Thursday, April 18, 2024

පාර්ලිමේන්තු මංත්‍රී චන්ඩි: “මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා නොකරනු!” අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ

ඊයේ (මැයි 17) පාර්ලිමේන්තුවේදී සිරස මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා යන මාධ්‍යවේදීන් දෙපළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද තර්ජනයන්, ශාරීරික හිංසනයන් හා ඔවුන්ගේ මාධ්‍යවේදී වෘත්තිය කරගෙන යාමට භාවිතා කරන ජංගම දුරකතනයන් පැහැර ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියාව ගැන අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. සිරිසේන, ඉන්දික අනුරුද්ධ හා චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් මේ සාපරාධී ක්‍රියාවේදී ඉදිරියෙන් සිටි බවත් ඉන් පසු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25ක් පමණ මාධ්‍යවේදීන් දෙදෙනාව වට කරගනිමින් බරපතළ තර්ජනයක් සිදු කල බවත් වින්දිත මාධ්‍යවේදීන් චෝදනා කරති.

මෙම තර්ජනය සහ ජංගම දුරකතන පැහැර ගැනීම සිදු වී තිබෙන්නේ රූගත කරමින් සිටින අවස්ථාවකදී වන අතර, මාධ්‍යවේදියකු සිය වෘත්තිය කරගෙන යද්දී එයට බාධා කර එය වැළැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පමණක් නොව කිසිදු තරාතිරමක කෙනෙකුට කළ නොහැක. ඒ මගින් උල්ලංඝනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට සහතික වී ඇති තොරතුරු දැන ගැනීමේ අයිතිය බව අපි වගකිවයුත්තන්ට අවධාරණය කරමු.පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට රංචු ගැසී උත්සහ කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් ලෙස අපි පෙන්වා දෙමු.

ඊයේ සවස 6 පමණ දක්වා රදවා ගෙන සිටි මෙම මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන කතානායකතුමාගේ මැදිහත්වීමෙන් නැවත ඔවුන්ට ලබා දී ඇති නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් කතානායකතුමා ගන්නා ක්‍රියාමාර්ග පිළිබද අපි අවධානයෙන් සිටිමු. එමෙන්ම මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එකී පැමිණිල්ලට නීතිය නිසිආකාරයෙන් තරාතිරම නොබලා ක්‍රියා කරන ලෙස අපි පොලිස්පතිවරයාට බල කර සිටිමු.

මාධ්‍ය නිවේදනයකි. 

පසුගිය මැයි මස 09 වනදා ඇති වූ ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහි ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින මන්ත්‍රීන්ද තවමත් පාර්ලිමේන්තුවේ සිටින බවට පෙන්වා දෙන අප දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මීට පෙර මිරිහානේ ඇතිවූ සිදුවීමේදීද මාධ්‍යවේදීන් පොලිස් පහරදීම් වලට ලක් වූ බවත් එහිදී සිය රාජකාරිය සිදු කිරීමට පොලීසිය විසින් බාධා කල බවත් ඒ සදහාද වන පරීක්ෂණ මන්දගාමී බවත් අප මේ මොහොතේදී සිහිපත් කරමු.

මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙමින් ජනතාවගේ තොරතුරු අයිතිය සුරැකීමට කටයුතු කිරීම වගකිවයුතු ශිෂ්ඨසම්පන්න රජයක වගකීමක් බවත් අපි අවධාරණය කරමු. පාර්ලිමේන්තුවේ උත්තරීතර බවද සහ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසයද රැකෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ශිෂ්ඨසම්පන්න හැසිරීමෙන් සහ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වන ඔවුන්ගේ කැපවීමෙන් බවද අප පෙන්වා දෙමු.

 

කේ. සංජීව                                                          දුලාන් දසනායක

සභාපති                                                              ලේකම්

Archive

Latest news

Related news