Friday, March 29, 2024

ජන අරගලය පවා දීමට ඉඩ නොදෙමු! ගෝටා ගෙදර යවමු! ශිෂ්ඨාචාරවත් රටක් හදමු! – ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අන්තර් ජාතික ජාලය

ඡායාරූපය: ලංකාව මත පතිත වූ කලු වළවෙහි පෑයු රිදී රේඛාව නිර්-ප්‍රචණ්ඩ සහ අධිශ්ඨානවත් තරුණ අරගලයයි. ( ජායරූපය සමාජ ජාල වෙතිනි. හිමිකාරිත්වය අන්වර්ථය)

දෙමසක පමණ කාලයක් ලංකා ජනතාවගේ හදවත් බැඳ ගනිමින් අයෝමය බලයක් බවට පත්  ජන අරගලයේ ජයග්‍රහණය පේන මානයේ තිබිය දී රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ඉතිහාස ගත පාවා දීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අන්තර් ජාතික ජාලය සහමුලින්ම හෙළා දකියි.

මෙම පාව දීමට රනිල් වික්‍රමසිංහ ඉඩ සලසා ගත්තේ අගමැති රාජපක්ෂ විසින් උසි ගන්වන ලද දේශපාලන දඩ බල්ලන් විසින් මාසයකට වඩා කාලයක් සාමකාමී පවත්වා ගෙන ගිය ආදරණීය අරගල භූමිය මත මුදා හරින ලද තිරශ්චීන ප්‍රචණ්ඩත්වයයි.

ඉන් පසුව රට පුරා  ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා ද හෙළා දකින අප එහි මූලික වගකීම සාමකාමීව ජන හදවත් දිනා ගත් අරගලයට ප්‍රහාරයක් එල්ල කළ රාජපක්ෂවරුන් විසින් බාර ගත යුතු බවට කියා සිටිමු.

ජන අරගලයට බියෙන් රාජපක්ෂවරුන් යුද සහ නාවික හමුදා කඳවුරුවල සැඟවී, ආණ්ඩුවක් පත් කර ගැනීමට නොහැකිව නන්නත්තාර වී සිටි අවස්ථාවෙහි රාජපක්ෂවරුන් බේරා ගැනීම පිණිස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් අගමැතිකම බාර ගැනීම මෙරට ඉතිහාසයෙහි මහා දේශපාලන පාවා දීමක් ලෙස සටහන් වනු නොඅනුමානය.

තරුණ ජනයාගේ නායකත්වයෙන් යුත් ජන අරගලය සමඟ එක්වූ වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක කැඳවා තිබූ එම අරගල ගාමකත්වය තව දින කිහිපයක් පැවැතියේ නම් ගෝටාභය රාජපක්ෂට ඉල්ලා අස්වීම හැර අන් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත.

එකී තත්වය තුළ අගනුවරට යුද හමුදා කැදවීම යුද හමුදා ආණ්ඩුවක පෙර ළකුණු යැයි ව්‍යාජ බියක් මවා පැවේද රාජපක්ෂ ප්‍රචාරකයින් සහ දේශපාලන අතදරුවන් විසිනි. වත්මන් ලෝක දේශපාලන තත්වය, ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදය සහ භූ දේශපාලන යථාර්තයන් විසින් මෙරට යුද ආණ්ඩුවකට අවස්ථාවක් ලබා දෙන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂවරුන්ගේ ගැළවුම්කරු බවට පත් කිරිමේ සැළසුම කල් තබා සකස් කරන ලද එකකි.

අරගලයේ  ගෝටා ගෙදර යනු  සටන් පාඨය ලංකා සමාජය යළි ප්‍රජාතන්ත්‍රීය කරණය කිරීම සංකේතවත් කළේය. දූෂණයෙන් සහ භීෂණයෙන් තරවූ මෙරට ලේ උරා බොන දේශපාලන පංතිය වගවීමට හසුකර ගෙන ප්‍රජාතන්ත්‍රීය සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා අරගලයේ පාර්ශවකරුවන් විසින් ප්‍රසිද්ධ කර ඇති ඉල්ලීම් සමඟ අපි පොදු වශයෙන් එකඟ වෙමු.

රනිල් වික්‍රමසිංහ අගමැතිකම බාර ගන්නා ලද්දේ  මෙම කිසිදු කොන්දේසියක් රාපක්ෂවරුන්ට ඉදිරිපත් නොකර හිස් කඩදාසියක අත්සන් කිරීමෙනි. මෙමගින් රාජපක්ෂ- වික්‍රමසිංහ හවුල අපේක්ෂා කරන්නේ අන් කිසිවක් නොව දූෂිත දේශපාලන පංතියේ වරප්‍රසාද රැක ගනිමින් මෙරට ජනයා මර්දනයෙන් පාලනය කිරීමටය.

රාජපක්ෂ පාලනය විසින් සහමුලින්ම සිය දේශපාලන කුරුමානම්කරුවන් ගෙන් පුරවා ඇති සියලු බුද්ධි සේවා සහ පොලිස් කාර්යාංශ රනිල් වික්‍රමසිංහ යටතේද එලෙසම පවතිනු ඇත. එමගින් රාජපක්ෂවරුන්ට මුක්තිය ලබා දී අරගලකරුවන් දඬුකඳේ ගැසීම ගෝඨාභය -රනිල් පාලනයේ අරමුණ වනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ-ආර්ථික සහ දේශපාලන අර්බුදය විසදීමේ මූලික කොන්දේසිය ගොඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම බව අපි අවධාරණය කරමු.

එම ඉල්ලීම ඉදිරිපත් කරන සියලු සමාජ දේශපාලන බලවේග සමඟ අපේ සහයෝගිතාවය ප්‍රකාශ කරමු. තවද මෙම පාවාදීම ආපසු හැරවීමට එක්සත් අරගලයකට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙම තත්වය යටතේ ලංකාව ශිෂ්ඨාචාරවත් රටක් සහ නීතියේ ආධිපත්‍ය සහිත සහ සියලු ජනවර්ගයන්ගේ අයිතීන් සුරකින දේශයක් බවට පත් කිරීම සඳහා ජන අරගලය වඩා ප්‍රබලව නිර්-ප්‍රචන්ඩ මාවත ඔස්සේ ඉදිරියට ගෙන යාමට අපේ සම්පූර්ණ සහාය සහ ආශීර්වාදය පළ කරමු.

මෙයට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය වෙනුවෙන්,

රංජිත් හේනායක
සුනන්ද දේශප්‍රිය
සේනක වත්තේගෙදර
උමා පරරාජසිංහම්
සිවසාමි සිවරාජන්

International Network for Sri Lanka’s Democracy e.V., Pulsstraße 57,70794 Filderstadt, Germany

[email protected]

Archive

Latest news

Related news