Saturday, April 27, 2024

රඹුක්කන ඝාතනය: මුහුණු වසාගත් පොලිසියේ දෙදෙනෙක් මගේ ත්‍රීවීල් එකට ගිනි තිබ්බා – රියදුරු අධිකරණයට කියයි!

“ටී – 56 ආයුධ ගත් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් දුම්රිය ක්වාටස්වල ටොයිලට් දොරවල් කඩමින් මා සොයන්නට ගත්තා. ඉන් පසුව ප්‍රථමයෙන් පැමිණි කොට තුවක්කු රැගත් නිලධාරීන් දෙදෙනා  මගේ ත්‍රිරෝද රථයේ ඉන්ධන පුරවන ටැංකිය අසලින් ත්‍රිරෝද රථයට ගිනි තැබුවා. ත්‍රිරෝද රථයේ වහලය සම්පූර්ණයෙන් ගිනි ගන්නා තෙක් ඔවුන් එතැන රැඳී සිටියා” යැයි කෑගල්ල  ප්‍රධාන මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවේ ප්‍රභාත් මංජුල බණ්ඩාර නමැත්තෙක් ඊයේ (20දා) සාක්ෂි දෙමින් කීය.

උද්ඝෝෂණය පැවැති භූමිය නිරීක්ෂණයට කෑගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පැමිණි අවස්ථාවේ මෙසේ සාක්ෂි ලබා දුන්නේ AAE9774 අංක දරන ත්‍රිරෝද රථය කුලී පදනම මත ලබා ගත් දේවතා සිරිවර්ධනලාගේ ප්‍රභාත් මංජුල බණ්ඩාර විජේසූරියය.

මෙහිදී වැඩිපුර සාක්ෂි ලබා දෙමින් ඔහු මෙසේද කීය. “මේ ත්‍රීවීල් රථයේ සැබෑ අයිතිකරු ශංකර් නමැත්තෙක්. ඔහු මේ වෙද්දී විදෙස් රටක සේවය කරනවා. ඔහුගෙන් කුලී පදනම මත ලබාගෙන තමයි මම මෙම ත්‍රිරෝද රථය ධාවනය කරන්නේ. පෙරේදා දහවල් සිට ඉන්ධන ලබා ගැනීම සඳහා අප දිගු පෝලිමකට එක්ව සිටියා. රඹුක්කන ලංකා සේවා ඉන්ධන පිරවුම් පොළේ කළමනාකරු හැකි ඉක්මනින් ඉන්ධන ලබා දෙන බව පවසා සිටියා. නමුත් රාත්‍රිය වෙන තෙක් ඉන්ධන බවුසර් පැමිණියේ නැහැ. මගේ මූලිකත්වයෙන් උද්ඝෝෂණය ආරම්භ කළේ සවස 2.00ට පමණ. එම අවස්ථාවේදී උද්ඝෝෂකයන් අතරට පැමිණි රඹුක්කන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උද්ඝෝෂකයන් සමඟ බොහොම සුහද ලෙස කටයුතු කළා. ඔහු පවසා සිටියා අද දිනය ඇතුළත කෙසේ හෝ දිගු පෝලිමේ සිටින පිරිස් වෙත ඉන්ධන ලබා දෙන බව.

නමුත් රාත්‍රිය වන තෙක් ඉන්ධන බවුසර් පැමිණියේ නැහැ. ඒ අවස්ථාවේදී මම සහ මගේ මිතුරෙක් තමයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සමඟ ගනුදෙනු කළේ. රාත්‍රි 7.00 වන විටත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේ ඇණවුම් කළ ඉන්ධන පැයකට නොඅඩු කාලයක් තුළ ඉන්ධන හල වෙත ලැබෙන බවයි. මෙම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන රැගත් බවුසර් නොපැමිණියත් ඒවා වෙනත් ඉන්ධන පිරවුම්හල් කරා ගොස් ඇති බව අපට දැනගන්නට ලැබුණා. අප කිසිවෙක් එම පිරවුම්හල් කරා නොගියේ ඒ වන විට දිනකට නොවැඩි කාලයක් රඹුක්කන ලංකා සේවා පිරවුම් හලේ රැඳී සිටි නිසා. ඇති වී ඇති තත්ත්වය පිළිබඳව අප රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළා. ඔහු නැවත වරක් පවසා සිටියා තමා මැදිහත් වී හැකි ඉක්මනින් ඉන්ධන ලබාදෙන බව. මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රථම එක් ඉන්ධන බවුසරයක් පැමිණියා. එම බවුසරය තුළ පැමිණියේ අඩු ඉන්ධන ප්‍රමාණයක්. එම නිසා එම ගොඩබෑම පිළිබඳ පෝලිම්වල සිටි පිරිස් සිය විරෝධතාව දක්වා සිටියා. ඉන්ධන මිල ඉහළ දැමුවාට පසු නැවතත් ඉන්ධන පුරවා ගත් බවුසරයක් ඉන්ධනහල වෙත පැමිණියා.

