Saturday, April 20, 2024

විසදුමක් සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා මෙන්න!

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලංකාව වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කරන ලද යෝජනා සම්පූර්ණයෙන් පහත පරිදි ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා

1. සියලු ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අදාළ නීතිමය විධිවිධානවලට අනුකූල හා විනිවිදභාවයෙන් යුක්ත විය යුතු ය. මෙම සංක්‍රාමීය විධිවිධාන හුදෙක් ම පවත්නා තත්ත්වයේ අවශ්‍යතාව වෙනුවෙන් නිර්දේශ කරනු ලබන ඒවා වන අතර කිසිසේත් ම පූර්වාදර්ශ ලෙස භාවිත නොකළ යුතු ය.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 21 වන සංශෝධනය ආණ්ඩුව විසින් වහා ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කරයි. එමගින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කළ යුතු ය. එසේ කිරීමේදී වර්තමාන අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව එසේ ම පැවතිය යුතු ය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන නැවත ස්ථාපිත කිරීමත් සමග ම අනුෂංගික ව්‍යවස්ථාදායක සභා සහ ස්වාධීන කොමිෂන් සභා ද නැවත ස්ථාපිත විය යුතු අතර එම ආයතනවල මූල්‍ය ස්වාධීනත්වය සහ විනිවිදභාවය සහ වගවීම තහවුරු කළ යුතු ය.

3. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධානවලට අමතරව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් පහත දැක්වෙන නියමයන් ද සිදුකළ යුතු ය.

අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය පත්කිරීම ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව සිදුකළ යුතු ය.

ආ) අමාත්‍යාංශ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූතමණ්ඩල ප්‍රධානීන් පත්කිරීම කැබිනට් ඇමැති මණ්ඩලයේ මත විමසා අගමැතිවරයාගේ උපදෙස් මත සිදුකළ යුතු ය.

ඇ) ජනාධිපති සමාව ලබාදිය යුත්තේ නීති මගින් පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශානුකූලව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ව්‍යුහයක නිර්දේශ පරිදි ය.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයේ බලාත්මක කිරීමෙන් පසු සියලු ලේකම්වරු හා සියලු ස්වාධීන කොමිෂන් සභා නැවත පත්කළ යුතු ය.

5. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්පාදනයෙන් කරන ලද පරිදි ජනාධිපතිවරයා කිසිදු ඇමැති තනතුරක් නොදැරිය යුතු ය.

6. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැකි තරම් ඉක්මනින්, එනම් මාස 15ක් ඉක්ම යාමට පෙර සිදුකළ යුතු ය. ඒ සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2022 නොවැම්බර් 30 දාට පෙර සම්මත කළ යුතුය. එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දින වකවානු නියම කළ යුතු ය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු පාලනයක් නිර්මාණය කළ යුතු ය. ආණ්ඩුවේ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයාත්, කැබිනට් ඇමතිවරුනුත් පාර්ලිමේන්තුවට වගවිය යුතු ය.

7. ඇමතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් වහා පිහිටුවිය යුතු ය. එහි අගමැතිවරයා ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර සම්මුතියක් නිර්මාණය කිරීමට සමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතු අතර මෙම නිර්ණායකය සපිරිය හැකි මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නොමැති නම්, වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයකු අගමැති ලෙස පත්කිරීම සඳහා බහුපාර්ශ්වීය සම්මුතියක් ඇති කරගත හැකි නම්, හදිසි අවශ්‍යතාව මත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී, අගමැති ධුරය සඳහා යෝජිත පුද්ගලයා පාර්ලිමේන්තුවට පත්කර ගත යුතුය. එම පුද්ගලයාගේ නම ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මුල් ජාතික ලැයිස්තුවල සඳහන් වී නැතත්, එම පුද්ගලයාට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාව ලබා දිය යුතු ය.

8. සියලු අදාළ වෘත්තික/ වෘත්තීය සමිති/ සිවිල් සමාජ සංවිධානවල උපදෙස් මත, අන්තර්කාලීන රජයේ අමාත්‍යාංශ 15 සමඟ සමාන්තර හෝ ජාතික ආර්ථිකයට අදාළ, සුදුසුකම් සහිත වාත්තිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත්කළ යුතු ය. ආණ්ඩුවේ සියලු ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ උපදේශක සභාවේ අදහස් විමසා විනිවිද භාවයක් ඇතිවය.

9.

