Tuesday, July 16, 2024

වෙනස ආරම්භ කළ හැක්කේ #GoHomeGota ගොටා ගෙදර යැවීම මගින්  පමණි. ඒ වෙනුවෙන් පෙනී සිටිමු! – “සර්ව ජන යුක්ති”

2022 අප්‍රේල් 5 වන දින හදිසි නීතිය අවලංගු කිරීමෙන් පසු යළි පැණවිය හැකි වූ හැකි පළමු අවස්ථාවෙහි දී ම 2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය නැවත පැනවීම අපි හෙළා දකිමු. එවකට සිටි අගමැති සහ රජයේ සාමාජිකයින් විසින් ස්ථිරෙෙසම ලෙස අනුමත කරන ලදුව, මයිනාගෝගම සහ ගෝටාගෝගම යන දෙතැනදීම 2022 මැයි 9 වන දින සාමකාමී විරෝධතාකරුවන් වෙත මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය අපි දැඩි ලෙස හෙළා දකිමු.

ගෝටාගෝගම විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රචණ්ඩත්වය සහ දණ්ඩමුක්තියේ සංස්කෘතිය අවසන් කිරීමද ඇතුළත් වේ.

පුද්ගලයන්ට සහ දේපළවලට සිදුකරන ප්‍රතිප්‍රචණ්ඩත්වය අපි එකසේ හෙළා දකිමු. ප්‍රචණ්ඩත්වයේ යෙදෙන සියලුම අපරාධකරුවන් වහා නීතියේ රැහැනට හසුකරගත යුතුය. ප්‍රචණ්ඩත්වය ගෝටාගෝගම පෙනී සිටි දෙයට විරුද්ධය. කැපවූ සහ තිරසාර සාමකාමී හැසිරීමෙන්, ගෝටාගෝගම සහ අනෙකුත් සියලුම විරෝධතා අඩවිවල විරෝධතාකරුවන් රටේ පුරවැසියන්ගේ සහයෝගය, සහයෝගීතාවය සහ හොඳ හිත දිනාගත් අතර ජනාධිපතිවරයා ගෙදර යන ලෙස ශ්‍රී ලාංකිකයන් එක්සත්ව ඉල්ලා සිටීම එමගින් පිළිබිඹු කරයි. සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩත්වය ආරෝපණය කර ඔවුන් අපකීර්තියට පත් කිරීමට හෝ බලය හෝ හදිසි අවස්ථා යොදා ගනිමින් සාමකාමී විරෝධතා කඩාකප්පල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් වැළැක්විය යුතුය.

සාමකාමී විරෝධතා මර්දනය කිරීමට සහ විරුද්ධ අදහස් දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන විරෝධතාකරුවන් බිය ගැන්වීමට පොලිසිය දරන උත්සාහයන්, ආතතිය හා ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ ආරක්ෂක සංස්ථාපිතයේ අභිප්‍රාය පෙන්නුම් කරයි.

මෙම උත්සාහයන් වඩාත් තීව්‍ර, ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල වැඩි බියක්  කරමින් එම ජනයාගෙන් එන හඬ දරුණු ලෙස යටපත් කරයි. බලධාරීන්ගේ අධික බලහත්කාරය සහ පුරවැසියන්ට සිදුවන හානිය වැලැක්වීම සඳහා දක්වන ලද  කැපී පෙනන අක්‍රියභාවය හේතුවෙන් මෑත සතිවල ප්‍රචණ්ඩත්වය උත්සන්න වී, විනාශයක් සිදු කර රඹුක්කන ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් විරෝධතා ස්ථාන  කිහිපම දෙනෙකුට තුවාල සිදු විය. බරපතල තුවාල සිදු කළ හැකි උල් සහිත බාධක භාවිතා කිරීම, ඇඳිරි නීතිය සහ හදිසි නීති රෙගුලාසි භාවිතා කිරීම ඇතුළුව පුරවැසියන්ගේ ගමන් කිරීමේ නිදහස වලක්වාලීමට ගත් උත්සාහයන් අපි දැඩි කනස්සල්ලෙන් සටහන් කරමු. සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ සහ බිය ගැන්වීමේ මෙම උපක්‍රම අපි හෙළා දකින අතර මෙම ක්‍රියා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වමු.

