Friday, April 19, 2024

නීතිඥ සංගමයේ යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න! – කරු ජයසූරිය

අපි අද ඔබ අමතා කතා කරන්නේ, රටේ දැවෙන ප්‍රශ්ණ විසඳීමට පියවර ගන්නවා වෙනුවට රජය බල අරගලයකට යොමු වී ඇති අවස්ථාවක. රාජ්‍යකරණය බිඳවැටී ඇති අවස්ථාවක මෙය ඉතා අවාසනාවන්ත සිදු වීමක්.

විදුලි කප්පාදුව නිසාත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසාත්, ජීවන වියදම ඉහළ යාම නිසාත්, විදේශ සම්පත් නොමැති නිසාත්, ජනතාව විශාල පීඩනයකට ලක්ව තිබෙනවා. ඒ ගැන පුන පුනා කතා කිරීමෙන් වැඩක් නැහැ.

රජය නියමිත වේලාවට තීරණ ගත්තේ නැහැ. අවුරුදු ගණන් එම තීරණ ගැනීම ප්‍රමාද කලා. රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා ගොවිතැන විනාශ වුණා. ගොවියන්ට වන්දි දීමට පොරොන්දු වුවත්, එම පොරොන්දුව කඩ කළා. මහා මාර්ග සහ මංතීරු සදහා අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කලා. විදුලි කප්පාදුව නිසා කර්මාන්ත ක්ෂේත්‍රය එහෙම පිටින් ම බිඳ වැටුණා. රුපියලට නියම වටිනාකමක් නොදීම නිසා විදේශ මුදල් නීත්‍යානුකූලව රටට ගලා ඒම නැවතුණා.

මේ සියල්ල සිදුවූයේ කළමණාකාරීත්වයේ වරදින්. මේ වැරදිවලට වන්දි ගෙවන්නේ අසරණ ජනතාව යි.

මීට අමතරව ගෝල්ෆේස් පිටියේ දී හා රට පුරා විවිධ ස්ථානවල රජයටත්, ජනාධිපති හා අගමැතිවරයාටත්, දැඩිව දෝෂාරෝපණය කරනවා. මොවුන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිද පෙනෙන, පිරිසිදු පාලනයක්.

මහජන මුදල් නාස්ති කළ හා කොල්ල කෑ ආකාරය ගැන විවිධ වාර්තා දැන් එළිදැක්වෙනවා. රුපියල් බිලියන 36ක සීනි මංකොල්ලය රජයේ බලවතුන්ගේ අනුදැනුම පිට සිදු වූ බවට පාරලිමේන්තුවට විගණන කොමිසම වාර්තා කරන්න විට ඇඟ කිලිපොලා යනවා. මේ දූෂිතයන්ට තවම කිසිම දඬුවමක් නොලැබෙන විට තරුණයින් කුපිත වීම ස්වාභාවිකයි.

දේශපාලනයෙන් බැහැර ව විරෝධතාවල යෙදෙන විවිධ තරුණ කණ්ඩායම් අප හමුවීමට පැමිණියා. ඔවුන් අදහස් ප්‍රකාශ කරන්නේ දැඩි වේදනාවෙන්. සමහර දේශපාලකයින් මේ තරුණයින්ගේ අනාගතය විනාශ කළ බවට හා කොල්ලකා ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මේ තරුණ පරම්පරාව අනාගත බලාපොරොත්තු සුන් කරගෙන සිටිනවා.

ජනාධිපතිතුමන් විසින් ආණ්ඩු පක්ෂයේ වෙන් වුණු විවිධ කොටස් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද දින සාකච්ඡාවකට කැඳවා ඇති බව වාර්තා වුණා. පසුගිය දින කිහිපය තුළ අප දුටුවේ රජය විසින් බලය රැක ගැනීම සඳහා දරන උත්සාහයක් මිස දැවෙන ප්‍රශ්න විසඳීමට අවධානය යොමු ව තිබුණේ නැති බවයි. මෙය රජයේ වගකීම පැහැර හැරීමක්. අප රජයට කියන්නේ වහාම මේ ගැන ක්‍රියාත්මක වන ලෙසයි.

ජනතාවගේ ඉවසීමේ සීමාව දෙදරීමට ඉඩ තිබෙනවා. තුවක්කුවෙන් බයිනෙත්තුවෙන් විරෝධතා පාලනය කිරීමට බැහැ.
ජනාධිපතිතුමාගේ සාකච්ඡා සාර්ථක වුවහොත් ජාතික සමගි රජයක් පිහිටුවීමට රජය ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. මෙහිදී මිත්‍රත්වයේ හස්තය විපක්ෂයට දිගු කිරීම වහා සිදු විය යුතුයි.

උපාලි අබේරත්න කොමිසමේ පලිගැනීම් පරීක්ෂණ දිනපතා කරගෙන යමින්, රන්ජන් රාමනායක ව අසාධාරණව හිරකර තබාගෙන විපක්ෂයේ සහාය බලාපොරොත්තු වෙන්න එපා.

මේ කරුණු අපි සදහන් කරන්නේ ඉතා යහපත් චේතනාවෙන්. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දාට පසු දින සිටම අපි එයට විරුද්ධ වුණා. 19 ව්‍යවස්ථාව වහා බලගන්වන ලෙස අපි හඬ නැගුවා. මේ හඬ ගෝල්ෆේස් පිටියෙන් හා දිවයිනේ සතර දිග් භාගයෙන් දැන් ඇසෙනවා. විපක්ෂය කැඳවීමට පෙර මේ කරුණු පිළිබඳව  ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යවස්ථා සංශෝධන සදහා විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස මාස ගණනාවකට පෙර අප ඒ පිළිබඳ අදහස් එළිදැක්වූවා. සමගි ජන බලවේගය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉතා වටිනා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමහර යෝජනා ක්‍රියාත්මක කිරීමට මාස ගණන් ගත වනවා.

නීතිඥ සංගමයේ යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකියි. රජයට ඕනෑකමක් තිබෙනවානම් ලබන පාර්ලිමේන්තු සතියේදී ම මෙහි වැඩි කොටසක් ක්‍රියාත්මක කළ හැකියි. ජනතා විශ්වාසය උපයා ගැනීමට මේ කරුණු අවධානයට යොමු කරන්න.

අපි මේ තරම් වේදනාවෙන් කතා කරන්නේ ජනතාව ගැන හැඟීමක් ඇතිව. මේ අවසාන මොහොතේ හෝ රජය මේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ජනතා යුතුකමක් ලෙස අපි දකිනවා.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  පුවත්පත් සාකච්ජාවකදී  සභාපති කරු ජයසූරිය  විසින්  අදහස් ඇසුරිණි)

Archive

Latest news

Related news