Friday, April 19, 2024

අද ගෝටා හමුවට යන සාලිය පීරිස්ට තරුණ ජනමාධ්‍යවේදීන් ලිපියකින් කළ ඉල්ලීම

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම වන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කරන ඉල්ලීම දැනුම් දෙන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් යොමු කර තිබේ.

ජනාධිපතිවරයා දිගින් දිගටම මර්දනය දියත් කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කරුණු සහිතව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

2022 මැයි මස 08 වැනිදා

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා,
සභාපති,
ශ්‍රී ලංකා නීතිඥ සංගමය.

සභාපතිතුමනි,

ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීම සම්බන්ධවයි

රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඔබ සංගමය ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් ගැන සාකච්ඡා කිරීමට අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් සූදානමින් සිටින බව අපට වාර්තා වී තිබේ.

රටේ සෑම ප්‍රදේශයකම පාහේ පසුගිය මාස දෙකක කාලය ඇතුළත ඇතිවූ විරෝධතාවල ප්‍රධාන සටන් පාඨය වූයේ ඒකාධිපති සහ අත්තනෝමතික පාලනයක් ගෙන යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ඉල්ලා අස්විය යුතු බවයි. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපගේ ස්ථාවරයද මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යෙන්ම ඉල්ලා අස්විය යුතු බවයි.

ජනමාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් සංගමයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් පවා බරපතල ගැටලු සහගත තත්ත්වයක් තිබිණි. ඊට හේතුව ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය ගැන ගැටලුව සහ ජනමාධ්‍ය සමාජයට ප්‍රචණ්ඩත්වය එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහුට ඇති බරපතල චෝදනා වේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම ඇතුළු සිද්ධි ගණනාවකට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධය ගැන විවිධ සාක්කි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සහ අධිකරණයේදී දිගහැරී තිබේ.

කෙසේ වෙතත් ඔහු ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ගන්නා ලද උද්දච්ඡ සහ අමනෝඥ ක්‍රියාමාර්ග වර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික සහ දේශපාලන අර්බුදවලට ප්‍රධානතම හේතුවක් විය. කොවිඩ් මර්දනය හමුදා ප්‍රධානියකුගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර් සාධක බලකායකට බාරදීම සහ ඒ ආශ්‍රිතව ගන්නා ලද තීන්දු තීරණ නීතියේ පාලනය ඉක්මවා යන තැනට පවා තල්ලු වූ අතර රට පුරා කොවිඩ් ව්‍යාප්ත වීමට එය හේතුවක් විය. මේ එක් උදාහරණයක් පමණි.
මාස දෙකකට ආසන්න කාලයක් ඇතුළත ජනාධිපතිවරයා සහ ඔහු විසින් පත් කරන ලද සහ ඔහුගේ මෙහෙයවීමෙන් කටයුතු කරන නිලධාරීන් ගන්නා ලද මර්දනකාරී ක්‍රියාකාරකම් ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රේල් 19 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළ අතර එහි පිටපතක් ඔබටද යොමු කළෙමු. අප්‍රේල් 19 වැනිදායින් පසු සිදුවීම් කිහිපයක් ගැන මෙහිදී කෙටියෙන් සඳහන් කරමු.

