Friday, April 19, 2024

වාර්තාකරණයේ අයිතිය, විරෝධතා දැක්වීමේ අයිතිය ඇතුළු භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු.- අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි. මේ වන විටත් සියළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මුළුමනින්ම උල්ලංඝනය කර ඇත. සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලන ආණ්ඩුවේ අත්තනෝමතික මෙන්ම මුග්ධ තීරණය හකුළා ගෙන ජනතාවට නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙස අප ආණ්ඩුවට බලකර කියා සිටිමු.

“කිසිදු හේතුවක් නොමැතිව, නිරීක්ෂනය වන පරිදි ජනතාව විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ එකම අරමුණ ඇතුව ඇදිරි නීතිය පැනවීමේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවිරෝධීය.”

මාර්තු 31 දින මිරිහානේ පැවැති විරෝධයේදී ආණ්ඩුවේ ආරක්ෂක අංශවල ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදීන් ඇතුළු පුරවැසියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අප රජයට බල කර සිටින්නේ මාධ්‍යවේදීන්ට හා පුරවැසියන්ට එරෙහිව දිගු කර ඇති මර්ධනයේ හස්තය වහා හකුළුවා ගන්නා ලෙසයි. මාර්තු 31 සිදුවීමේදී මාධ්‍යවේදීන්ට පහර දීම සිදු වන්නේ ඔවුන් බොහෝ දෙනෙකු මාධ්‍යවේදීන් ලෙස ආරක්ෂක අංශ වෙත තමන් හදුන්වා දුන් පසුව බව වීඩියෝ සාක්ෂිි මගින් ඔප්පු වන අතර එම පහරදීම් සිදු වන්නේ කැමරා උපකරණ ඔවුන් අතැතිව සිටියදීය. වාර්තාකරණයට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහතික කිරීම උදෙසා ඇති වැදගත් අයිතිවාසිකමක් වන අතර මාධ්‍යවේදීන්ට කවර තත්වයක් යටතේ වුවද බාධාවකින් තොරව සිය වෘත්තිය කරගෙන යාමට ඇති නිදහස සහතික කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද අපි අවධාරණය කරමු. මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබද විධිමත් ස්වාධීන සහ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අප රජයට බල කර සිටිමු.

අප්‍රේල් 01 වන දින මාධ්‍යම රාත්‍රියේදී සමාජ මාධ්‍ය මගින් ආණ්ඩුවට එරෙහිව අදහස් පළ කල තරුණ ක්‍රියාධරයකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ බරපතළ තර්ජනයක් බව අපගේ පිළිගැනීමයි. විශේෂයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තරුණයා රදවා සිටින ස්ථානයක් කොතෙක් විමසීම් කලද පැය ගණනක් යන තෙක් දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු නොකිරීම ලැජ්ජාසහගත හා බියගුළු ක්‍රියාවක් බවද අප පෙන්වා දෙමු. ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමට මර්දනීය නීති හා ආරක්ෂක අංශ යොදා ගැනීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එම ක්‍රියාවන් වහා නවත්වන ලෙස අප රජයට බල කර සිටිමු.

කිසිදු හේතුවක් නොමැතිව, නිරීක්ෂනය වන පරිදි ජනතාව විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ එකම අරමුණ ඇතුව ඇදිරි නීතිය පැනවීමේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවිරෝධීය. මහජනයා බරපතළ පීඩාවන්ට ලක් වී ඇති අවස්ථාවක ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කිරීම සදහා මැදිහත් වනවා වෙනුවට ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අන් ඕනෑම නීතියක් අතික්‍රමණය කල හැකි, සංශෝධනය කල හැකි, සහ අත්හිටුවිය හැකි මර්දනකාරී හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවා මහජන විරෝධය යටපත් කිරීමේ උත්සහයක් බව බැලූ බැල්මට පෙනී යයි. මෙම හදිසි නීති රෙගුලාසි හා පොදු ජන ජීවිතයට බාධා පමුණුවන ඇදිරි නීතියද වහා ඉවත් කරන ලෙස අප රජයට බල කර සිටිමු. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියළුම මහජන නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන ජනාධිපතිවරයා පැනවූ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට ඉඩ නොදෙන ලෙසයි.

විරෝධය දැක්වීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්ම සමාගමයේ හා සංවිධානය වීමේ අයිතිය පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් බවත් මූලික අයිතිවාසිකම් මෙරට ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත් අප රජයට අවධාරණය කරමු. ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය සුරැකීම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අත්හළ නොහැකි වගකීමක් බවත් අප රජයට සිහිපත් කරමු. මෙම තත්වය තුළ ආණ්ඩුව විසින් භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහසට, සමාගමයේ හා සංවිධානය වීමේ අයිතියට, මාධ්‍යවේදීන්ට වෘත්තිය නිදහසේ කරගෙන යාමට ඇති අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බාධා කිරීම් වලදී ඊට එරෙහි වීමට අප පසුබට නොවන බවත්, ඒ සදහා පුරවැසියන් ගනු ලබන ක්‍රියාමාර්ග වලදී ඔවුන් සමග එකට සිට ගැනීමට ද අප සූදානම් බවත් ප්‍රකාශ කරමු.

විධායක මණ්ඩලය වෙනුවෙන් අත්සන් කලේ

දුලාන් දසනායක   ලේකම්  නීතිඥ / මාධ්‍යවේදී

කේ. සංජීව      සභාපති       මාධ්‍යවේදී

මාධ්‍ය නිවේදනයකි.

Archive

Latest news

Related news