ශ්‍රී ලංකාව පුරා පැවැත්වෙන සාමකාමී විරෝධතා රට තුළ ක්‍රම වෙනසක් ඉල්ලා ඇති බව අපි පිළිගනිමු. මෙම වෙනස සඳහා සාමාන්‍ය ජනතාව පුළුල් සහයෝගයක් පෙන්නුම් කර ඇති අතර, ‘අරගලය’ තුළ ක්‍රියාකාරීව නියැලී සිටින පුරවැසියන් නොබියව සහ අධිෂ්ඨානශීලීව තම ඉල්ලීම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිති. නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ඔවුන්ගේ දැක්ම සාමකාමීව ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්  බලහත්කාරය සහ විවේචන හමුවේ නොසැලී සිටිති.

මෙම දේශපාලන පිබිදීම පුරවැසියාගේ භූමිකාව සහ පුරවැසියා සහ රාජ්‍යය අතර සම්බන්ධය පැහැදිළි පණිවිඩයක් මගින් නැවත නිර්වචනය කරයි: වෙනස ආරම්භ කළ හැක්කේ #GoHomeGota නොහොත් ගොටා ගෙදර යැවීමෙන්  පමණි. අපි මේ ඉල්ලීම ප්‍රතිරාවය කරමු. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය. වර්ධනය වෙමින් පවතින මානුෂීය, ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීමට සහ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහතික කිරීමට අත්‍යවශ්‍ය වන ව්‍යවස්ථාමය, නීතිමය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු අනෙකුත් පියවරයන් අනුගමනය කළ යුත්තේ ඉන් පසුවය.

නව ශ්‍රී ලංකාවක් සඳහා වන විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්, ආර්ථික සාධාරණත්වය සහ විශේෂයෙන් මේ රටේ වැඩ කරන ජනතාව සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ඉල්ලීම් ද අපි පිළිගනිමු. විරෝධතා වලදී  ස්ත්‍රී පුරවැසියන්ගේ ඉල්ලීම් දේශපාලන, ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රවල යුක්තිය සඳහා ඔවුන්ගේ බහුවිධ සහ අඛණ්ඩ අරගලයන් පිළිබිඹු කරන බව අපි ඉස්මතු කරමු.

තවද, ආණ්ඩුවේ සහ ආණ්ඩුකරණයේ සැබෑ වෙනසක් සඳහා ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඔවුන් මෙය නොසලකා හරින්නේ එය ඔවුන්ගේද සහ රටේද පාඩුව බවට පත් වනු ඇත. දැන් සියලුම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා ජනතාවගේ ඉල්ලීම් පිළිබිඹු කරන ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටීම අත්‍යවශ්‍ය වේ. මෙම සන්දර්භය තුළ ඊයේ නව අගමැතිවරයා පත්කිරීම අපි දකින්නේ පෙර පැවති තත්ත්වයේම දිගුවක් ලෙස මිස ජනතාව අපේක්ෂා කරන දිශානතිය වෙනස් කිරීමක් ලෙස නොවේ.

ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයක සිටින අතර අර්බුදයෙන් මිදීමේ ඕනෑම මාර්ගයක් දුෂ්කර බව අපි හඳුනා ගනිමු. ඒ අතරම, අපි රජයෙන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ බර දුප්පතුන්, කම්කරුවන් සහ මධ්‍යම පාන්තිකයින් මත පැටවීමට ඉඩ නොදෙන ලෙසයි. ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන පෙර නොවූ විරූ සමාජ අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ආර්ථික ප්‍රතිනිර්මාණ කාලය තුළ තිරසාර හා විනිවිද පෙනෙන සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති කට්ටලයක් ක්‍රියාත්මක විය යුතුය.

වෙනසක් සහ නව දේශපාලන සංස්කෘතියක් සඳහා වන ජනතා අරගලය සමඟ අපගේ සහයෝගීතාවය තහවුරු කරන අතර, ශ්‍රී ලංකාවේ පරිවර්තනයේ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට කැපවී සිටිමු.

අත්සන් කලේ

ඒ එම් ෆායිස්
භවානි ෆොන්සේකා
ශානකියන් රසමානිකම්
එම් ඒ සුමන්තිරන්
අරමිසා ටේගල්
ජයදේව උයන්ගොඩ

( සිංහල පරිවර්ථනය අපෙනි)

Archive

Latest news

Related news