Friday, November 22, 2024

ඈත සිට ලියමි: දෙවන අප්‍රේල් කැරැල්ලට, පළමු අප්‍රේල් කැරලිකරුවකුගෙන් – සුනන්ද දේශප්‍රිය

එදත් එරබදු මල් පිපිල තිබුණ. අදත් පිපිල තියෙනව.

එදත් මහ අනෝරා වැස්ස. අපට ආවරණයට තිබුණේ මහ රෑස්ස ගස්  විතරයි. ඒ  අවුරුදු 51කට කලින් 1971 බක් මාසයේ. අපි හිටියේ වලපනේ සහ කිවුලකැලේ අතර තිබුණ, බදුල්ල සහ නුවරඑළි දිසාවට යාබද කදු සහිත මහ කැලේ.

ඒ දවස්වල නම් ඒ කඳු දිගේ අලි යන හැටිත් අපි බලා ගෙන හිටිය.

වසර 51කලින් ඒ අනෝරා වැස්සට මගේ ඇස් තෙමුනේ නැහැ. ඒව ගිනියම් වෙලා තිබුණෙ. නමුත් අපට හිටියේ අපි විතරමයි. ඇත්තටම නම් අපට, අපිවත් හිටියේ නැහැ.

මෙදාත් බක් මාසයේ මහ අනෝරා වැස්ස. ඔබ හිටියේ ගාලු මුවදොර අරගල බිමේ තෙමි, තෙමී.  ඔන්න එතකොට නන්නාදුන වැඩිහිටි යුවලක් ඇවිත් ඔබට වැහි කබා පන්සීයක් ම දුන්නා. ඒ කතාව දැකපු මගේ දෑස් තෙත් වුණා. නහය දෑව.

වසර 51කලින් ඒ අනෝරා වැස්සට මගේ ඇස් තෙමුනේ නැහැ. ඒව ගිනියම් වෙලා තිබුණෙ. නමුත් අපට හිටියේ අපි විතරමයි. ඇත්තටම නම් අපට, අපිවත් හිටියේ නැහැ.

ඒ බක් මාසයේ 06දා  වැලිමඩ උලපනේ කඳුවැටියක අපි 50-60ක් රැස් වෙලා හිටිය. තුවක්කුත් ඒ  වගේම ගණනක් එකතු අපි කර ගෙන තිබුණ. අපි යන්න තීරණය කළේ නකලස් කඳු වැටියේ වනයට. අරගලය දිගටම කර ගෙන යන්න.

මේ බක් මාසයේ 03දත්  9දත් ඔබ දස දහස් ගණනක් රැස්වෙලා හිටිය. තුවක්කු නොවෙයි, තිබුණෙ සටන් පාඨ. ඔබ එක් වුණේ රටේ හැමෝටම පේන තැනකට. එක් විදිහක ආදරවන්තයින්ගේ තණ නිල්ලකට. මාත් මගේ ආදරවන්තියක් ඔය සුළඟටම රහස් කියළ තියෙනව. මගේ සල්ලිකාර තරුණ මිත්‍රයෙක් සිය ආදරවන්තියත් එක්ක ගෝටාගෝගමට ඇවිත් ආදරය කියල පුවරුවක් උස්සන් ඉන්නව දැක්කම මට ඒ අතීතය මතක් වුණා. ඔබේ අරගලයේ ආදරය පිටාර ගලන තරම්.

ඉතිං, ඔබේ අරගලය රටටම ලෝකයටම ලස්සනට පේන්න තිබුණ. රෑට නින්දට ගියාම ඔබට ඇහෙනව ඇත්තේ ඒ ආදරවනතයින්ගේ  කොමළ සිනා හඩ. පේනව ඇත්තේ සොදුරු හීන.

ඔබට චායි තේවල ඉදල පොංගල් බත් එක්ක චයිනීස් රෝල්ස් ගෙනැත් දෙන්නේ පුරවැසියෝ. මං අදත් දැක්ක මාරි බිස්කට් දීසියක් අරං ඇවිදින සිඟිත්තකු වඩා ගත් යෞවනියක්. ඔබේ අරගලය කතා කරන්නේ හැඟීම් පිරුණු වචන වලින්. රෑප වලින්.  ඒ හැගීම් බලවේගයක් වෙලා. ඔබ පවත්වා ගෙන යන්නේ ලස්සනම ලස්සන ආදර්ශ ගමක්.

