ඡායාරූපය: තෙල් නෑ; කරන්ට් නෑ, ඉතිං මෙතැනින් කොතැනටද?
කවරකු විසින් නිර්මාණය කරන ලදැයි නොදන්නා ගෝටාගෝහෝම් නොහොත් “ගෝටා ගෛදර යනු” යන සටන් පාඨය දැන් මෙරට රැව් දෙන බලගතුම දේශපාලන කතිකාවය.
පසුගියදා වරාය නගරයේ පැවැති සංගීත සංදර්ශනයේදී ගෝටාගේ විරුවා ගීයට එල්ල වූ හූව වැනි අපහාසයක් මෙයට පෙර කිසිදු ජනාධිපතිවරයකුට විදීමට සිදුව නැත. එම සංදර්ශනයේ විදුලිය විසන්ධි වූ අවස්ථාවෙහි සංගීත ලෝලීහු ගෝටාගෝටගෝහෝම් යන්න තාලයට ගැයූ හැටි වයිරසයක් මෙන් පැතිර ගියේය.
මේ අතර වාරයේම යාපනයේ ජනයා දැක් වූ විරෝධය නිසා දෙමළ ප්‍රදේශයක මුල් ගලක් තබන්නට ගිය මහින්ද රාජපක්ෂට හැරී එන්නට සිදු විය. නාමල් රාජපක්ෂට බණ්ඩාරවෙළ ජනයා ද එම පාඩමම ඉගැන්වූයේ ඊයේ පෙරේදාය.
බැසිල් රාපක්ෂයට විරුද්ධව රාජපක්ෂගේම පස්වැනි බලකාය වන වීරවංස-වාසු කල්ලිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි. බැසිල්ට මුදල් විශුද්ධිකරණ චෝදනා ඇමෙරිකාවෙහිදී එල්ල වූ බවට ද වීරවංශ චෝදනා කරයි.
මේ සියලු කාරණා පෙන්වන්නේ මෙරට හොරදෙටු පවුල බවට චෝදනා ලත් රාජපක්ෂ සමාගම ඉතිහාසයේ නොවී විරූ ජන විරෝධයකට මුහුණ දී සිටින බවයි.
“මේසා අසාර්ථක වී ඇති ආණ්ඩුවක් පළවා හැරීමට වීදි බැසීමට මහා ජනයාට ශුද්ධ වූ අයිතියක් තිබේ. එම අරගල ඕපපාතික වුවත්, කුඩා වුවත්, දුර බැහර වුවත්, මේ සියල්ල මහා සැඩ පහරකට බවට පත් විය හැකි අතු ගංගා බව අපි අමතක නොකළ යුතු වෙමු”
ලංකාවෙහි මෙයට පෙර කවර කලකවත් දවසට පැය 13ක් විදුලිය කැපුණේ නැත. රුපියල අවප්‍රමාණ වන්නේ බලා සිටියදීය. ඊට විසදුම ලෙස කබ්රාල් දිවා රූ මුදල් අච්චු ගහයි. ඕනෑම ආර්ථීක විද්‍යා ශිෂ්‍යාවක දන්නා පරිදි නිශ්පාදනයට වඩා මුදල් සංසරණය වන විට බඩු මිල ඉහළ යයි. එවැනි සරළ තර්කයක්වත් අද රාජපක්ෂවරුන්ගේ ටිකිරි මොළයට තේරෙන්නේ නැත.
ගෑස් නැත. තෙල් නැත. කඩදාසි නැත. බෙහෙත් නැත. තියෙන බඩු ගිනි ගණන්ය. මේ ගින්නේ දැවෙන්නේ සාමාන්‍ය මහා ජනයා පමණය. දේශපාලන පංතිය සහ ධනකුවේර පංතියට මේ ගින්න දැනෙන්නේ වත් නැත.
ඉවසිය නොහැකි ජීවින බර සහ භාන්ඩ හිඟය නිසා කෝපයට පත් ජනයා තැනින් තැන පාරට පැමිණ විරෝධතා පුවරු අල්ලා ගෙන සිටීමට පටන් ගෙන දැන මාසයකි. එක් තැනකින් පටන් ගත් මෙම නිහඬ විරෝධතා දැන රට පුරාම ක්‍රමයෙන් පැතිර යමින් තිබේ.
මේසා අසාර්ථක වී ඇති ආණ්ඩුවක් පළවා හැරීමට වීදි බැසීමට මහා ජනයාට ශුද්ධ වූ අයිතියක් තිබේ. එම අරගල ඕපපාතික වුවත්, කුඩා වුවත්, දුර බැහර වුවත්, මේ සියල්ල මහා සැඩ පහරකට බවට පත් විය හැකි අතු ගංගා බව අපි අමතක නොකළ යුතු වෙමු. එබැවින් එම විරෝධතා දිරි ගැන්වීම සහ ඊට සහභාගිවීම වෙනසක් අපේක්ෂා කරන සියලු බලවේගයන් සහ පුද්ගලයින් විසින් අත නොහැරිය යුතු යුතුකමකි.
