Friday, March 29, 2024

නාමල් – ජොනී ඇතුලු ගෝටාගෝගමට ගැසූ රාජපක්ෂ මැරයින් පිළිබද පරීක්ෂනය සීඅයිඩියට දීම නරියාට කුකුල්ලු බාර දීමක්

ඡායාරූපය: නාමල් සහ ජොනී විසින් උසිගන්වන ලද ත්‍රාඩ පිරිස් විසින් විනාශ කළ ගෝටා ගෝ ගම.

පසුගිය 09දා උදෑසන ගාලු මුවදොර පිටියේ පවත්වා ගෙන යමින් තිබූ ගෝටා ගෝ ගමට ප්‍රහාරය එල්ල කිරීමට පිරිස් පැමිණියේ අරලිය ගහ මන්දිරයේ සිට බව රහසක් නොවේ.

සාමකාමී අරගලයක නිරත වී මෙරට පුරවැසි කණ්ඩායමකට එල්ල කරන ලද මෙම ප්‍රහාරය නිසා සියයට වැඩි පිරිසකට තුවාල සිදු විය.

මෙම ප්‍රහාරය පිළිබඳ වහාම නිසි පරීක්ෂණයක් කරන සේ  නීතිඥ සංගමය, තරුණ ජන මාධ්‍යවේදීන් ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් පොලිස්පතිවරයාගෙන් එදිනම ඉල්ලා සිටින ලදී.

එසේ නමුත් මේ වන විට පැය 72ක් ගතවී ඇතත් පොලිසිය මෙම සංවිධානාත්මක අපරාධය පිළිබදව අධිකරණයට කිසිදු වාර්තාවක් ඉදිරිපත් කොට නැත. සාමන්‍යයෙන් අපරාධයක් සිදු වී පැය 24ක් ඇතුළත අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිගත් ක්‍රියා පරිපාටිය වේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිකමට පත් කිරීමට තීරණය කිරීමත් සමඟ  නිමල් රාජපක්ෂ පවා අලුත් විශ්වාසයකින් යුතුව 09දා සිදුවූ ප්‍රහාරයන් ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා සිට තිබේ.

පරීක්ෂණයට තමා සහය දෙන බව කියන නාමල් රාජපක්ෂ යැවූ ටිවීටය

2015- 2019 කාලයෙහි සිය ආරක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහ යළි කම පවුල යටතේ අගමැති කර වීමට ලැබීමෙන් සියලු රාජපක්ෂවරු උද්දාමයට පත්ව සිටී.

ගෝටා ගෝ ගමට පහරදීම පිළිබඳ පරීක්ෂනය බාර දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එහි ප්‍රධානියා කවරෙක්දැයි ඔබ දන්නවාද?

ඩී.අයි.ජී. ඩබ්. තිලකරත්න

ඔහුගේ නම ඩබ්ලිව්. තිලකරත්න වේ.  ඔහු කලින් මාතර සහ හම්බන්තොට බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාය. එයට පෙර ඔහු වසර 15ක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව බාර පොලිස් ප්‍රධානියා විය. ඉන් පසු ඔහුරොජපක්ෂ රජ දහන වූ දකුණු පලාත සහ විශේෂයෙන්ම හම්බන්තොට බාරෙෙන ලදී. හම්බන්තොට යනු  . 2021 ඔක්තොම්බර් මාසයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

වසර 15ක් මහින්ද රාජපක්ෂ ඔහු සිය ආරක්ෂක ප්‍රධානියා ලෙස තබා ගත්තේ තමන්ට ඔහු සියයට තුන් හාරසියයක් විශ්වාස නිසාය.

දැන් එම රාජපක්ෂ සහ කණ්ඩායම විසින් උසි ගන්වා ගෝටා ගෝ ගමට පහරදීම සඳහා එවන ලද ත්‍රාඩයින් ගැන සෙවීම බාර දී ඇත්තේ අන්න ඒ ඩීඅයිජී තිලකරත්නටය.

විඩියෝ සාක්ෂි, ඇසින් දුටු සාක්ෂි සහ ජායාරූපමය සාක්ෂි තිබියදී තවම කිසිදු ත්‍රාඩ ප්‍රහාරකයකු අත්අඩංඟුවට ගෙන නැත.

කලක් මහින්ද රාජපක්ෂගේ ලොකු පුතා ලෙස හැදින් වූ විමල් වීරවංශ පුවත්පත් සාකච්ඡාවක් හමුවේ කියා සිටියේ මෙම ප්‍රහාරකයින් පොලුවලින් සන්නද්ධ කොට උසිගන්වා එවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංඟුවට ගත යුතු බවය.

එම වීඩියෝව පහත පළ වේ.