1) අප්‍රේල් 19 වැනිදා රඹුක්කනදී පැවති සාමකාමී විරෝධයට පොලිසිය ලවා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් පිරිසක් ඝාතනය කිරීමට උත්සාහ කිරීම.
2) අප්‍රේල් 23 වැනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවකට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළු වීම වලක්වමින් නියෝගයක් ලබා ගැනීම.
3) අප්‍රේල් 24 කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම අවහිර වන සේ වසා දැමීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සහ පොලිසිය මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශයද එක්ව උල් කටු සහිත මාර්ග බාධක දමා ඒවා ඉටු කොළවලින් වසා දමා විරෝධතාකරුවන් සහ/හෝ විරෝධතා ආවරණය කිරීමට යන ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමට උත්සාහ කිරීම. (කොටුව පොලිසියේ පැමිණිලි අංක සීඅයිබී 1 15/159)
4) අප්‍රේල් 26 – මයිනාගෝගම විරෝධතාකරුවන් පොලිස් වාහනවලට යට කිරීමට උත්සාහ කිරීම. (කොල්ලුපිටිය පොලිසියට කළ පැමිණිල්ලේ අංකය CIB i 333/116 )
5) මැයි 02 – ගාලු මුවදොර උද්ඝෝෂණයේ නිරතව සිටි සමන් කුමාර නම් පුද්ගලයකු යක්කල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පහරදීම. ඔහු ජනතා විමුක්ති පෙරමුණට කලක් සම්බන්ධ වී සිටි පුද්ගලයකු බව නීතිය හා සාමය ඇමති ප්‍රසන්න රණතුංග (පොලිසිය භාර ඇමති) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහුට පහරදීම සම්බන්ධයෙන් නීතිඥවරුන්ගේද මැදිහත්වීමෙන් යක්කල පොලිසියේ පැමිණිල්ලක් කර ති‌බේ. පැමිණිලි අංකය – CIB ii 64/167
6) මැයි 02 – ඒකපාර්ශ්විකව කරුණු දක්වමින් මයිනාගෝගමට අදාලව උසාවි නියෝගයක් ලබා ගැනීම.
7) මැයි 05 – කතානායකට ලිපියක් බාරදීමට ගිය විරෝධතාකරුවන් 13 දෙනකු පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම
8) මැයි 05 – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම
9) මැයි 06 – අන්තරේ සහ තවත් පිරිස් එක්ව පැවැත්වූ විරෝධතාවයට ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම. අන්තරේ විසිර ගිය පසු ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයට මධ්‍යම රාත්‍රිය වනතුරු ජල ප්‍රහාර සහ කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ බැට්න්පොලුවලින් පහරදීම.
10) මැයි 06 – මහජන ආරක්ෂක ආඥාපනත යටතේ රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම.
ඉහතින් සඳහන් කළේ මෑතකම සිදු කළ මර්දනීය ක්‍රියාකාරකම් 10ක් පමණි. මෙම ලැයිස්තුවට එකතු විය යුතු සිදුවීම් රැසක් තිබේ. මර්දනයේ තත්ත්වය කොතරම් දරුණුද යත් ශ්‍රී ලංකා පොලිසියට මේ සම්බන්ධයෙන් කළ කිසිම පැමිණිල්ලක් විමර්ශනය කර නැත. ඒවායේ සාක්කි විනාශවන තුරු පොලිස්පතිවරයා විමර්ශන සිදු නොකර සහ/හෝ විමර්ශන සඳහා උපදෙස් නොදී කටයුතු කිරීමෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් දිගින් දිගටයම උල්ලංඝණය වෙමින් තිබේ.

ජනාධිපතිවරයා සහ ඔහුගේ මෙහෙයවීම යටතේ සිටින නිලධාරීන් බරපතල ලෙස පුරවැසි අයිතිවාසිකම් මර්දනය කරමින් සිටිනා පසුබිමක රට පුරා විරෝධතාකරුවන්ගේ ප්‍රධානතම ඉල්ලීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එබැවින්, ඔබ සංවිධානය අද දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසුණු පසු රටේ ජනතාවගේ ඉල්ලීම වන ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට වූ යෝජනාව ද ජනාධිපතිවරයාට මූලික වශයෙන් ඉදිරිපත් කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ඉල්ලා සිටිමු.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු රටේ ඉදිරි ගමණ ගැන සාධනීය යෝජනා රැසක් විරෝධතාකරුවන්ට මෙන්ම රටේ තරුණ ප්‍රජාවටද ඇති අතර ඒ කිසිවක් වර්තමාන ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවේ. බරපතල චෝදනා එල්ලවී ඇති වර්තමාන ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ප්‍රමුඛම අවශ්‍යතාවක් බව අවධාරණය කරන ලෙස ඉල්ලා සිටිමු.
ස්තුතියි.

මෙයට,
විශ්වාසී,

ලේකම්,
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Archive

Latest news

Related news