එදා බක් මාසයේ අපි හිටියේ තරුණයන්ම විතරයි. එක සහෝදරියක්වත් අප සමඟ බහු බහින්න අපි ගෙන්න ගත්තේ නැහැ. අපි පිරිමිනේ! සමාජයට අපව පෙනුනේ ආයුධ ගත් නොමඟ ගිය තරුණයන් විදිහට. නැත්නම් ත්‍රස්තවාදීන් විදිහට.

මෙදා බක් මාසයේ අරගලය තරුණ තරුණියන් යන හැමෝගෙන්ම වර්ණවත්.  අරගලය විවිධත්වයෙන් පිරිලා. නූතනත්වයෙන් පිරිලා.

ඒ බක් මාසයේ පණහක් හැටක් එක්ක පටන් ගත්ත අපේ ගමන එන්න එන්නම අමාරු වුණා. දවසක අපි කෑවේ මුරුංගා කොළ. දවසක මැදින් ගලා ගිය මහවැලි අතු ගංගාවට ඩයිනමයිට් දාල මරා ගත් පුංචි මාලු පුච්චලා. අපි කිව්වේ දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කටෙන් කියලා.

ඔබට චායි තේවල ඉදල පොංගල් බත් එක්ක චයිනීස් රෝල්ස් ගෙනැත් දෙන්නේ පුරවැසියෝ. මං අදත් දැක්ක මාරි බිස්කට් දීසියක් අරං ඇවිදින සිඟිත්තකු වඩා ගත් යෞවනියක්. ඔබේ අරගලය කතා කරන්නේ හැඟීම් පිරුණු වචන වලින්. රෑප වලින්.  ඒ හැගීම් බලවේගයක් වෙලා. ඔබ පවත්වා ගෙන යන්නේ ලස්සනම ලස්සන ආදර්ශ ගමක්.

ඒ බක් මාසයේ හැම උදයකම අපි නැගිටලා බලන කොට අපේ කණ්ඩායම අඩු වෙලා තිබුණ. සමහරු  හොඳම ඩබල් බැරල් තුවක්කු අරං ගිහින් තිබුණ. අන්තිමේදී අපට තුවක්කු තිබුණ සෙනගට වඩා. මගේ කරේ තුවක්කු දෙකක්ම තිබුණ දවස් තිබුණ. ඒත් අපි හිටියේ හුදකලා වෙලා.

ඡායාරූපය @Lishanw

මේ බක් මාසයේ ඔබ පිරිස දිනපතා ප්‍රමාණයෙන් වගේම ගුණයෙන් වැඩි වෙනවා. ප්‍රමාණය ගුණය බවට පත් වෙනවා. කවදාවත් දේශපාලන විරෝධතාවයකට නාපු මගේ ඥාති දුවල, පුතාල, සමීපතමයින් සහයෝගයට ගාලු මුවදොර ගිහින් දාන පින්තූර,  මගේ ඇස් ආයෙම තෙත් කරනවා. සෙනෙහසට.

අශ්වාදයජනක හෘද ස්පන්දනය පිටවෙන්නේ උණු කදුළු වලින්!

ඒ බක් මාසයේ  දවසක අපි කෑවේ අමු වට්ටක්කා. ඒවා අපට දුන්න ගොවියෝ අපටයි හමුදාවටයි දෙකටම බයෙන් හිටියේ. අපි කුරුමානම් ඇල්ලුවේ හමුදාවට. හමුදාව අපට.

ඒ බක් මාසයේ මං දේශපාලන නායකත්වය දැරුවේ  බදුල්ලේ සහ මොණරාගල දිසාවල. ඒත් ඒ පැතිවල ඉන්න දෙමළ මුස්ලිම් කවරකු වක් අප සමඟ සිටියේ නැහැ. අප, ඔවුන් ගන්න උත්සාහ කලෙත් නැහැ. දෙමළ කතා කරන්න ඔබ වගේ්ම, අපි දැන සිටියෙත් නැහැ.

මහ ජනයාගේ සිත් සතන් වෙනස් කරන විප්ලවයක්.

