Saturday, April 20, 2024

තටු කැපුණු ශවේන්ද්‍රගේ ප්‍රතිප්‍රහාරය සහ  හුළං ගිය ජාතික ආරක්ෂාව – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: සිය මැරවර අනුගාමිකයින්ට එලව එලවා ජනයා පහර දෙත්දී අරලිය ගම මන්දිරයේ ගැහෙමින් සිටි රාජපක්ෂ දැන් බයිලා ගැසීමට පටන් ගෙන තිබේ.

යුද හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලද ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ පැවැත්වීම පිනිස කල් ඉකුත් ජනපති ගෝඨාභය විසින් පසුගිය දා මිලිටරි කමිටුවක් පත් කරන ලදී.

ගෝඨාභය විසින් පසුගිය 25දා  පත්කළ මෙම කමිටුවට ශවේන්ද්‍ර සිල්වා සමඟ අමනාපකම් පවතින සහ මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ සමඟ සමීප සම්බන්ධතා පවත්වන නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති දයා රත්නායක පත් කර තිබේ.

මෙම කමිටුවෙහි ප්‍රධානියා ලෙස පත් කර ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ත්‍රිකුණාමළ නාවික හමුදා කදවුරෙහි ගන් සයිට් ගුහාවෙහි රඳවා සිට  ඝාතනය කරන ලද පුද්ගලයින් 11 දෙනා සම්බන්ධ නඩුවෙහි සැකකරුවෙකි. එම පුද්ගලයින් එහි රඳවා සිටි බව ඔහු කල්තබා දැන සිටියේය.මේ වනාහී  දෙස් විදෙස්හි රැව් පිළිරැව් දෙමින් ඇති අපරාධයකි.

පසුගිය 09දා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සෙවීම, රනිල්-ගෝටා ආණ්ඩුව බාර දී ඇත්තේ එවැනි ඝාතන නඩුවක චූදිතයකුටය.

මෙම විශ්‍රාමික ගෝඨාවාදී මිලිටරි ප්‍රධානීන් පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර නැති අතර කිසිදු නිල නිවේදනයක්  සොයා ගැනීම ද දුෂ්කරය. එබැවින් මාධ්‍ය වාර්තා හැරුණ විට මෙම කමිටුවෙහි බලාධිකාරය දැන ගැනීමට මඟක් නැත.

කිසිදු නිල නිවේදනයක් නොමැතිව මෙවැනි ඉහළ පෙළේ මිලිටරි කමිටුවක් පත් කිරීම පෙන්වන්නේ ගෝටා තවමත් තනි තීරණ ගනිමින් රට පාලනය කරන බවයි.

අප්‍රේල් 31 දා  මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ  නිවාසය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය සහ පසුගිය 09 වෙනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාර පිළිබඳ වත් ඉන් පසුව ඇති වූ කලහකාරී ප්‍රතිචාර පිළිබඳවත් පරීක්ෂා කිරීමට මෙම මිලිටරි කමිටුව පත් කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වයට පත් කරනු ලබන්නේ අත්දැකීම් ඇති ඉහළ අධිකරණයේ විනිසුරුවරයෙකි. විනිසුරුවරියකි. නමුත් ගෝටාගේ දේශපාලනය යනු මිලිටරිය බැවින් ඔහු මෙම පරීක්ෂණය සඳහා පත් කර ඇත්තේද මිලිටරි නායකයින් පමණි.

“මහින්ද රාජපක්ෂගේ කතාව හරියට සහරාන් පාස්කු ඉරිදා ප්‍රහාර ගැන දැන නොසිටියේ යැයි කීම හා සමානය.”

මෙම කමිටුවෙහි ඇත්ත අරමුණ 09 වෙනිදා රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ රැඳී සිටි මහින්ද රාජපක්ෂට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා නොදීම සහ එවකට සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ආරක්ෂාව සලසා නොදීම පිළිබඳ පරීක්ෂා කිරීම බව දැන් පෙනෙන්ට තිබේ. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පහත හෙළා ඇති එකම ආරක්ෂ අංශ නිලධාරියා ශවේන්ද්‍රය.

ශවේන්ද්‍ර සිල්වාට රාජ යෝගයක් ඇතැයි ඥාණක්කා අනාවැකියක් කියා තිබීම  ඔහු ඉලක්ක කිරීමට හේතුවක් විය හැක.

ශවේන්ද්‍ර, ගෝඨාභයට නොදන්වා ඇමෙරිකානු තානාපතිවරිය මුණ ගැසීමද තවත් චෝදනාවක් බව කියැවේ.