ජනාධිපතිට බැරි නම් තමාට උද්ඝෝෂකයින් ඉවත් කළ හැකි බව එදින අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිස අමතා ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනු වීඩියෝවක දැක්වේ.

නාමල් රාජපක්ෂ,  (ප්‍රහාරය පිනිස) ගෝල්පේස් යමු යැයි උද්දාමයෙන් කෑ ගසන උම්මන්තක පිරිසක් සමඟ පිටට තට්ටු කරමින් උනන්දු කරවමින් සෙල්පී ජායාරෑප ගන්නා වීඩියෝවක් පහත දැක්වේ.

ප්‍රහාරය පිණිස ගෝටා ගෝ ගමට පැමිණි මැර දේශපාලනඥයකු වන සනත් නිශාන්තට  බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති උපදෙස් දෙන ජායාරූපයක් පහත පළවේ.

අන්ත ජාතිවාදියකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණ යක්ඩ පොල්ලක් රැගෙන සිටිනු මෙම ජායාරූපයේ දැක්වේ. අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිස අත යකඩ සහ ලි පොලු තිබූ බව ඔහු මේ සමඟ ඇති වීඩියෝවෙහි ප්‍රකාශ කරයි.

https://www.facebook.com/faisal.mohamedyoosuf/videos/5267380903327357

ගෝටා ගෝ ගමෙහි ක්‍රියාකාරිනියකට පහර දෙන පුද්ගලයා පහත ජායාරූපයෙහි දැක්වෙන අතර ඔහු හේවාගම්කෝරළයේ සමූපාකාර සමිතියක සභාපති පදවියක් උසුලන අමිතානන්ද අබේවික්‍රමය.

සාමකාමී උද්ඝෝෂකයින්ට කිසිදු හේතුවක් නැතිව පහර දුන් මෙවැනි සාක්ෂි පහත දැක්වෙන අඩවිය තුල ක්‍රමාණුකූලව එක් රැස් කර තිබේ.

https://longform.watchdog.team/observations/the-slpp-attack-on-gotagogama-a-timeline

මේ වනවිට නීතිපතිවරයා, නීතිඥ සංගම්, වෙනත් බහුජන සංවිධාන සහ ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන ව්‍යාපාර එම අපරාධකරුවන් අත්තඩංගුවට ගන්නා ලෙස වගකියයුත්තන්ට බල කර ඇත. එහෙත් පොලිස්පති වරයා ඇතුළු මූලික වගකියයුත්තන් ප්‍රහාරයෙන් දින තුනකට පසුවත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

 

ඩීඅයිජී දේශබන්දු සනත් නිහාන්ත සමඟ

ඊට අමතරව ඍජුවම එම ප්‍රහාරයට සම්බන්ධ වී රාජකාරිය පැහැර හැරි බවට බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අපරාධමය චෝදනා එල්ල වී තිබේ. මේ අතර පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු ඉහල පෙළේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇති නමුත් පොලිසිය තවම එකදු ප්‍රකාශයක් හෝ ලබා ගෙන නැත.

නාමල් රාජපක්ෂ හෝ ජොන්ස්ටන් හෝ ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වූයේ නැත.

දුමින්ද වැරදිකරු වූ සැටි

එනමුත් අපරාධයක් සැලසුම් කිරීම එම අපරාධය කිරීම හා සමාන බව භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර ඝාතන නඩු තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ. භාරතට වෙඩි තබන අවස්ථාවෙහි දුමින්ද සිල්වාට වෙඩි වැදී බිම වැටී තිබුණි. එනමුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කලේය:

අභියාචනය අතරතුර, සිල්වාගේ නීතීඥයෝ සිල්වා වැරදි ලෙස වරදකරු කර ඇති බවට නිරන්තරයෙන් තර්ක කළහ.  අභියාචනය අතරතුර දුමින්ද සිල්වාගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන තර්කය වූයේ සිල්වාට මුලින්ම වෙඩි තබා ඇති බවත් අනෙක් ඝාතන සිදු වන විට සිහිසුන්ව සිටි බවත් එම නිසා එම ඝාතනවලට වග කිව නොහැකි බවත්ය. මෙය විවාදයට ගනිමින් නීතිපතිවරයා යළිත් අවධාරණය කළේ ප්‍රේමචන්ද්‍රගේ ආරක්‍ෂක අංශ විසින් දුම්න්දට වෙඩි තබන අවස්ථාව වන විටත් ඔහු භාරතට ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබිම සකසා තිබූ බවයි. ප්‍රහාරය කල්තියා සැලසුම් කළ එකක් බැවින් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ඝාතනයට ද  දුමින්ද සිල්වා වගකිව යුතු බවත්, ඔහු මුලින්ම වෙඩි තබා අකර්මණ්‍ය වී සිටීම ඔහුට ආරක්ෂාවක් නොවන බව පැමිණිල්ල විසින් පෙන්වා දෙන ලදී.