මේ බක් මාසයේ සරසවි සිසුවියක් පොලිසියට රෝස මලක් දෙනවා. භික්ෂුවක් පත්‍රිකාවක් දෙනවා. තරුණයෙක් වතුර බෝතලයක් දෙනවා. බොහෝ පොලිස් නිලධාරීන් හදවතින් ඇත්තේ අරගලය ඇතුලේ. ගාලු මුවදොරට එන්නේ නැති හරි එන්න බැරි සිය දහස් ගණනක් පිට කරන ගෝටාගෝහෝම් කියන  සුසුම් තමයි වෙරළේ රළ නගන කුණාටු ඇති කරන්නේ.

මේක විප්ලවයක්. මහ ජනයාගේ සිත් සතන් වෙනස් කරන විප්ලවයක්.

ඒ බක් මාසයේ මං දේශපාලන නායකත්වය දැරුවේ  බදුල්ලේ සහ මොණරාගල දිසාවල. ඒත් ඒ පැතිවල ඉන්න දෙමළ මුස්ලිම් කවරකු වක් අප සමඟ සිටියේ නැහැ. අප, ඔවුන් ගන්න උත්සාහ කලෙත් නැහැ. දෙමළ කතා කරන්න ඔබ වගේ්ම, අපි දැන සිටියෙත් නැහැ.

මේ බක් මාසයේ අරගල බිමට අවුරුදු කෑම අර ගෙන එන්නේ මුස්ලිම් යුවතියන් පිරිසක්. කොඩි ඔසවා ගෙන යන මුස්ලිම් පවුල් දකින විට ඇති වන්නේ හීන සැබෑ වන ආසාවක්!

ඒ බක් මාසයේ පහු බහින අපි අන්තිමේ අපි හුන්නස්ගිරිය හරියට එන විට ඉතුරු වුණේ නායකත්ව කණ්ඩායම වූ  අට දෙනා විතරයි. ඉස්සරහට යනවාද නැද්ද කියන එක ගැන බෙදීමක් ඇති වුණා. හතර දෙනෙක් පාර පැන නකල්ස් පැත්තට යාමට තීරණය කළා. අපි ළඟ තිබූ පිස්තෝල සියල්ල ඔවුනට දී අපි හතර දෙනෙක් ආපසු ආවා. ඉදිරියට යාමට ගිය හතර දෙනාගෙන් දෙදෙනෙක්ම මිනිස්සු හමුදාවට අල්ලා දුන්නා. ඔවුන්ට වෙඩි තබා මරා  දැම්මේ එතනදිම. අනෙක් දෙන්නාත් පස්සේ ආපසු ඇවිත් තිබුණා.

අරගලයක් ඇතුලේ බෙදීම් ස්වභාවිකයි. ඒවා නිසි ලෙස හසුරුවා ගන්න බැරි වූ විට අවසන් වන්නේ ඛේදවාචකයකින්.

ඒ බක් මාසයට පාර කපන ගමන් අප කිව්වේ සස්කෘතික ආක්‍රමණයක් තියෙනව, එක පරදවමු කියලා. මං චිත්‍රපටි බැලීම නැවැත්තුවා. බියර් එකක් හරි බීම වරදක් වුණා. යාලු වෙන්න හිටපු පංතියේ කෙල්ලට බූට් එක දෙන්න වුණා. කොන්ඩේ ක්‍රේල් මකල පස්සට පීරුවා.

සරසවි කෙල්ලන්ට වීත්ත ඇන්දවීම

ඒකම ඉස්සහර අරං ගිහිං තමයි සරසවි එන කෙල්ලන්ට මාස 06ක් චීත්ත ගවුම්, රබර් සෙරෙප්පු, කාඩ් බොඩ් පයිල් අරං යන්න නියෝග දුන්නේ ඊයේ පෙරේද වෙනකං. 88-90 කාලයේ ලිංගික ශ්‍රමිකාවියන් මරල දැම්මේ.

අද අරගල බිමේ තියෙන්නේ සංස්කෘතික වසන්තයක්. ඇදුමෙන්, ඇල්මෙන්, කතාවෙන් ගීතයෙන්, නැටුමෙන් නූතනයි! අරගල බිමේ ප්‍රේමය දලු ලනවා ඇති. යුක්රේන යුද බිමේ පවා ප්‍රේමය දලු ලා ලස්සන විවාහ පවා තිබුණ. එක තමයි ජීවිතය!

