය. එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම උදෙසාද එහි එක් පියවරක් ලෙස අප සලකන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 21 වැනි සංශෝධනය සම්මත කරවා ගැනීම උදෙසා ද අප මේ රටේ ඕනෑම දේශපාලන පක්ෂ නායකත්වයක් සමග සාකච්ඡා කරන්නටද  ඒ සදහා ඉදිරිපත්වන ඕනෑම දේශපාලන බලවේගයකට අපගේ පූර්ණ සහය ලබා දෙන්නට නොපැකිලෙන්නෙමු. එහිදී අප පළමුවත්, දෙවැනිවත්,තුන්වෙනුවත් සලකා බලන්නේ එකී අරමුණ සාක්ෂාත් කරගත හැකි ශිෂ්ටසම්පන්න හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් කෙරෙහි පමණකි. ඒ බව SRILANKA BRIEF සංස්කාරක වෙත කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු

 සුනිල් ජයසේකර

ප්‍රචාරක ලේකම්

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news