Thursday, April 18, 2024

තරුණ ජනමාධ්‍යවේදී ඉල්ලීම පල දරයි: සාමකාමී විරෝධතා කඩාකප්පල් නොකරන ලෙස මානව හිමිකම් කොමිසම හමුදාවට දැනුම් දෙයි.

ඡායාරූපය:  ඊයේ උදේ ගෝටාගෝගම අසළට පැමිණි යුද හමුදා රථ පෙළ

යුද හමුදාවේ පිරිසක් උද්ඝෝෂණකයන් ලෙස පුහුණු කරන බවට වූ චෝදනාව ගැන සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඉහළ පෙලේ පිරිමක් ඊයේ (16) සවස 6.00ට පමණ ගණේමුල්ල කඩවත පාරේ පිහිටි යුද හමුදා කඳවුරට ගොස් තිබේ.

අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු එම කණ්ඩායම යුද හමුදා කඳවුරේ ඉහළ නිලධාරීන් සමඟ පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇත.

සාමකාමී විරෝධතා කඩාකප්පල් කරන ආකාරයේ කිසිම ක්‍රියාවකට හැදිහත් නොවන ලෙස සාකච්ජාව අවසානයේදී  මානව හිමිකම් කොමිසම ඔවුනට දැනුම් දී තිබේ.

ජතරුණ ජනමාධ්‍යවේදීන්ගේ ලිපිය පහත දැක්වේ.

කොළඹ.

සභාපතිතුමියනි,

ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා සිටීම

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයේ යෙදී සිටින පුවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් උද්ගතවී තිබේ. එම කරුණු පහත කෙටියෙන් ඉදිරිපත් කරමු.

1) ගණේමුල්ලේ හමුදා කඳවුරකදී හමුදාවේ පිරිසක් උද්ඝෝෂණය කරන බව කියැවෙන වීඩියෝවන් සමාජ මාධ්‍යවල සංසරණය විය. එම වීඩියෝපටය සංසරණය වූයේ හමුදාවේ හෝ වෙනත් අංශයක පිරිසක් උද්ඝෝෂකයන් ලෙස ගාලු මුවදොරට යොදවා ඔවුන් ලවා ගැටුමක් ඇති කර ඒ ඔස්සේ උද්ඝෝෂණය විසිරුවාහැරීමට ආරක්ෂක අංශ මැදිහත්වීමක් සිදු කිරීමේ සැලසුමක් ගැන ප්‍රචාර පැතිර යද්දීය.

2) අප්‍රේල් 24 වැනිදාට පෙර උද්ඝෝෂකයන් පලවා හැරීමට ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරමින් සිටින බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට විය.

3) මීට පෙර රතුපස්වල සහ මිරිහානේ අත්දැකීම් සමඟ මේ ප්‍රචාර අසත්‍යයැයි බැහැර කරීමට නොහැකිය. මේ ආකාරයට උද්ඝෝෂණ කඩාකප්පල් කළ ඉතිහාසයක් වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන බැවින් මෙම ප්‍රචාරය ඉතාම සැලකිල්ලෙන් අවධානයට ලක් කළ යුතුය.

4) ‘ගෝඨාගෝගම’ පිහිටා ඇත්තේ ආණ්ඩුව විසින් උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කළ භූමි ප්‍රදේශයේය. මෙම ප්‍රදේශයට දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා සඳහා පැමිණෙති. මෙම පිරිස සඳහා ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ වගකීමකි. එම ස්ථානයේ තාවකාලික වැසිකිලි පද්ධතියක් ඉදි කර ඇත්තේද උද්ඝෝෂණයට සහාය දක්වන පිරිසකගේ මූල්‍ය පරිත්‍යාගයෙනි. සාමකාමීව විරෝධතා පැවැත්වීම මූලික අයිතියක් බැවින් විරෝධතාකරුවන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම් සැපයීම රජයේ යුතුකමක් සහ වගකීමකි.

5) එමෙන්ම උද්ඝෝෂණ ස්ථානයේ දුරකතන සබඳතා සීමා වී ඇති අතර හදිසියකට දුරකතන ඇමතුමක් හෝ ගැනීමට අසීරු තත්ත්වයක් ඇත.

ඉහත කාරණා සැලකිල්ලට ගෙන උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවශ්‍ය සහන ලබා දීමට රජයට සහ රජයේ ආයතනවලට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මෙම හෙළිදරව්ව මුලින්ම කරන ලද්දේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  දුමින්ද නාගමුව විසිනි. එම වාර්තාව පහත දැක්වේ:

ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා ස්ථානයේ දිවා රෑ පවතින ජනතාවගේ නැගිටීම මර්දනය කිරීමට ආණ්ඩුව සුදානම්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.

කඩවත ප්‍රදේශයේ සන්නද්ධ හමුදා කඳවුරක විරෝධතා මර්දනය කිරීමේ පුහුණුවක් අද(15) පෙරවරුවේ සිදු කළ බව පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

මෙසේ සන්නද්ධ හමුදා කඳවුරුවල කැරලි මර්දන ආදර්ශ පුහුණුව ලබා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදෙන තරුණ ප්‍රජාව මර්දනය කිරීමට නම්, ආණ්ඩුව වැරදි ගණන් බැලීමක් සිදුකරමින් සිටින බව ඔහු අවධාරනය කළේය.

එසේම ඇතැම් පුද්ගලයන් ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කරමින් ජනමාධ්‍ය ප්‍රකාශ සිදු කරන නමුත් ඔවුන් කිසියම් කුමන්ත්‍රණකාරි අරමුණක යෙදී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ගාලු මුවදොර විරෝධය මැදට විවිධ පුද්ගලයන් ඇතුළු කිරීමේ හා විරෝධයේ යෙදෙන ජනතයා දුර්වල කිරීමේ උත්සාහයන් ආණ්ඩුව ගෙන යමින් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

 

Archive

Latest news

Related news