මාව පොලිසියට අල්ලල දුන්නේ මම අදුරන, මගේම ගමේ මිනිස්සු. ඒ මිනිස්සු ආණ්ඩුවේ පැත්ත අරං තිබුණ. ජීවත් වෙන්න වාසනාව තිබුණ. ඇස් ඉදිරිපිට මිනී මැරෙත්දි.

රාමයියා සහෝදරයගෙන් ඉගෙන ගත්ත

කඳවුරු ගත වුන ගමන් අපි වැඩිහිටි දේශපාලනඥයින් සොයා ගෙන ගියා. රතු කොඩි සමිතියේ නායකයා වූ රාමයියා වගේ අය. අරගලයට පුලුල් ජන සහභාගිත්වයක් තිබිය යුතු බව න්‍යායිකව කියල දුන්න ඔවුන්.

එතකොට මට අව්රුදු විස්සක්වත් නැහැ. මං රාමයියා සහෝදරයගෙන් ඉගෙන ගත්ත. මම සුසිල් සිරිවර්ධනගෙන් ඉංග්‍රිසි අහගත්ත.

මේ බක් මාසයේ  අරගල බිමේ ඔබ පුස්තකාලයක් හැදුව. හරිම අපූරු හැගීමක්. ආයෙත් ඇස් කෙවෙනි තෙමුන පුස්තකාලය දැක්කම. අරගල බිමේත් එළිවෙන කං පොත් කියවන අය ඉන්නවද කියල දකින්න ඇත්නම් කියල හීනයක් තියෙනව.

අද ලෝකය වෙනස්. දැනුමැති තරුණ පරම්පරාව තමයි හැම තැනකම වෙනසක මූලිකයින් වෙන්නේ. අපි කල්පනා කළ ගොවි කම්කරු නායකත්වය ඉතිහාසයටයි අයිති. නමුත් ඔවුන්ගේ බලය වැදගත්. ඒත් අත්දැකීම්වල වටිනාකම කවදාමත් පරණ වෙන්නේ නැහැ. අද ලෝකයේම අරගල බිම පිරිල තියෙන්නේ තරුණ ජවයෙන් බව ඇත්ත. ඔබ ඒ නූතන අරගල සම්ප්‍රදායයි මේ පැල කරන්නේ.

ඊට පස්සේ ජම්පරේ ඇදන් අව්රුදු 07ක් උදේට පොල් සම්බලුයි පානුයි කෑව. හැමදාම. හැබැයි මගේ හිර කූඩුවේ බිත්තියේ හිල් දෙකක් හදල ලෑලි දෙකක් තියල මං පොත් රාක්කයක් හදා ගත්ත. නියාමකයෝ ඉඩ දුන්න. අපේ පොත් ඉල්ල ගෙන කියෙව්ව අයත් හිටිය. මං රුසියානු සහ ප්‍රංශ සාහිත්‍ය කියෙව්වේ බිම රෙට්ටුවේ නිදා ගෙන. මං “වානේ පණ පෙවුන හැටි” කියව්වේ එක රැයින්! එමා බොවාරි කියෙව්වේ ඉගෙන ගත්ත ඉංග්‍රිසියෙන්.

මේ බක් මාසයේ  අරගල බිමේ ඔබ පුස්තකාලයක් හැදුව. හරිම අපූරු හැගීමක්. ආයෙත් ඇස් කෙවෙනි තෙමුන පුස්තකාලය දැක්කම. අරගල බිමේත් එළිවෙන කං පොත් කියවන අය ඉන්නවද කියල දකින්න ඇත්නම් කියල හීනයක් තියෙනව.

සිරගත සමයේ මං කියවූ ආසම පොත දොස්තොයෙස්ව්කි ලියූ “මල ගෙයක සටහන්”. එකට, එක් තැන දවස පුරාම ජීවත් වෙන කොට  සුලු සිදුවීම් පවා අනවශ්‍ය ගැටලු ඇති කරන හැටි එහි අකුරු විසින් චිත්‍ර බවට පත් කරනවා. මං ඒක අත්දැක්ක. එකට ඉන්න හැටි ඉගෙන ගත්ත.

අරගලයක සාහිත්‍යය

අපි අරගලය තුල පොත් කියෙව්වේ නැහැ. අරගල සාහිත්‍යයක් ගොඩ නැගුවෙත් නැහැ. ඒ වුනාට හිර ගෙවල් ඇතුලේ අපි හැදුවා සටන්කාමී සාහිත්‍යයක්. මං ඉංග්‍රිසි ඉගෙන ගත්තේ හිරේදි පොත් කියවන්නයි, පරිවර්ථනය කරන්නයි.

