Tuesday, July 16, 2024

අරගල කරුවන් ඉල්ලා සිටින ආකාරයට මෙන්ම සදාචාරාත්මකව ජනාධිපතිවරයා කල යුත්තේ ඉල්ලා අස් වීමය – කරු ජයසූරිය

අනිසි ලෙස විධායකය තුල බලය සංකේන්ද්‍රණය කරගත් 20වන සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරය නිරන්තරව විරුද්ධවූ අතර කැබිනට් කේන්ද්‍රීය ආණ්ඩුකරන ක්‍රමවේදයක් නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් ආරම්භය සිටම පෙනී සිටියේය. රට අර්බුදයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය පුළුල් සහභාගිත්වයක් සහිත, ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගැනීමට 20 වන සංශෝධනය බාධාවක් වන නිසා, එය අහෝසි කිරීම නව අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛතම කාර්යයක් විය යුතුය.

අප ව්‍යාපාරය විසින් වග වීමට ඉහල වැදගත්කමක් දෙනු ලබයි. ජනාධිපතිවරයා තමන් යම් වැරදි කල බව පිළිගෙන තිබේ. මෙම වැරදි ක්‍රියාවන් මගින් ආර්ථිකයට අතිවිශාල හානි සිදු කර ඇති අතර, අප තරුණ පරම්පරාවේ බලාපොරොත්තු විනාශ කර ඇත. අරගල කරුවන් ඉල්ලා සිටින ආකාරයට එමෙන්ම සදාචාරාත්මකව ජනාධිපතිවරයා කල යුත්තේ ඉල්ලා අස් වීමය.

පෙර නොවූ විරූ අර්බුදයකට පෙර නොවූ විරූ විසඳුම් තිබිය යුතුය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ අන්තර්කාලීන මුල්‍ය ප්‍රතිපාදන (bridge financing) සපයා ගැනීමේ කටයුතු කෙරෙන කාලය තුල හෝ පටු දේශපාලන අභිලාෂයන් පසෙකින් තබා සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ජාතික අරමුණුවලට ප්‍රමුඛත්වය දී ක්‍රියා කලයුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මේ සඳහා ඉදිරිපත් කර ඇති මාර්ග සිතියම හා සමග අප ඇතුළු සංවිධාන ගණනාවක මෙන්ම  ගාලු මුවදොර අරගලකරුවන්ගේද අදහස් සම්පාත වීම සතුටට කරුණකි.

පැතිකඩ ගණනාවකින් සමන්විත මෙම සංකීර්ණ අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා ඉදිරිපත් වන නායකත්වය සියලු දේශපාලන පක්ෂ සමග වැඩ කල යුතුය. අප මුහුණ දෙන ප්‍රශ්න වල සත්‍ය ස්වරූපය ගැන මෙන්ම ක්‍රියාත්මක වන විසඳුම් ගැන ජනතාවට සාර්ථකව කරුණු පැහැදිලි කල යුතුය. මෙම අසාධ්‍ය තත්ත්වයෙන් රට ගලවා ගැනීමට නම් අදාල ජාත්‍යන්තර පාර්ශවයන් සමග ඇති සම්බන්ධතා සාර්ථකව කළමනා කර ගත යුතුය. මෙම බහුවිධ අභියෝගයනට සාර්ථකව මුහුණ දීමට නව අග්‍රාමාත්‍යවරයාට හැකිවේ යයි අපි ඉත සිතින් ප්‍රාර්ථනය කරන්නෙමු.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news