Friday, April 19, 2024

ශානිගේ පෙත්සමෙන් හෙළිවන පාස්කු ප්‍රහාරයේ අදිසි හස්තය ගැන පරීක්ෂනයක් අවශ්‍යයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමින් දක්වන ලද කරුණු පිළිබඳවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම මගින්, 2019.04.21 පාස්කු ඉරුදින එල්ල කරන් ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව නිසි පරිදි පරීක්ෂණ සිදුකිරීමට අසමත්වීම යන චෝදනාව යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරමින් කරුණු දක්වා තිබේ.

එම පෙත්සම මගින් ශානි අබේසේකර මහතා දක්වා ඇති කරුණු අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ ඝාතකයින් සොයා ගැනීමේ පරීක්ෂණ නොමඟ යැවීම හෝ සැබෑ ඝාතකයින් අනාවරණය වීම වැලැක්වීම උදෙසා කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන බරපතල සැකයක් ඇතිවේ.

මේ පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස සියලු වගකිව යුතු අංශ විසින් සැලකිය යුතු බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා මේ පිළිබඳව බරපතල ලෙස සලකා කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳව ජනතාවට හෙළිකල යුතුය.

රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතල තර්ජනයක් ඇති බව ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති බැවින් වහාම එකී කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන මෙන් මහජන බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන් වන නීතිපතිවරයා,  පොලිස්පතිවරයා යන සියලු බලධාරීන්ගෙන් අප අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.

පාලිත ලිහිණියකුමාර
ප්‍රධාන ලේකම්,
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

Archive

Latest news

Related news