මෙම අවස්ථාවෙහි නිහඬතාවය යනු අයුක්තියට සහ අසාධාරණයට පක්ෂවීමය.
“ඉබේ ඇති වන අරගලය තුලට දේශපාලනය පිටින් ගෙන යා යුතු බව කියනු ලැබේ. අද පාරවල දක්නට ලැබෙන විරෝධතායන්ට පවත්නා අර්බූදය පිළිබඳ දේශපාලන දැක්මක් ගෙන එන්නේ කෙසේද යන්න අප මුහුණ දෙන එක් අභියෝගයකි.”
තැනින් තැන සිදුවන මෙම විරෝධතාවයන් පැන නැගෙන්නේ ඕපපාතිකවය. ඒ නිසාම එම විරෝධයන්හි දැක්වෙන දේශපාලනය ද ඕපපාතික බව ඉක්මවන්නේ නැත.
“ගෝටා ගෙදර යනු!” සහ එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ගැටලු ය. “ප්‍රශ්න ගොඩයි, ලියන්න කඩදාසි නැහැ”, “ දවාලට පෝලිමේ -රෑට කරුවලේ”, “ගෑස් කෝ යකෝ”, “දැන් සැපදද අල කීයදද”, “ අපේ දරුවන්ට කිරි නෑ” යනාදී පුවරු පමණකි මේ ජනයා අත දක්නට ලැබෙන්නේ.
ඉබේ ඇති වන අරගලය තුලට දේශපාලනය පිටින් ගෙන යා යුතු බව කියනු ලැබේ. අද පාරවල දක්නට ලැබෙන විරෝධතායන්ට පවත්නා අර්බූදය පිළිබඳ දේශපාලන දැක්මක් ගෙන එන්නේ කෙසේද යන්න අප මුහුණ දෙන එක් අභියෝගයකි.
එක් උදාහරණයක් ගෙන බලමු. එක රැයින් මෙරට ගොවිතැන කාබනික කළ යුතුයැයි තීරණය කළේ කව්ද? මහජන නියෝජිතයින්ගෙන් යුතු පාර්ලිමේන්තුවද? ගොවි ජනයා සමඟ කතා බහ කිරීමෙන් පසුවද? තනි කරම ඒකාධිපති පාලකයකුට සමාන බලතල ඇති ජනාධිපති ගෝඨාභය විසින්ද? එම තීරණය ගැන දැනුවත් සාකච්ජාවක් පාර්ලිමේන්තුව තුල හෝ අවම වශයෙන් හෝ සිදුවීද? නැත.
රාජපක්ෂවරුන් බලයට පැමිණි වහාම කළේ ජනාධිපතිවරයාට ඒකාධිපති බලතල ලබා ගැනීමය. ඒ 20වන සංසෝධනය සම්මත කර ගැනීම මගිනි. එතැන් සිට අද දක්වා මෙරට ජන ජීවිතයට බලපාන බහුතර තීරණ ගනු ලැබ ඇත්තේ එකී විධායක ජනාධිපතිවරයා විසිනි. ඔහු විසින් පාර්ලිමේන්තුවට පිටින් තමා යටතේ පාලනය වන ජනාධිපති කාර්ය සාධක බලකා දුසිම් දෙකක් පමණ පිහිටුවා ගෙන ගෙන තිබේ.
“රාජ්‍ය පාලනය තනි පුද්ගලයකුගේ ඒකාධිකාරී බලය යටතට පත් කිරීම අද ලංකාව මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුදයට ප්‍රධානතම හේතුව නොවේ නම් ඉන් එකකි.”
ස්වාධීන රාජ්‍ය සේවය තනි කැමැත්ත උඩ පාලනය කරන ගෝඨාභය වෙනත් රටවල කීර්තිමත් ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයින් විසින් මෙහෙයවනු ලබන මධ්‍යම බැංකුව නම් ආර්ථික මර්මස්ථානයට රාජපක්ෂ අන්තේවාසිකයකු වන කබ්රාල් පත් කරන ලද්දේ ද ඔහු විසිනි.
මෙවැනි තවත් උදාහරණ බොහෝය. රාජ්‍ය පාලනය තනි පුද්ගලයකුගේ ඒකාධිකාරී බලය යටතට පත් කිරීම අද ලංකාව මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුදයට ප්‍රධානතම හේතුව නොවේ නම් ඉන් එකකි.
මෙම අර්බූදය හමුවේ වීරයන් වීමට දඟලන වීරවංශ-වාසු ඇතුලු 11 කල්ලිය මෙම සියලු ඒකාධිපති බලතල දිගටම පවත්වා ගෙන යෑමට පක්ෂ බවත් අපි අමතක නොකළ යුතු වෙමු.
අප සැලකිල්ලට ගත යුතු ප්‍රශ්නයක් නම් අද පැන නැගෙන කිසිදු ඕපපාතික විරෝධතාවයක ජනාධිපති විධායක බලතල අහෝසි කිරීම සඳහා වන කිසිදු සටන් පාඨයක් දැකිය නොහැකි වීමයි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන අසංතුෂ්ටිය ප්‍රකාශ කල හැකි වැදගත්ම ක්‍රමවේදයක් වනුයේ නිත්‍ය ලෙස කලින් කලට පවත්වනු ලබන නිදහස් සහ සාධාරණ මැතිවරණයන්ය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අතුරු මැතිවරණ ද එවැනි වැදගත් කාර්යක් ඉටු කළේය.