ඒ බක් මාසයේ අපි සටන් කරේ ඒ වෙන කොටත් ජනතා ප්‍රසාදය තිබුණ ආණ්ඩුවට විරුද්ධව. මිනිස්සු අපට විරුද්ධ වූණේ ඒ නිසා. ඒ වගේම අපි ආයුධ අර ගත්ත එකට ජනයා බය වුණා. ආණ්ඩුවට අවස්ථාව ලැබුණ ලෝකෙම්ම සහය අරං අපි චප්ප කරන්න.

විප්ලවය රෝස මල් යහනාවක් නොවෙයි කියල අපි කිව්ව. අදත් ඒක ඇත්ත. ඔබ රෝස මල් දුන්නට තුවක්කු සුද්ධ කරන සද්දේ තාම ඇහෙනවා ඇති. සිය ධනය සහ බලය වෙනුවෙන් සිතක් පපුවක් නැති පාලකයො නොකරපු දෙයක් ලෝකෙ නැහැ.

මේ බක් මාසයේ ඔබ සටන් කරන්නේ මෙරට පහළ වූ දූෂිතම දුෂ්ඨතම දුර්දාන්ත ආණ්ඩුව රටටම එපා වෙලා තියෙද්දි. ඒක තමයි මේ ජන සහයෝගයේ රහස. ඒ වගේම අරගලය කිසිම අයුරකින් ප්‍රචණ්ඩ නොවිය යුතු බවට ඔබට තිබෙන වටහා ගැනීම ආදරණීය එකක්.

විප්ලවය රෝස මල් යහනාවක් නොවෙයි කියල අපි කිව්ව. අදත් ඒක ඇත්ත. ඔබ රෝස මල් දුන්නට තුවක්කු සුද්ධ කරන සද්දේ තාම ඇහෙනවා ඇති. සිය ධනය සහ බලය වෙනුවෙන් සිතක් පපුවක් නැති පාලකයො නොකරපු දෙයක් ලෝකෙ නැහැ.

අපට බලය ලැබුණ නම් කරන්නේ කරන්නේ මොනවද කියල කිසිම අදහසක් අපට තිබුණෙ නැහැ. අපට පුළුල් පෙරමුණු ගැන අදහසක් තිබුණෙත් නැහැ. අපි හිතුවේ අනෙක් හැමෝම වැරදියි කියල.  අපට ලොකු සංවිධානයක් තිබුනත් සටන් කලේ වැරදි විදිහට. වැරදි වෙලාවක .තනියම. අපි වප්ප වුනේ ඒ නිසා.

මං පසුතැවෙන්නෙ නැහැ. ඒ අරගලය මට සරසවියක් වූ නිසා. නමුත් තරුණ පරම්පරාවකම අපේක්ෂා බිද වැටිල නපුරුම නපුරු ප්‍රචණ්ඩත්වයට ගමන් කරා. යුද්ධය විතරක් නොවෙයි, දේශපාලනය කියන්නෙත් කලාවක් වගේම විද්‍යාවක්. Diplomacy ත් ඒ වගේමයි.

හැමදේම දන්නවා කියල මං හිතන්නේ නැහැ.  මං හැමදාම  ඉගෙන ගන්නවා හැම දෙයක් ගැනම. එක මං ඉගෙන ගත්තේ පරාජයෙන්. නමුත් ඒක ඉගෙන ගන්න පරාජයක්ම අවශ්‍ය නැහැ.

ලයිෆ් ඔෆ් පයි  හි සම්මානය ලත් හිරාන් කිව්ව වගේ “ මචං, මං උඹලට ආදරෙයි” කියන්න ආස වුනත් මං අයිති “නාකි” කියල දැන් පහර වදින පරම්පරාවට! සුනිල් (මාධව) හිටිය නම් එහෙම කියාවි. සුනිල් වයස අතික්‍රමණය කරලනේ ලිව්වේ.

ඒ නිසා “අරගලයට ආදරෙයි! අරගලයේ ඉන්න හැමෝටමත් ආදරෙයි! ජයවේවා” කියල දැනට නවතින්නම්.

නැවත හමු වෙමු!

Archive

Latest news

Related news