Tuesday, July 16, 2024

ජනාධිපති යන නිසා NPP කොඩි බැනර් ගලවන්නැයි මිරිහාන පොලිසිය නියෝග කළා – සුනිල් වටගල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැස්වීමකට යන බව පවසා ඇඹුල්දෙණිය – මාදිවෙල ප්‍රධාන පාරේ ජාතික ජන බලවේගයේ ප්‍රදර්ශනය කර ඇති බැනර්, කොඩි, පතාක ඇතුළු සැරසිලි ගලවන්නැයි මිරිහාන පොලිසියෙන් නියෝග කළ බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල පවසයි.

මෙම සැරසිලි සිදුර කර තිබී ඇත්තේ 20 දා  පස්වරුවේ ඇඹුල්දෙණිය – මාදිවෙල ප්‍රධාන පාරේ බෝධිය පාර අසළ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාව පිහිටුවීමේ උත්සවය හේතුවෙනි.

කෙසේ නමුත් තමා එම සිද්ධිය වී පැයකට පසු එම ස්ථානයට ගිය අතර මිරිහාන පොලිසියේ නිලධාරීන් පැවැසුවේ පළාත් මාර්ග පනත යටතේ මෙය ක්‍රියාත්මක කරන බව තමාට දැනුම් දුන් බවයි. නමුත් එවැනි පනතක් නීතියෙහි නොතිබෙන බව තමා එම පොලිස් නිලධාරීන් වෙත පැහැදිලි කළ බව නීතීඥ සුනිල් වටගල පවසයි.

ඉන් අනතුරුව තමා ප්‍රශ්න කරන විට ඔවුන් පැවැසුවේ මඟ දෙපස අවලස්සන බවත් ජනාධිපතිවරයා එම මාර්ගයේ යෑමට නියමිත බැවින් අදාළ පෝස්ටර් ගලවන ලෙස මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයා නියෝගයක් කළ බවත්ය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් මිරිහාන පොලිසියට ගොස් අදාළ සමුළුවට ශබ්ද විකාශන බලපත්‍රය ගැනීමේදීද එහි පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ පෝස්ටර ගලවන්නේ නම් පමණක් එම බලපත්‍රය ලබාදීමට ඔවුන් සූදානම් බවයි.

එම ස්ථානයට ජනමාධ්‍ය පැමිණි බැවින් පොලිස් නිලධාරීන් අවසානයේ නිරුත්තර වූ බවද නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥවරයා…

“මම කිව්වා එහෙම සැරසිලි ඉවත් කරන්න එපා. ජනාධිපතිට මේවගෙන් බාධාවක් නැහැ නේද කියලා. ඔවුන් කිව්වා නැහැ කියලා. අපි දැක්කා අනුරාධපුර සල්ගාදු පිටියෙ පැවැත්වූ රැස්වීම වෙනුවෙන් සැරසිලි කොච්චර තිබුණද කියලා. ශබ්ද විකාශන බලපත්‍ර අපිට ලබානොදී රඳවා ගන්නවා සැරසිලි ටික ඉවත් කරනකම්. අපි කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය යටතේ අපි මූලික අයිතිවාසිකම් පාවිච්චි කරමින් අපි මේ රැස්වීම තියන්නේ කියලා. ඒ වගේම පොලිස් නිලධාරීන් තර්ජනය කළා පැයක් ඇතුළත සැරසිලි ඉවත් කර නොගත්තොත් කම්කරුවන් දාලා මේවා ඉවත් කරන බවට.

මීට පෙර මහරගම පැවැත්වූ මෙවැනිම සමුළුවකට මේ වගේ අවනඩුවක් අපට ආවා. මෙහෙම තර්ජන කරන්නේ අයුතු දේශපාලන බලපෑම් නිසයි. ආණ්ඩුව කියන කොන්ත්‍රාත් කරන්න එපා කියලා පොලිස් නිලධාරීන්ගෙන් අපි ඉල්ලනවා. මේ භූමිය රැස්වීම් තියෙන භූමියක්. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා ජනාධිපති මිරිහානේ ගෙදර පාවිච්චි කිරීම ගැන. ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයක් තියෙනවා. ඒක පාවිච්චි නොකරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.”

අනුරාධා හේරත් – මවිබිම

Archive

Latest news

Related news