අධිකරණය එම තර්කය පිළිගෙන දුමින්ද සිල්වාට දී තිබූ මරණ දඩුවම තහවුරු කරන ලදී.

මේ අනුව ඉති පැහැදිලිව පෙනෙන්නේ දුමින්ද සිල්වාට මෙන්ම නාමල් රාජපක්ෂ සහ ජෙන්ස්ටන් ප්‍රනාන්දු ද  ගෝටා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරයට වගකිය යුතු බවයි.

ඔවුන්ට විරුද්ධව නඩු පැවරීම  වැළැක්වීමට රනිල් වික්‍රමසිංහට ඉඩ නොදිය  යුතුය.

පසු සටහන.

නීතිවේදියකු සහ සමාජ ජාල පරිශිලකයකු වන වසන්ත සිරි වටගොඩ. විසින් තබන ලද සටහනක් පහත දැක්වේ.

ගෝටාගෝගමට එල්ල කල මැර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිට දැනුම් දීමක් කර ඇතැයි වාර්තා විය.

පොලිසිය කවරාකාරයේ වාර්තාවක් ලබා දෙනු ලබයි ද යන්න අවිනිශ්චිතය.

පහර දුන් මැරයින් සම්බන්ධ බොහොමයක් තොරතුරු මාධ්‍යෙව්දීන් හා අරගලකරුවන් ප්‍රමුඛ සිවිල් පුද්ගලයින් සතුව ඇත.

අනෙක් අතට අරලිය ගහ මන්දිරයට ඇතුල් වෙන සෑම අයෙක්ම එයට ඇතුල් කර ගනු ලබන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.

ඒ නිසා මේ මැරයින් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිනවීමට පොලිසියට මහ ලොකු උත්සහයක් දරන්නට සිදු වන්නේ නැත.

වැදගත් වන්නේ පොලිසියට ඒ සදහා හැබෑ උවමනාවක් ඇත්ද යන්න පමනක් ය.

ඒ අනුව මේ සියළු විමර්ශන රහස් පොලිසියට භාර දී එහි පූර්න අධීක්ෂනය නිතිපතිවරයා භාර ගත යුතුය.

අරගල භූමියේ සිටින හිතවත් නීතීඥවරුන් හරහා සාමකාමී උද්ඝෝෂනයට පහර දුන් මේ මැරයින් සම්බන්ධ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් සැකසීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සතස් කර නීතිපතිවරයා වෙත යැවිය යුතුය.

මේ සියලු කරුනු අධ්‍යනය කොට අධිකරනයට සහය වීම සදහා නීතිපතිවරයා විසින් අවම තරමින් රජයේ අධි නීතීඥවරුන් දෙදෙනෙක්වත් පත් කල යුතුය.

අනෙක් අතට මෙම මැර ප්‍රහාරය සදහා මහින්ද රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ආධාර හා අනුබල දුන් වග පැහැදිලිය.මැරයින්ට කඩු පොලු ලබා දී ඇත්තේ අරලිය ගහ මැදුර තුලදීමය.

අරලිය ගහ මැදුර මහින්දගේ පුද්ගලික භූදලයක් නොවේ.එය රාජ්‍ය දේපලකි.රාජ්‍ය දේපල පරිශ්‍රයක් තුල මැරයින්ට මත්පැන් පොවා, අවි ආයුධ අතට දී , පහර දීමට කෙලින්ම අනුබල දීමෙන් මහින්ද හා ජොන්ස්ටන් සෘජුවම මහජන දේපල අවභාවිතයක් සිදු කර ඇත.

ඒ අනුව ඔවුන්ට හා මහින්දගේ ආරක්ෂක ප්‍රධානියා ඇතුලු පිරිසට පොදු දේපල පනත යටතේ නඩු පැවරිය යුතුමය.

මේ සදහා අවශ්‍ය උපදෙස් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ රහස් පොලිසියට ලබා දිය යුතුය.

මේ වන විට මහජන විශ්වාසය ගිලිහී ඇති නීතිපති දෙපාර්තමේන්තුවට තමන්ට උරුමව තිබූ ඓතිහාසික අභිමානය යලි දිනා ගත හැක්කේ මේ මොහොතේ දී නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සදහා නීතිපතිවරයා සිදු කරන සෘජු මැදිහත්වීම මත පමනි.

නීතිපතිතුමනි, මේ ඔබේ අවදානය පිනිසයි.

– නීතිඥ වසන්ත සිරි වටගොඩ.

Archive

Latest news

Related news