Tuesday, July 16, 2024

19වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කර විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කරනු- එක්සත් වාමාංශික පෙරමුණ

19වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරනු! එයින් නොනැවතී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

රාජපක්ෂ-රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත 21වන ව්‍යවස්ථා සංශෝධනය ජනතාව බලාපොරොත්තු වන පරිදි 19වන සංශෝධනයට එහා යන එකක් නොව එහිද සැර බාල කරන ලද එකක් බවට පලවන වාර්තා ගැන එක්සත් වාමාංශික පෙරමුණ සිය බලවත් කනස්සල්ල පල කර සිටී.

අලුත්ම කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට අමාත්‍යංශ තබා ගත හැකි අතර වසර දෙක හමාරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක. 19වන සංශෝධනය එසේම තිබුනේ නම් එසේ අමාත්‍යංශ දැරිය නොහැකි අතර සිය තනි කැමැත්තට පාර්ලිමේන්තුව විසුරුවා හරිය හැක්කේ වසර හතර හමාරකට පසුවය.

පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ එවකට විපක්ෂයේ බලපෑම නිසා 19වන සංශෝධනයෙන් ඉවත්කළ වැදගත් ප්‍රතිපාදන දෙකක් නැවත ගෙන ආ යුතු බවද එක්සත් වාමාංශික පෙරමුණ අවධාරණය කර සිටී.

පළමුවැන්න, මන්ත්‍රීවරයෙකුට එරෙහිව, බොහෝ විට ආණ්ඩුවට එක්වීම නිසා, විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් නෙරපීමෙන් සිය මන්ත්‍රී ධූරය අහෝසි වීමට ඉඩ ඇති විටක එම විනය පරීක්ෂණය අත්හිටවීමේ අතුරු නියෝගයක් අදාළ පක්ෂය වෙත කිරීමට පහල අධිකරණයකට බලය අහිමි කිරීමය.

දෙවැන්න, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරු සහ සාමාන්‍ය පුරවැසියන් අතර අනුපාතය අවසාන සංශෝධනයේ ඇති පරිදි 7:3 නොව මුල් පනත් කෙටුම්පතේ තිබූ පරිදි 3:7 කිරීමය.

19වන සංශෝධනය නැවත ගෙන ඒම නිවැරදි පියවරක් වන නමුදු, එහි තිබූ ප්‍රධාන නෛසර්ගික පරස්පරය, එනම් ජනාධිපති සහ පාර්ලිමේන්තුව යන තරඟකාරී බල කේන්ද්‍ර දෙකක් පැවතීම, අමතක නොකළ යුතුය. එම පරස්පරය නැතිකළ හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කිරීමෙන් පමණි.

අද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දිවයින පුරා සිටින අරගලකරුවන් ගේ පමණක් නොව එම අරගලයට සහය දෙන අති විශාල ජනතාවගේද ප්‍රධාන ඉල්ලීමකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන යමෙකුට සැක තිබුනේ නම්, තනි කැමැත්තට ජනාධිපතිවරයා තීරණ ගැනීම වෙනුවට පාර්ලිමේන්තු ක්‍රියාවලය තුලින් සාමූහිකව තීරණ ගත්තේ නම් පසුගිය කාලය තුල ඇතිවූ ශ්‍රී ලංකාවේ පෙර නොවීරූ තරම් වූ ආර්ථික සහ කෘෂිකාර්මික අර්බුදය සහ නීතිය සහ සාමය බිඳ වැටීම වැළැක්වෙන බව තේරුම් ගැනීමෙන් එම සැක දුරුවනු ඇත.

21 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ එක්සත් වාමාංශික පෙරමුණේ නිවේදනයකි.

කීර්ති කාරියවසම්ල ලේකම්, එක්සත් වාමාංශික පෙරමුණ

Archive

Latest news

Related news