හමුදාපතිවරයකු කවර හෝ විදේශීය තානාපති නිලධාරිණියක හෝ නිලධාරියකු හමු විය යුත්තේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාගේ අවසරයකින් පමණය. නමුත් මෙම හමුව සඳහා ශවේන්ද්‍ර එවැනි අවසරයක් ගෙන නැතැයි ද වාර්තා වේ.

සුදු කොඩි රැගෙන පැමිණි එල්ටීටීඊ නායකයින්ට වෙඩි තබා මරා දැමිය යුතු බවට එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය දුරකථනයෙන් දැනුම් දුන්නේ ශවේන්ද්‍රට යැයි 2010 මැතිවරණ සමයෙහි පෙඩ්රිකා ජෑන්ස් සන්ඩේ ලීඩර් පුවත් පතට ලීවේය. පසුව ඇයට ජීවිතය බේරා ගැනීම සඳහා ඇමෙරිකාවට පළා යාමට සිදු විය.

ශවේන්ද්‍ර සහ ගෝටා යනු එකට කුඩු කෑ දෙපළකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පමණක් තමාට ඉතිරිකර  යුද හමුදාපති ධුරයෙන් හදිසියේ විශ්‍රාම යැවූවද තමාගේ රාජකාරිය පිළිබඳ පැහැදිලි කමක් නැතැයි කියන ශවේන්ද්‍ර  තමා ඉදිරියට ගලන ගඟක් බවත් එය නතර කිරීමට කිසිවකුට බැරි බවත් කියයි.

තවද  ගෝටාගේ මිලිටරි කමිටුවට සමාන්තරව ශවේන්ද්‍ර ද 09දා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සොයා බැලීමට යුද්ධ මණ්ඩල දෙකක් පත් කර තිබේ. ඒ යුද හමුදාවේ දෙවැනියා සහ තෙවැනියා යටතේය. (“අරුණ” පුවත් පතට දුන් සාකච්ඡාව).

“අරුණ” පුවත් පතට ශවේන්ද්‍ර දුන් එම සාකච්ඡාවට දී තිබූ හෙඩිම වූයේ “ ජනතාව වෙනුවෙන් තමන් ලැහැස්ති බව ශවේන්ද්‍ර කියයි” යනුවෙනි. මේ පිළිබඳ ගෝටාට යකා නැඟ තිබූ බව වාර්තා වේ.

එම සාකච්ජාවෙහිදී “හදිසි නීතිය ක්‍රියාත්මක වුණු නිසා පොලිසිය මුල් අවස්ථාවේදීම තමන්ගේ වගකීම්වලින් මිදිලා හමුදාව කරනකම් බලා හිටියා වගේ තත්ත්වයක් නේද තිබුණේ?” යැයි  යන ප්‍රශ්නයට ශවේන්ද්‍රගේ පිළිතුර පොලිසියට එල්ල වූවකි:

“මේවා වන විට අපි හිටියේ කොළඹ. කොළඹ වෙච්ච දේ අපි හොඳින් දැක්කා. මේ පිළිබඳ පරීක්ෂණයේ දී ඒ ඒ අය ක්‍රියාත්මක වුණු ආකාරය එළියට ඒවි.”

ජාතික ආරක්ෂාවට මොකද වුණේ?

ගෝටා බලයට ඒමට පාවිච්චි කළ ලොකුම තුරුම්පුව වූයේ රටෙහි ජාතික ආරක්ෂාවය. පාස්කු ඉරිදා ප්‍රහාර ඇති වූයේ ජාතික ආරක්ෂාව බිද වැටී තිබූ නිසා යන්න එම තර්කය විය. නමුත් දැන් හෙළිදරව්  වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර සිදු වූයේ ජාතික ආරක්ෂාව බිඳ වැටීම නිසා නොව ගෝඨාවාදී ඉහළ පොලිස් නිලධාරීන්ගේ කුමන්ත්‍රණකාරී වසං කිරීම් නිසාය.

හමුදාපති වූ ජෙනරාල්  ශවේන්ද්‍ර කියන පරිදි පසුගිය 09දා අරලිය ගහ මන්දිරයේ සිට මැර කණ්ඩායම් පැමිණ ගාලු මුව දොර පිහිටි “ගෝටා ගෝ ගම”ට පහර දෙන බව ඔහු දැන සිට නැත. ගෝටාගේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නද එවැනි පහර දීමක් වන බව නොදැන සිටි බව කියා තිබේ. එදින රැයෙහි සිදු වූ ප්‍රහාරයන් ගැන කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබූ බව ද දෙදෙනාම කියා තිබේ.

සෑම ගෝටා ගෝ ගමකටම වෙස් වෙළා ගත් බුද්ධි නිලධාරීන් යොදවා සිටියදීත් එවැනි බුද්ධි තොරතුරු හමුදාපතිට නොලැබීමෙන් පෙනී යන්නේ හමුදාපති ඒ වන විටත් කපා දමා තිබූ බවද?

