ශ්රී ලංකාව සිටින්නේ දේශපාලන අර්බුදයක ය.
විරෝධතාකරුවන්ට අවශ්‍ය වන්නේ ජනාධිපති සහ මන්ත්‍රීවරුන් ගෙදර යෑමයි. පාර්ලිමේන්තුවට අවශ්‍ය ජනාධිපතිතුමා ගෙදර යෑමයි. එලෙසින්ම ජනාධිපතිට අවශ්‍ය වී තිබෙන්නේ උද්ඝෝෂකයින් ගෙදර යෑමයි.
ත්‍රිත්ව අර්බූදය
එහෙත් කිසිවකු ගෙදර යන්නේ නැත. එපමණක් නොව අගමැති වෙනස් නොකර ජනාධිපති වෙනස් කළ නොහැක. අපට අගමැති වෙනස් කළ නොහැකිය. මන්ද යත් කිසිම පක්‍ෂ නායකයෙක් ආර්ථික අර්බුදය කරට ගැනීමට සූදානම් නැති නිසාය. එලෙසින් අලුත් අගමැති කෙනෙක් නැති නිසා අපිට ආර්ථික අර්බුදය කළමනාකරණය කළ නොහැකිය.
මෙම ත්‍රිත්ව හිරවීමෙන් ගොඩ එන්නේ අප කෙසේද ?
විරෝධතාකරුවන්ට අවශ්‍ය වන්නේ ජනාධිපති ගෙදර යාමට වන අතර ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන් ගෙදර යාමය.
වෙනසක් කළ හැක්කේ ජනපතිට පමණි
දස දහස් ගණනක් සිටින විරෝධතාකරුවනට සහ විරෝධතාකාරියනට සිය ඉල්ලීම වෙනස් කිරීම ඉතා අපහසුය. මන්ත්‍රීවරුන් 225 න් අවම වශයෙන් 113 ක් එකඟ විය යුතු බැවින්, පාර්ලිමේන්තුවට පියවරක් ගැනීම දුෂ්කර ය.
නමුත් ජනාධිපතිවරයාට තමන්ගේම තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කළ හැකිය. එනිසා ගමන වෙනස් කිරීම ඔහුට පහසුය. එසේ නම් විරෝධතාකරුවන්ගේ ප්‍රශ්න සපුරාලීමට ඔහුට කුමක් කළ හැකිද?
විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ හැකිය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාමය වෙනසක් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ඔහුට කැපවිය හැකිය. ඔහුගේ ධුර කාලය අවසන් වනතුරු නොසිට, සංශෝධනය සම්මත වූ වහාම ඉල්ලා අස්වීමට ඔහුට කැපවිය හැකිය. මේ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් අවශ්‍ය වන අතර ජනමත විචාරණයක් ද අවශ්‍ය වේ. මේ වසර අවසන් වීමට පෙර මෙම කැපවීම ඉටු කිරීමට ඔහු කාල සීමාවක් නියම කළ යුතුය.
දේශපාලන අගුළු වැටීම ඇරීමේ පළමු පියවර මෙය වනු ඇත.
සර්ව පාක්ෂික සංක්‍රාන්ති රජයක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ඉන්පසුව ඔහුට විශ්වාසයක් ඇති වන පරිදි කළ හැකි වනු ඇත.
රාජපක්ෂලා නැති සංක්‍රාන්ති ආණ්ඩුවක්
විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සියලු රාජපක්ෂවරුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ද ඔහු කැපවිය යුතුය. ඔහුට අගමැති ලෙස සෑම පක්ෂයකම සම්මුතිය සහිත අයකු පිළිගත හැකිය.
මෙම සංක්‍රාන්ති රජය වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් නව ආරම්භයකට අප රැගෙන යා යුතුය. එයට සමාන්තර කාර්යයන් තුනක් කිරීමට සිදුවනු ඇත.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම
පළමුවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තුඩු දෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම ය. මෙය සැලකිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් කිරීමට ද අවස්ථාවක් විය හැකිය. නියෝජිතයන් ජනතාවට සමීප කිරීමටත් අප රටෙහි විවිධත්වය වඩාත් පිළිබිඹු කිරීමටත් මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුය. නිදහස ලැබූ දා සිට අපව පීඩාවට පත් කර ඇති අපේ රටේ වාර්ගික ආතතීන්, එකී කලාපයන්ට වැඩි ස්වයං පාලනයක් ලබා දීමෙන් විසඳා ගැනීමට ද එය අවස්ථාවක් වේ. එමෙන්ම මධ්‍යම ආණ්ඩුව තුළ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ සහභාගීත්වය දිරිමත් කිරීමට ද එමගින් බලය බෙදා ගැනීමට ද හැකි වනු ඇත.
ආර්ථික කළමණාකරනය
දෙවන කාර්යය වන්නේ අපගේ ණය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජයේ සහ පෞද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කර ආර්ථික අර්බුදයට මුහුණ දීමයි. වර්ධනයට ප්‍රමුඛත්වය දෙන ආර්ථික සැලැස්මක් සකස් කිරීම සහ දුගී ස්ථාරයන්ට හිතකාමී සුබසාධන ක්‍රියාමාර්ග ද මෙයට ඇතුළත් වේ. දුගී ස්ථරයනට හිතකාමී අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවට ඇත. අවම වේදනාවකින් වත්මන් අර්බුදයෙන් මිදී වඩාත් තිරසාර වර්ධනයක් කරා යාමට අපට මෙවැනි සැළැස්මක් ගොඩනගා ගත හැකිය. වැදගත්ම දෙය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පදනම් විය යුත්තේ හුදෙක් නව ලිබරල්වාදය ප්‍රතිරාවය කරන කොන්දේසි මත නොව, සමාජ-ආර්ථික අයිතීන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට දියුණු විය හැකි දැනුම් ක්ෂේත්‍රවල වර්ධනය උත්තේජනය කිරීම මත වීමයි.
මහා මැතිවරණයකට යාම
අවසාන වශයෙන්, මෙම සංක්‍රාන්ති ආණ්ඩුව වසරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය. ජනතාවගෙන් ප්‍රබල ජනවරමක් ඇති රජයකට මීළඟ අභියෝග මාලාවට මුහුණ දිය හැකි බව එමගින් සහතික වනු ඇත.
විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කිරීමටත්, ව්‍යවස්ථාව සංශෝධනය වන තුරු පමණක් එම ධුරයේ සිටීමටත් තමන් කැමති බව ප‍්‍රකාශ කිරීමෙන්, ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් කිරීමට ජනාධිපතිවරයාට දායක විය හැක. රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ඔහුට තිබූ අසාමාන්‍ය බලතල අඩු කරමින්, ජනතාවට ඇහුම්කන් දීමෙන්, තම මහජන කැපවීම සැබවින්ම ඉටු කළ දුර්ලභ ශ්‍රී ලාංකික ජනාධිපතිවරයකු ලෙස ඔහු තමාගේම උරුමය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.
(The writer is a Visiting Professor at the University of Amsterdam and Director of the Dialogue Advisory Group.)
( සන්ඩේ ටයිම්ස් පුවත් පතට ලියන ලද ලිපියක සිංහල පරිවර්ථන අපෙනි. මුල් ලිපිය මෙහි කියවිය හැක)