“මුහුණ දී සිටින මෙම අර්බුදය හමුවේ ජනයාගේ මතය, විරෝධය, ප්‍රකාශ කිරීම පිනිසත්, අර්බූදයට විසදුම් සෙවිය හැකි දේශපාලන බල තුලනයක් ඇති කිරීම පිනිසත් අප වහාම මහා මැතිවරණයක් ඉල්ලා නොසිටිය යුතුද?”
අද මෙරට පැවතිය යුතු පලාත් සභා සහ පලාත් පාලන ආයතන නැත. ඒවා කල් දමා තිබේ. නැතහොත් කාලය දිගු කර තිබේ. එවැනි අවස්ථා තිබුණේ නම් මහා ජනයාට සිය විරෝධය කතිර බලයෙන් පෙන්වීමටත් ආණ්ඩුවට පණිවිඩයක් යැවීමටත් අවස්ථාව තිබුණි.
මුහුණ දී සිටින මෙම අර්බුදය හමුවේ ජනයාගේ මතය, විරෝධය, ප්‍රකාශ කිරීම පිනිසත්, අර්බූදයට විසදුම් සෙවිය හැකි දේශපාලන බල තුලනයක් ඇති කිරීම පිනිසත් අප වහාම මහා මැතිවරණයක් ඉල්ලා නොසිටිය යුතුද?
එවැනි එක් සටන් පාඨයක්වත් අද විදි බසින විරෝධතාවයන්හි නැත්තේ ඇයිද? විරෝධතාවයන් පවත්වන පිරිස් අවම වශයෙන් සිය විරෝධයන් අවසන් කර ගෙදර යෑමට පෙර මෙැවැනි කරුණූ විනාඩි පහක් ගෙන කතා කළ යුතු නැත්ද?
අප සිතන්නේ එවැනි දේශපාලන සටන් පාඨ ද වීදියට ගෙන ආ යුතු බවයි. අනෙක් එදිනෙදා ජීවිතයට අදාළ උද්ඝෝෂනය ද ඒ සමඟම යා යුතුය. නියම බලය ගොඩ නැගෙනු ඇත්තේ එම දෙපැත්තම එක් කඹයක වෙලු සේ දඟර වැටෙමින් එක් වූ කලය.
පෙර කී පරදි මෙම අර්බුදය දඩ මීමා කර ගනිමින් ජාතිවාදය වපුරා බලයට ඒමට තැත් කරන වීරවංශ-වාසු සමාගමද හොරගල් අහුලමින් සිටිති. මෙම දේශපාලන ව්‍යාකූලතාවය සහ සමාජ අසහනය යළි ජාතිවාදී දේශපාලනයක් බවට පෙරළා ගැනීමට 11 කල්ලිය උත්සාහ දරනු ඇත. දැනටමත් එම උත්සාහය දැකිය හැකිය. ජනවාර්ගික සාමය පිළිබඳ අදහස අප විසින් මේ අවස්ථාවෙදී අතනොහැරිය යුත්තේ වර්ගවාදී කහකඩ නඩයද 11 කල්ලියට හේත්තු වී තවත් අවුලක් ඇති කළ හැකි නිසාය.
දේශපාලනඥයින්ට කැමැති පරිදි අඩි පිනුම් බඩ පිනුම් ගැසිය හැක්කේ දැනුවත් පුරවැසියන් නැති වූ විටය. හුදෙක් එදිනෙදා ඉල්ලීම් සහ ගෝටාගෝහෝම් යැයි කියවෙන සටන් පාඨ සමඟින්ම මෙම අර්බුදය විසඳීම කරා වූ සහ රාජ්‍ය පාලනයෙහි පුරවැසි අවකාශය පුලුල් කරන දේශපාලන සටන් පාඨ ඉදිරියට ගත් යුත්තේ එනිසාය. එමගින් දේශපාලන පක්ෂ පවා වෙනසකට භාජනය කිරීමට අපට හැකි වනු ඇත.
අප හුදෙක් “ කන්න දියව්” වර්ගයේ සටන්පාඨ අතර සිරවී සිටිය හොත් එමගින් සිදුවන්නේ දේශපාලනඥයින්ට පමණක් විසඳුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමයි.
රාජපක්ෂවරුන් ගෙදර යැවිය යුතුය. එලෙස ගෙදර යැවිය හැකි දේශපාලන මෙහොතක් එළඹ තිබේ. නැතහොත් ඉක්මනින් ලඟා වනු ඇත.
එම මොහොත නිසි පරිදි හසුරුවා ගැනීමට දැන් ගොඩ නැගෙමින් පවතින සිවිල් විරෝධතාවයන් දායක විය යුතුය. මේ සටහන ඒ සාකච්ඡාවට දායකවීමකි.