එසේ නමුත් එවැනි පහර දීම් සිදු විය හැකි බව ජාතික බුද්ධි සේවා ප්‍රධානී සුරේශ් සලේ ජනපති ගෝටාට දන්වා තිබී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ගෝටා දැන සිටි ශවේන්ද්‍ර නොදැන සිටි බුද්ධී තොරතුරු

ගෝටා ගාලු මුවදොර ප්‍රහාරයට ඉඩ නොදෙන ලෙස තවත් ගෝටාවාදී පොලිස් නිලධාරියකු වන බස්නාහිර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දුට දැනුම් දී තිබී ඇති බව දැන්  හෙළිදරව් වී තිබේ. එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ජෙනරාල් ජගත් ඩයස් ද ඒ බව දැන සිට තිබේ. දේශබන්දු මානව හිමිකම් කොමිසමට කියා ඇත්තේ පොලිස්පති වික්‍රමරත්න සහ ජෙනරාල් ජගත් ඩයස් ප්‍රහාරයට ඉඩ හරින ලෙස තමන්ට දැන්වූ බවයි. ඉන් අදහස් වන්නේ ඔවුන් මෙම මැර ප්‍රහාරය ගැන දැන සිටි බවයි. ඊට පෙර ගෝටා එම මැර බලකාය නතර කරන ලෙස දේශබන්දුට කිවේ, සුරේශ් සලේ දුන්  බුද්ධි තොරතුරු අනුවය.

“සතිපතා බුද්ධි අංශ රැස්වීමක් පැවැත්වී නම් කමල් ගුණරත්න මෙන්ම යුද හමුදාපති මහින්ද රාජපක්ෂගේ මැර හමුදාව ගැන නොදැන සිටියේ කෙසේද?”

ජාතික ආරක්ෂාව යන්නට මුවා වී ගෝටා බලයට පැමිණි වහාම ආරක්ෂක ලේකම් බවට පත් ජෙනරාල් කමල් ගුණරත්න පුවත් පත් සාකච්ඡාවක් තබා කීවේ  තමා  සතිපතා බුද්ධි අංශ සහ අදාළ  ආරක්ෂක ප්‍රධානීන් කැඳවා සාකච්ඡා පවත්වා බුද්ධි තොරතුරු බෙදා ගනිමින් ජජාතික ආරක්ෂාව තහවුරු කිරන බවයි.

එවැනි රැස්වීමක් පැවැත්වී නම් කමල් ගුණරත්න මෙන්ම යුද හමුදාපති මහින්ද රාජපක්ෂගේ මැර හමුදාව ගැන නොදැන සිටියේ කෙසේද?

අගමැති බයිලා සහ බුද්ධි තොරතුරු

එපමණක් නොවේ. එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂ කියන්නේ ද තමා එවැනි පහර දීමක් සිදු වන බව නොදැන සිටි බවයි. ඔහු එසේ කියන්නේ ඔහුගේ පුත්‍ර රත්නය වන නාමල් රාජපක්ෂ සමඟ සිටින පිරිස් අරලිය ගහ මන්දිරය තුල “මේක තමයි වෙලාව- ගෝල් පේස් බහින්න” යැයි කෑ ගසන වීඩියෝ පවා තිබිය දීය.

තවද  එදින සවස 06 වන තුරු තමා එවැනි පහර දීමක් සිදු වූ බව නොදැන සිටි බව ද මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එය ඇත්ත නම් ඔහුට කිසිදු බුද්ධි අංශ වාර්තාවක් එදින ලැබී නැත. අරලිය ගහ මන්දිරය පිටුපස බේරේ වැවෙහි සිය අනුගාමිකයින් නාමින් සිටි බව ඔහු සමාජ මාධ්‍ය මගින් හෝ දැක නැත!

ගෝටාගේ ජනාධිපතිවරණ සටන් පාඨය වූ ජාතික ආරක්ෂාවේ හුළං බැස ගොස් තිබූ සැටි, ප්‍රහාරය පිළිබඳ පොලිස්පති සහ ජනපති දැන සිටි  පූර්ව දැනුම් දීම්  ආරක්ෂක ලේකම් සහ හමුදාපති නො දැන සිටීමෙන් පෙනී යයි. නිල වශයෙන් ප්‍රහාරයේ නායකයා වන මහින්ද රාජපක්ෂ ද දැන සිට නැත.

එය හරියට සහරාන් පාස්කු ඉරිදා ප්‍රහාර ගැන දැන නොසිටියේ යැයි කීම හා සමානය.

