Saturday, April 20, 2024

ජනපති ක්‍රියාකලාපය මහාජනයා විසින් ප්‍රශ්ණ කිරීම වැළැක්වීමට ඇදිරි නීතිය දැමීම එම ජනයා තවත් කුපිත කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

තමන්ගේ පරමාධිපත්‍ය බලය භාවිත කරමින් තමන් විසින් පත් කරන ලද ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සහ වගවීම ගැන පරමාධිපත්‍යයේ නියම අයිතිකාරයන් වන පුරවැසියන් විසින් ප්‍රශ්න කරද්දී එය වැලැක්වීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඇඳිරිනීතිය පැනවීම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත්  එවැනි ක්‍රියාකලාප මගින් සිදුවිය හැක්කේ ජනතාව තව තවත් කුපිත වීම විනා අන් යමක් නොවන බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එබැවින්  හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙසත්, ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම නතර කරන ලෙසටත් රජයට නිර්දේශ කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ගෙන් ඉල්ලා සිටී.

එම ලිපිය පහත දැක්වේ.

විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

සභාපතිතුමියනි,

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ ඇඳිරිනීතිය පැණවීම සම්බන්ධවයි

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇතිවෙමින් තිබෙන උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර අද සවස සිට 6.00 සිට ඇඳිරිනීතිය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 03 වැනි ව්‍යවස්ථාව අනුව පාලන බලතල ඇතුළු ශ්‍රී ලංකා ජනරජයේ පරිමාධිපත්‍ය ජනතාව සතු වන අතර එය අත්හළ නොහැක්කේය. 04 වැනි ව්‍යවස්ථාව අනුව රටේ ආරක්ෂාව ඇතුළු ජනතාව‌ගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනාධිපති වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය. එනම් ජනාධිපතිට පවරා ඇත්තේ මහජනයා සතු පරමාධිපත්‍ය බලය වන බැවින් ජනාධිපතිවරයා සෑම අවස්ථාවන්හිදීම මහජනතාවට වගවිය යුතුය.

ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කිරීමට මෙන්ම වැරදි ක්‍රියාකලාප විවේචනය කිරීමටත්, සමකාමීව විරෝධය පළ කිරීමටත් මහජනතාවට අයිතියක් ඇති අතර එය නතර කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම ජනතා පරමාධිපත්‍යට කරන බලපෑමක් බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විශ්වාසයයි.

පසුගිය කාල වකවානුවේදී විධායකයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරමින් ආරම්භ වූ විරෝධතා මාලාව ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇති අතර හෙට දිනයේ එනම් අප්‍රේල් 03 වැනිදා රට පුරා විරෝධතා රැසක් පැවැත්වීමට මහජනතාව සැලසුම්කර තිබිණි. එය වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් අප්‍රේල් පළමු වැනිදා රාත්‍රියේදී මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස බලාත්මක කරමින් රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඉන් එහා ගොස් අද සවස 6.00 සිට සඳුදා උදෑසන උදෑසන 6.00 දක්වා ජනාධිපතිවරයා විසින් ඇඳිරිනීතිය පනවා ඇති බව අද සවස 3.35ට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනය කළේය.

ඇඳිරිනීතිය පිළිබඳ මාධ්‍ය නිවේදනය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන අවස්ථාව වන විට ඒ සම්බන්ධ ගැසට් නිවේදනයක් නිකුත් වී නොතිබිණි. ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අද සවස 6.00ට ආසන්න වේලාවකදීය. එනම් නිල වශයෙන් ඇඳිරිනීතිය නිවේදනය කළේ ඇඳිරිනීතිය පනවන වේලාවට සුළු මොහොතකට පෙරදීය. ගෑස් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පොලිම් තිබියදී සහ වෙනත් භාණ්ඩ සඳහා හිඟයක් පවතින අවස්ථාවක ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හෝ ප්‍රමාණවත් කාලයක් ලබා දීමකින් තොරවය.

තමන්ගේ පරමාධිපත්‍ය බලය භාවිත කරමින් තමන් විසින් පත් කරන ලද ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සහ වගවීම ගැන පරමාධිපත්‍යයේ නියම අයිතිකාරයන් වන පුරවැසියන් විසින් ප්‍රශ්න කරද්දී එය වැලැක්වීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඇඳිරිනීතිය පැනවීම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව අපගේ අදහසයි. එවැනි ක්‍රියාකලාප මගින් සිදුවිය හැක්කේ ජනතාව තව තවත් කුපිත වීම විනා අන් යමක් නොවේ. එය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.

එසේ හෙයින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙසත්, ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම නතර කරන ලෙසටත් රජයට නිර්දේශ කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
[email protected]

Archive

Latest news

Related news