Wednesday, May 1, 2024

ගෝටාගේ අගමැති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට කී -රාජපක්ෂලාට දඩුවම් නැති ගෝටා ඉවත් නෙකරන –  අපූරු කතා

ගෝඨාභය රාජපක්ෂ විස්න් පත් කරන ලද අගමැත වන රනිල් වික්‍රමසිංහ ඊයේ  බ්‍රිතාන්‍යයේ  මුල්පෙල රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි විය. එම වීඩියෝව මෙම ලිපිය අවසානයේ පළ වේ.

මෙම සාකච්ඡාවෙහිදී  ස්කයි නිව්ස් ප්‍රශ්ණ විචාරකයා ඇසූ ප්‍රශ්ණ ගණනාවකටම පිළිතුර වශයෙන් වික්‍රමසිංහ කීවේ අර්ධ සත්‍යයන් ය. බොරුය. නැත්නම් විහිළුය. ඊටත් වඩා රාජපක්ෂරුන් බේරා ගැනීමට ඔහුට ලැබී ඇති කොන්ත්‍රාත්තුව එහිදී අපූරුවට එළියට ආවේය.

වික්‍රමසිංහ මුලින්ම කීවේ අද මෙරට මුහුණ දී තිබෙන අර්බූදයට හේතුව රාජපක්ෂ පාලනය බවයි. ඔවුන් රට විනාශ මුඛයට හෙලූ බවත් රට බංකොළොත් කළ බවත්  ඔහු කීවේය.

එවිට ප්‍රශ්ණ විචාරකයා මෙවැනි ප්‍රශ්ණයක් ඇසුවේය.

“ඔබ කියනවා අර්බූදයට මෙම (රාජපක්ෂ) ආණ්ඩුව වගකිව යුතු බව. ඔවුන්ගේ පවුල දශක දෙකක් රට පාලනය කරා.  මෙම තත්වය ඇති කළ ඔවුන්ට ඇති තරම් දඩුවම් ලැබී නැහැ නේද? දැන් අගමැති අස්වෙලා. ඉතිං මෙම අර්බූදය ඇති කළ ජනාධිපති ඉවත් විය යුතු නැත්ද?”

වික්‍රමසිංහගේ උත්තරය සෙවල භූමිකාව අපූරුවට පෙන්නුම් කළේය.

“ ඒ ගැන තියෙන්නේ විවාදයක්. තරුණ විරෝධතාකරුවන් කියනවා ජනපති ගෙදර යා යුතුයි කියා. නමුත් නීතිඥ සංගමය එහෙම කියන්නේ නැහැ. ඔවුන්  කියන්නේ ජනාධිපති බලතල අඩුකළ යුතුයි කියලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා”

රටෙහි ප්‍රධන විපක්ෂය සහ ප්‍රධන දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගෝටා ඉඉවත් විය යුතුය ස්ථාවරය දරන බව වික්‍රමසිංහ යටපත් කරයි.

ගෝඨාභය රැක ගැනීම පිණිස නීතිඥ සංගමයේ යෝජනා පිටුපස සැඟවුන වික්‍රමසිංහ නොකී එම යෝජනාවේ සදහන් කරුණු මෙසේය.

යෝජනාව  06.  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැකි තරම් ඉක්මනින්, එනම් මාස 15ක් ඉක්ම යාමට පෙර සිදුකළ යුතු ය. ඒ සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2022 නොවැම්බර් 30 දාට පෙර සම්මත කළ යුතුය. එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දින වකවානු නියම කළ යුතු ය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු පාලනයක් නිර්මාණය කළ යුතු ය. ආණ්ඩුවේ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයාත්, කැබිනට් ඇමතිවරුනුත් පාර්ලිමේන්තුවට වගවිය යුතු ය.”

වික්‍රමසිංහ කියන විදියට ඔහු පිළිගන්නේ නීතිඥ සංගමයේ යෝජනාවය. එය පිළිගන්නේ නම් ඔහුට අගමැතිවීමට කිසිම අයිතියක් නැත. ඒ මෙසේය:

යෝජනාව 07. “ඇමතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් වහා පිහිටුවිය යුතු ය. එහි අගමැතිවරයා ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර සම්මුතියක් නිර්මාණය කිරීමට සමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතු අතර මෙම නිර්ණායකය සපිරිය හැකි මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නොමැති නම්, වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයකු අගමැති ලෙස පත්කිරීම සඳහා බහුපාර්ශ්වීය සම්මුතියක් ඇති කරගත හැකි නම්, හදිසි අවශ්‍යතාව මත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී, අගමැති ධුරය සඳහා යෝජිත පුද්ගලයා පාර්ලිමේන්තුවට පත්කර ගත යුතුය.”

