Friday, April 19, 2024

සාමකාමීව උද්ඝෝෂණය කිරීම මූලික අයිතියකි. කුමන්ත්‍රණකාරී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙමු!.- සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

මේ රටේ සාමාන්‍ය ජනතාව ස්වේචඡාවෙන් ඉදිරිපත් වෙමින් මිරිහාන ප්‍රදේශයේ දී සාමකාමීව සිදු කරමින් පැවති උද්‌ඝෝෂණය කළහකාරී තත්වයක් කරා පරිවර්ථනය කිරීම පිටුපස සංවිධානාත්මකව ක්‍රියා කර ඇති පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවාට අමතරව ඔවුන් රටට හෙළිදරව් කිරීම රජයේ මෙන්ම පොලීසියේ ද වගකීම වී තිබේ. එමෙන්ම එම සාමකාමී හා උණුසුම් විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගෙන ඇති ජනමාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමකට පොලීසිය තුළදී අති අමානුශික ලෙස පහර දී ඇතැයි නැගෙන චෝදනාව පිළිබඳව සාධාරණ හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම ආරක්ෂක බලධාරීන්ගේ වගකීම වී තිබේ.

සාමකාමී ලෙස අදහස් පළකිරීම, උද්ඝෝෂණය කිරීම හා හඬ නැගීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතියකි. අද වනවිට රට තුළ නිර්මාණය කර ඇති දැවැන්ත අර්බුදයෙන් පීඩා විඳින සාමාන්‍ය අහිංසක ජනතාවට ඊට එරෙහිව හඬ නැගීමට හා පෙනී සිටීමට ඇති අයිතිය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉහළින්ම පිළිගන්නා අතර එවැනි සාමකාමී උද්ඝෝෂණයන්ට හා පෙනී සිටීම් වලට අපගේ ආශිර්වාදය ද පළකරන්නෙමු!

එමෙන්ම එවැනි සාමකාමී හා අතිශය යුක්ති සහගත උද්ඝෝෂණයන් කඩාකප්පල් කරමින් ප්‍රචණ්ඩත්වය වැපිරීමට බලවත් පාර්ශවයන් හි අනුග්‍රහය ඇතැයි සැක කළ හැකි සංවිධානාත්මක කල්ලි හා කණ්ඩායම් සිදු කරන කුමන්ත්‍රණ දැඩි ලෙස හෙළා දකින්නෙමු. එමෙන්ම එවැනි කුමන්ත්‍රණ කාරී ක්‍රියා ඉදිරියේදී ද සිදු විය හැකි බව අපි අනතුරු හඟවන්නෙමු. එබැවින් එවැන්නන් නිවැරදිව හඳුනාගනිමින් ඔවුන්ගේ බිහිසුණු හා සංවිධානාත්මක කූඨ උපක්‍රම පරාජය කිරීම සඳහා ද පෙරට එන ලෙස සාමකාමී සිවිල් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සාමකාමී සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස අප නැවත නැවතත් අවධාරණය කරන්නේ තමන්ට එල්ල වී ඇති විවිධ පීඩාවන්ට එරෙහිව යුක්ති සහගත ලෙස විරෝධය පළකිරීමට ඇති අයිතිය වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පෙනීසිටින බවය. වගකිවයුතු රජයක් කළ යුතුව ඇත්තේ ඔවුන් වෙත සාවධානව ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ දුක්ගැනවිලි වලට විසඳුම් ලබාදීමය.

එමෙන්ම එවැනි විරෝධතා හා උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අනුගතව කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවකට යොමුවීමකින් තොරව සාමකාමී ලෙස සිදු කිරීම සමස්ත සමාජයේම වගකීම වී ඇති බවය. එයට අමතරව එවැනි සාමකාමී විරෝධතාවයන් අතරට ඇතුළු විය හැකි සංවිධානාත්මක ප්‍රචණ්ඩකාරී කල්ලි කණ්ඩායම් පිළිබඳව අවධානය යොමුකරමින් ඔවුන්ගේ බිහිසුණු අරමුණු පරාජය කිරීම ද සමස්ත සිවිල් සමාජයේ ම බලවත් වගකීමක් වී තිබේ.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news