Friday, April 19, 2024

ආධාර දීමට නම් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්න; ඇමෙරිකාව සහ ලෝක බැංකුව ලංකාවට කියයි.

පසුගිය 23 දා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ   දුරකථන සාකච්ඡාවක් පැවැත් වූ දින USAID ආයතනයේ ප්‍රධානී සමන්තා පවර්  ශ්‍රී ලංකා රටේ දේශපාලන සහ ආර්ථික අර්බුද පිළිබඳ සිය  ප්‍රතිචාර දක්වා තිබේ.

USAID යනු ශ්‍රී ලංකාව වැනි රටවලට විශාල වශයෙන් ආධාර සපයන ඇමෙරිකා එක්සත් ජනපද ආයතනයයි.

එහි දී ඇය ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බව ඇය අවධාරණය කළ බව USAID නිවේදනයක් මගින් කියා සිටී.

මේ අතර ඇය මෙම මස මුලදී දේශපාලන නොසන්සුන්තාවයන් නිසා මිය ගිය හෝ තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය සංවේගය ප්‍රකාශ කර ඇත.

ඇය ශ්‍රී ලංකාවේ ජනතාවට සිය සහය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් අතර USAID ආයතනය අර්බුදයෙන් මිදීමට රටට උපකාර කරන බවට කැපවන බවද දන්වා තිබේ.

මෙම අසාමාන්‍ය දුෂ්කර කාල පරිච්චේදය තුළ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා USAID IMF, ලෝක බැංකුව, G7 සහ වෙනත් ආධාරකරුවන් සමඟ සමීපව කටයුතු කරන බවද සමන්තා පවර් අගමැතිවරයාට කියා තිබේ.

රාජපක්ෂ රජය සමන්තා පවර් සලකන ලද්දේ ශ්‍රී ලංකාවට විරුද්ධ රාජ්‍ය තාන්ත්‍රිකාවක ලෙසයි. ඇය ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනා සම්මත කර ගැනීම පිනිස, ඔබාමා පාලන කාලය තුලදී මූලිකත්වය ගෙන කටයුතු කළේය.

මේ අතර එදිනම නිවේදනයක් නිකුත් කළ ලෝක බැංකුව කියා සිටියේ  හිඩැස් පිරවීමේ ණයක් හෝ නව ණය බැඳීමක් ලෙස ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ලෝක බැංකුව සැලසුම් කරන බවට පළ වී ඇති වාර්තා සාවද්‍ය බවයි.

එම නිවේදනය කියන්නේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන බව ප්‍රකාශ කරන ලෝක බැංකුව ආර්ථික ස්ථාවරත්වය සහ පුලුල්ව පදනම් වූ වර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ තමන් සම්බන්ධීකරණයෙන් කටයුතු බවත් එම නිවේදනය සඳහන් කරයි.

මේ අතර කලින් ලංකාව සඳහා අනුමත කර තිබූ ව්‍යාපෘති අරමුදල්, අත්‍යවශ්‍ය ඖෂධ , දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පවුල් වලට ආධාර කිරීම, අවදානමට ලක්විය හැකි පවුල්වල දරුවන්ට පාසල් ආහාර සහ ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා ආධාර කිරීම සඳහා  නැවත සකස් කරමින් සිටින බවද එය ප්‍රකාශ කරයි.

රාජපක්ෂ ආණ්ඩුව ලෝක බැංකුව සලකන ලද්දේ ද ශ්‍රී ලංකාවට සතුරු ආයතනයක් ලෙසයි.

Archive

Latest news

Related news