මහේෂ් සේනානායක එදා සහ අද ශවේන්ද්‍ර: එකම කතාව

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එවකට හමුදාපති වූ මහේශ් සේනානායක කීවේ ද අද ශවේන්ද්‍ර කියන දෙයමය. එනම් තමන්ට මෙම ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු  කල් තබා නොලැබුණ බවයි.

නමුත් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සුරේශ් සලේ සතුව බුද්ධි තොරතුරු තිබුණි. එසේ නොතිබුණි නම් එය බුද්ධි සේවයක් නොවේ.

එසේ නම් එදා සහ අද අතර ඇති වෙනස කුමක්ද?

09දා රැයෙහි අරලිය ගහ මන්දිරයේ කොටු වී බියෙන් ගැහෙමින් සිටි මහින්ද සහ නාමල් රාජපක්ෂ බේරා ගැනීමට යුද හමුදාව ලවා වෙඩි තබා විරෝධතාකරුවන් පලවා හරින ලෙස කරන ලද ඉල්ලීමට තමා අවනත නොවූ බව හමුදාපති වූ ශවේන්ද්‍ර කියන්නට යන බව වාර්තා වන්නේ මෙම තත්වය යටතේය.

එළෙස වෙඩි තබන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටි අරලිය ගහ මන්දිරයේ සිර වී සිටි ඉහළම පෙළේ පුද්ගලයා කව්රුන්දැයි  පරීක්ෂණය හමුවේ ශවේන්ද්‍ර කියා සිටීමට ද ඉඩ තිබේ.

එම රැයෙහි අරලිය ගහ මන්දිරය වැටලූ විරෝධතාකරුවන් එවූ පණිවිඩ අතර තමන් ඉහළින්  ඩ්‍රෝන යාත්‍රා පියාසර කරන බව ද ප්‍රකාශ විය. එම ඩ්‍රෝන යාත්‍රා යුද හමුදාවට අයත් වූ ඒවා වූ අතර එමගින් යන ලද වීඩියෝ තමන් ඇතුළු පිරිසක් නිරීක්ෂණය කරමින් සිටි බව ශවේන්ද්‍ර  ඉහත කී “අරුණ” සාකච්ඡාවෙහි ප්‍රකාශ කරයි.

වෙඩි තියාපන්!

අරලිය ගහ මන්දිරය තුළට කඩා වැදීමේ සූදානමත් එම වීඩියෝ මගින් පෙන් වූවද  වෙඩි නොතබා එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂ නිරූපද්‍රිතව පිටතට රැගෙන ගියේ තමාගේ රහසිගත සැලැස්මක් අනුව යැයි ද ශවේන්ද්‍ර ප්‍රකාශ කර තිබේ. එහිදී වෙඩි තැබීමක් වී නම් නිරායුධ විරෝධතාකරුවන් විශාල ගණනක් මිය යෑමට ඉඩ තිබුණි.

ශවේන්දු සිය දේශපාලන අරමුණූ දැන් එළිපිටම කියයි. රටෙහි පවත්නා අරගලය ජිවත්වීමට නොහැකි වීම ඇතිවූ එකක් බවත් එය 1971 සහ 1989 කැරලි  මැඩ පැවැත් වූ ආකාරයෙන් මරිදනය කළ නොහැකි බවත් ඔහු මාධ්‍යට කියා ඇත්තේ අරලිය ගහ මන්දිරය වටකල විරෝධතාකරුවන්ට වෙඩි නෙැතැබී යැයි එල්ල කර ඇති චෝදනාවට පිළිතුරු ලෙසය.

අවසානයේ දී මහින්ද, ශිරන්ති, නාමල් සහ ජොන්ස්ටන් ඇතුලු පිරිස මුදවා ගන්නා ලද්දේ  මෙැවැනි තත්වයන්ට මුහුණ දීමට විශේෂ පුහුණුවක් සහිත යුද හමුදා ජංගම ගුවන් ප්‍රහාරක බලකාය අරලිය ගහ මන්දිරයට යැවීම මගිනි.

කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙසත් රසායනික පොහොර නැති කෘෂිකර්ම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙසත් ශවේන්ද්‍ර ගෝටා තරමට රට විනාශ කල පුද්ගලයෙකි.

මෙම මිලිටරි අර්බුදය යටතේ තවමත් ගෝටා පත් කල වසන්ත කරන්නාගොඩ  කමිටුව වැඩ පටන් ගත් බවක් වාර්තා වී නැත.

නමුත් ශවේන්ද්‍ර කියන්නේ තමා පත් කළ කමිටු වාර්තා ළඟ දීම ලැබෙනු ඇති බවයි.

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමයටය.

31.05.22

 

Archive

Latest news

Related news