ජනාධිපති වරයාගේ නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වය යටතේ පිහිට වූ හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාන්විත මධ්‍යස්ථානය (Green Agriculture Operations Centre) මේ වනවිට සිය මෙහෙයුම් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාගේ හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දෙසැම්බර දෙවැනි සතියේ ආරම්භ කළ මෙම මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන යුද හමුදාපතිවරයාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වීම සඳහා කමිටු සාමාජිකයන් ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, පලිබෝධ නාශක රෙජිස්ට්‍රා ජනරාල් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රය මෙහෙයවූ රටේ ප්‍රධානම විද්වත් වෘත්තිකයන් දස දෙනෙකුට වැඩි පිරිසක් නම් කර තිබේ.
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ සීමාසහිත ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර සහ බෙදාහැරීමේ සමාගම ඇති කර හරිත කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත ඝණ සහ ද්‍රව කාබනික පොහොර නිශ්පාදනය දිරිමත් කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධානම ප්‍රමුඛතාවයක් විය යුතු බවට ජනපතිවරයා නිර්දේශ දී ඇත.
ගොවීන්ට නියමිත වෙලාවට පොහොර නොමිලයේ ලබාදීම, රටේ සෑම දිස්ත්‍රික්කයකම පොහොර ඉල්ලුම සපුරාලීම, වී බඩඉරුගු ධාන්‍ය, පළතුරු සහ දේශීය එළවළු නිශ්පාදනය වේගවත් කිරීම, හරිත කෘෂිකර්මාන්තයට සුදුසු බීජ සහ පැළවර්ග ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තයට සහ ආහාර බෝග නිෂ්පාදන බෙදා හැරීමට සම්බන්ධ ඉහළම මට්ටමේ සිට බිම් මට්ටම දක්වා සියලුම නිලධාරීන්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, දේශගුණික විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බළකා දෙක සමඟ සම්බන්ධීකරණය කිරීම හමුදාපතිවරයා යටතේ ඇති මෙම මධ්‍යස්ථානයට පවරා තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සති දෙකකට වරක් පැවැත්වෙන ජාතික හරිත ආර්ථික සභාව සංවිධානය කිරීමේ වගකීම ද හරිත කෘෂිකර්ම ක්‍රියාකාරී මධ්‍යස්ථානයට පවරා ඇත.
මෙම කටයුතු පවත්වා ගැනීම සඳහා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමස්ථ ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධීකරණයට දිස්ත්‍රික්ක මට්ටමින් සම්බන්ධීකරණ හමුදා නිලධාරියෙක් පත් කර තිබේ.
අදාල හමුදා නිලධාරියා මේජර් වරයෙක් හෝ ඊට ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් බව දැනගන්නට ඇත.
මේ පිළිබඳව අදහස් දක්වා තිබූ ගොවි සංවිධාන පවසා තිබුණේ ගොවිතැන කිරීමට තවමත් තමන්ගේ හතර හන්දි පණ ඇති බවය. ගොවිතැන සඳහා අවශ්‍ය යෙදවුම් නිසි ප්‍රමිතියකින්, නිසි කලට ලබා නොදී ඇති කළ ප්‍රශ්නය විසඳීමට හමුදාව කුඹුරට බැස්සවීම පිළිතුරක් වෙන්නේ කෙසේ දැයි විමසා සිටි ගොවීහු හමුදාව කුඹුරට බැස්ස විට අස්වනු වැඩිවන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර තිබුණහ.