වික්‍රමසිංහ සාකච්ඡාවෙහි දී තවදුරටත් මෙසේ පවසයි: “ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව ශක්තිමත් කරමින් – අගමැතිගේ බලතල ශක්තිමත් කරමින් මුල් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට යථා තත්වයට පත් කළ යුතු යැයි මම යෝජනා කළෙමි.

“ඉන් පසු, සියලු පක්‍ෂ නායකයින් සහ‍, ජනාධිපතිතුමා සාකච්ඡා කරල අනාගතය ගැන යම් වැඩපිළිවෙළකට එන්න ඕන.”

වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ ගෝටා තියාගෙන  බලය තම අතට ගැනීමට පමණක් බව මෙමගින් පැහැදිලි වෙයි.

ඊටත් වඩා වැදගත් ප්‍රශ්නයක් වික්‍රමසිංහට ලැබේ. එනම්  මෙයට දින හතරකට පෙර ඔහු බීබීසීයට කී පරිදි ‘සියලු වියදම් වාර්තා විකෘති කර” (Books are cooked) ඇත්නම් ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට විරුද්ධව දඬුවම් පියවර ගන්නේ ද යන්නයි.

ඊට පිළිතුරු නොදී මඟ හරින වික්‍රමසිංහ ඒම ගණන් හිලවු විකෘති කිරීමේ වගකීම නිලධාරීන් පිට පටවයි. කරන ලද වංචා දූෂණ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව වික්‍රමසිංහ නොකියා කියයි. වික්‍රමසිංහ සිය පිළිතුරෙහි දී රාජපක්ෂ පවුල යන වචනය වත් සඳහන් කරන්නේ නැත. ඔහු දූෂණ වංචා වෙනුවට කියන්නේ නිලධාරීන් රටෙහි පැවති ඇත්ත තත්වය ගැන ආණ්ඩුවට කරුණූ නොකී බවයි!

රාජපක්ෂවරුන් රැක ගැනිමේ කොන්ත්‍රාත්තුව එම පිළිතුරෙන් එළියට එයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය ගැන සඳහන් කරමින් ප්‍රශ්න විචාරකයා මෙම තත්වය යටතේ සංචාරකයින් රටට එනු ඇත්දැයි විමසයි.

මෙරට අගමැතිවරයා  මේසා වැදගත් ප්‍රශ්නයට  පිළිතුරු දෙන්නේ විහිළුවකිනි. ඔහු මෙසේ කියයි.

“ ඔවුන්ට එන්න පුළුවන් කැමැති නම්. ඒ් විතරක් නොවෙයි ජනාධිපතිට ගෙදර යන්න කියා අගමැතිට ගෙදර යන්න කියා බෝඩ් උස්සා ගෙන ඉන්නත් පුළුවන්”

එමගින් වික්‍රමසිංහ කරන්නේ ගෝටා ගෙදර පල විරෝධතාවය, සංචාරකයින්ට වුවත් කළ හැකි විහිළුවක් බවට පත් කිරීමයි.

ප්‍රශ්න විචාරකයාට එම ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගැනීම පිණිස “ මේ ප්‍රශ්නය ඇත්තටම අහපු එකක්” යැයි කීමට ඉන්පසු සිදුවේ. මෙම තත්වය යටතේ සංචාරකයින් ර‌ටට නොඑනු ඇතැයි වික්‍රමසිංහ කියන්නේ එවිටය.

තවත් අවස්ථාවක රටෙහි පවත්නා විරෝධතා ගැන සඳහන් කරමින් වික්‍රමසිංහ ඊයේ උද්ඝෝෂණය පැවැත් වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සම්මේලනය හඳුන්වන්නේ රණකාමී කණ්ඩායමක් ලෙසය. “ඔවුන් අවුරුද්දකට විරෝධතා පහක් හයක් කරනවා. ඔවුන්‌ට ඕනෑ ජල ප්‍රහාර කන්න” යැයි ද කියයි. එය මෙරට ප්‍රධානතම ශිෂ්‍ය සංවිධානය ලෙස හඳුන්වනු වෙනුවට “රණකාමී කණ්ඩායමක්” ලෙස ප්‍රකාශ කරන්නේ මර්දනය සාධාරණ කිරීමටය.

ඉන් පසු ඔහු මෙසේ කියයි.

“ ඒ හැර තව විරෝධතා තියෙනවා. ඒවා පොඩි පොඩි ඒවා”

තරුණ අරගලයේ පිහිටෙන් අගමැතිකමට රිංගා ගත් මේ අකෘතඥ මිනිසා අරගලයට අපහාස කරන්නේ එළෙසය.

 

 

 

 

Archive

Latest news

Related news