අ) 2015 ජනවාරි 08 සහ 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අංක 2157/44 හා 2020 ජනවාරි 9 දින දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2212/53 හා 2021 ජනවාරි 9 දින දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු අහෝසි විය යුතු ය.

ආ) 2015 ජනවාරි 8 සහ 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අංක 2157/44 හා 2020 ජනවාරි 9 දින දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක කිරීමෙන් වැළකිය යුතු ය.

10. ජාතික කැබිනට් මණ්ඩලය විසින් උපදේශක සභාවේ පරිදි පොදු අවම වැඩසටහනක් සම්පාදනය කළ යුතුය. පොදු අවම වැඩසටහන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු අතර එය ක්‍රියාත්මක කිරීම ජාතික ඇමැති මණ්ඩලයේ වගකීම විය යුතු ය. මෙම වකවානුවේ වැඩියෙන්ම අවදානමට ලක්වන පිරිස් කෙරෙහි පොදු අවම වැඩසටහන විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

පොදු අවම වැඩසටහන විසින් අවධානය යොමු කළ යුතු කාරණා අතර පහත දැක්වෙන කාරණා ද වේ.

අ) ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීම සහ එම වැඩසටහන ආරම්භ වනතෙක් ද්විපාර්ශ්වීය හවුල්කරුවන් වෙතින් සම්බන්ධක මූල්‍ය පහසුකම් ලබා ගැනීම.

ආ) අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය වහා විසඳීම.

ඇ) රාජ්‍ය දේපළ අයිතිය බැහැර කිරීම හෝ පෞද්ගලීකරණය, ප්‍රසම්පාදනයන්ද විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් සිදුකිරීම.

ඈ) නීතියේ පාලනය නඟාසිටුවීම සහ රාජ්‍ය ක්‍රියාකරුවන් විසින් ජනතාවගේ හිමිකම් හා නිදහස ආරක්ෂා කරන බව හා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ නංවන බව සහතික කිරීම.

ඉ) අපරාධ මගින් උපයන වත්කම් සම්බන්ධයෙන් නීති බලාත්මක කිරීම, රාජ්‍ය සම්පත් ආපසු ලබා ගැනීම, දේශපාලන පක්ෂ හා ප්‍රචාරණ ක්‍රියාමාලා වියදම් නියාමනය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම සහ වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීම සම්බන්ධ නීතියේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම.

ඊ) ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනතාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය නීති සංශෝධන සිදුකිරීම හෝ නව නීති පැනවීම.

උ) ද්විපාර්ශ්වික සහායෙන් හා වෘත්තික සංවිධානවල සහ වෙළෙඳ සංගම්වල දායකත්වයෙන් ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම හා ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම.

ඌ) පාර්ලිමේන්තු උපදේශක කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සහ වෘත්තික සංවිධාන හා වෙළෙඳ සංගම්වලට එවැනි රැස්වීම්වලට සහභාගි වීමට ආරාධනා කිරීම.

එ) මැතිවරණ (විශේෂයෙන් ම, කල් දමා තිබෙන මැතිවරණ) කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සංශෝධන සම්පූර්ණ කිරීම, පිරිවැය අවම කරමින් ඵලදායි ලෙස එම මැතිවරණ පැවැත්වීම සඳහා (එනම්, එක් දිනක් තුළදී) ක්‍රම සම්පාදනය කිරීම සහ ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණ හැර අනෙකුත් මැතිවරණ පැවැත්වීම සඳහා කාල රාමුවක් සකස් කර ගැනීම.

ඒ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 22 වන දින විදේශ ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා සලකා බැලීම හා එම නීතිය සංශෝධනය කිරීම.

11. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පොදු අවම වැඩසටහනට ඇතුළත් විය යුතුය.

12. අන්තර්කාලීන ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන අය-වැය පොදු අවම වැඩසටහන මත පදනම් විය යුතුය.

13. ජාතික ආණ්ඩුව මාස දහඅටක (18) කාලයක් බලපැවැත්වෙන අතර මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් තවත් සති හයක කාලයක් තුළ භාරකාර රජයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. මාස දහඅටක (18) කාලය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන අතර සති හයකට පසුව මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇත. මහ මැතිවරණය අවසන් වීමත් ජාතික රජය ක්‍රියාත්මක වීම අවසන් වේ.

(lankaenews)

 

 

 

 

Archive

Latest news

Related news