ඒ  වන විට රැස්ව සිට පිරිස් රඹුක්කන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සාමකාමී උද්ඝෝෂණයකයි නිරතව සිටියේ. එලෙස පැමිණි ඉන්ධන රථයේ ඉන්වොයිසිය  බලන විට එහි පෙට්රල් ලීටර් 6340කට නොවැඩි ප්‍රමාණයකුත් ඩීසල් ලීටර් 3400කට නොවැඩි ප්‍රමාණයකුත් තිබෙන බව අප දුටුවා. ඒ අවස්ථාවේදී මම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ඒ බව දැනුම් දුන්නා. පෝලිම්වල සිටි පිරිස් පවසා සිටියේ වැඩි මිලට තමන්ට ඉන්ධන ලබා ගත නොහැකි බවයි. හැකියාවක් ඇතොත් පැරණි මිලට ඩීසල් ලබාදෙන ලෙස උද්ඝෝෂකයන් ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේදී උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සමඟ ලංකා සේවා පිරවුම්හලේ සාකච්ඡාවක නිරත වී සිටි රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා මා වෙත පැමිණ “උඹ දඟලනවා වැඩියි. පොඩි උන් පොඩි උන් විධියට ඕනෑ” යැයි පවසා පළමු තර්ජනය එල්ල කළා. නමුත් උද්ඝෝෂකයන් දිගටම පැරණි මිලට ඉන්ධන ලබාදෙන්නැයි කියා උද්ඝෝෂණය දිගින් දිගටම සිදු කළා. ඒ අවස්ථාවේදී මම සමඟ රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා බහින් බස්වීමක නිරත වුණා. ඔහුට ඉහළින් සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මට තර්ජනය කළා. ඊට පස්සේ මගේ සහෝදරයා පැමිණ උද්ඝෝෂකයෝ රැඳී සිටි ස්ථානයෙන් මාව ඔහුගේ නිවෙසට රැගෙන ගියා. ඒ වන විට මා භාවිත කළ ත්‍රිරෝද රථය නවත්වා තිබුණේ රඹුක්කන ස්ටේෂමේ සේවක නිවාස අසල. ඉන් පසු මම මගේ හිතවතෙක් සමඟ පැමිණ ත්‍රිරෝද රථයේ නිදා ගන්නට සූදානම් වුණා. ඒ අවස්ථාවේදී තමයි උද්ඝෝෂකයන් වෙත පොලිසිය ප්‍රහාර එල්ල කළේ.

වෙඩි තැබීම් ගණනාවක් එක දිගටම සිදුවුණා. ඉන් පසුව උද්ඝෝෂකයන් පසු බැස්සා. දුම්රිය සේවක ගොඩනැඟිල්ලට යාබදව ඇති බුදුපිළිමයට අසලට පැමිණ රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් කිහිපදෙනකුට මාව පෙන්වා යමක් පවසනවා දුටුවා. ඒ අවස්ථාවේදී පොලිසිය විසින් උද්ඝෝෂකයන් වෙත වෙඩි තැබීම හා පහර දීම දැඩි කරලයි තිබුණේ. පොලිස් ස්ථානාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මා සිටි ත්‍රිරෝද රථය කරා කොට තුවක්කු රැගත් මුහුණ වසා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණෙනවා මම දුටුවා. මම රේල් පාරට පැන දිව ගොස් ස්ටේෂමේ ගල් බංගලාව අසල තාප්පයෙන් බැස ත්‍රිරෝද රථය ආසන්නයේ ඇති කොස් ගසකට මුවාවී සිදුවන්නේ කුමක් දැයි බලා සිටියා. කොට තුවක්කු රැගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් පසු එම ස්ථානයට පැමිණි ටී 56 ආයුධ දරා ගත් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් දුම්රිය ක්වාටස්වල ටොයිලට්   ‍ෙදාරවල් කඩමින් මා සොයන්නට ගත්තා.

ඉන් පසුව ප්‍රථමව පැමිණි කොට තුවක්කු රැගෙන් නිලධාරීන් දෙදෙනා මගේ ත්‍රිරෝද රථයේ ඉන්ධන පුරවන ටැංකිය අසලින් ත්‍රිරෝද රථයට ගිනි තැබුවා. ත්‍රිරෝද රථයේ වහලය සම්පූර්ණයෙන් ගිනි ගන්නා තෙක් ඔවුන් එතැන රැඳී සිටියා. ඊට පසු මගේ සහෝදරයා මා හට ඇමැතුමක් ලබා දී හැකි ඉක්මනින් මා රැඳී සිටි ස්ථානයෙන් ඉවත් වන්නැයි පවසා සිටියා. ඉන් පසුව මා මගේ මිතුරෙකුගේ නිවෙසට ගොස් එදා රාත්‍රිය ගත කළා. පසුදා මගේ සොහොයුරා ප්‍රකාශ කළා ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව. තම ත්‍රිරෝද රථයට ගිනි තැබීමේ සිදුවීම ඉතා හැඟීම්බරව විස්තර කළ සාක්ෂිකරු අවසන් වශයෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සාමකාමී උද්ඝෝෂණයක නියමුවකු වීමේ ප්‍රතිඵල තමා අද දින භුක්තිවිඳින බවයි. තමාට ගරු අධිකරණයෙන් සහනයක් ලැබේ යැයි තමා අපේක්ෂා කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියේය. කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් පිරිසක් සහ ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ පිරිසක් සහභාගී වූහ.

Archive

Latest news

Related news