පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ කාරණා රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර අනාවරණය කළේ ය.
ඒ, පෙබරවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමිනි.
ඉන් ඔහු ඉල්ලා ඇත්තේ, පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ නොකිරීම ඇතුළු චෝදනා යටතේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීම වලක්වන අතුරු නියෝග නිකුත් කරන ලෙස යි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රැඳවුම් නියෝග නිකුත් කිරීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.
නිර්නාමික පෙත්සමක් මත කරන ලද බව කියන කූඨ විමර්ශන වාර්තාවකට අදාලව තමන්ට එරෙහිව ගොනුකර ඇති අදාල බී වාර්තාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඔහු ඉල්ලා තිබේ.
යම් හෙයකින් තමන් අත්අඩංගුවට ගතහොත් වහාම මුදාහරින ලෙස නියෝගයක් නිකුත්කර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදල් ලබාදෙන ලෙස ද පෙත්සම්කාර ශානි අබේසේකර ඉල්ලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝශනී පතිරණ ඇතුළු 14 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
එම බී වාර්තාව මත තමන් කවරහෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින්, ඉන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වියහැකි බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
කුමන්ත්‍රණයක්…
ශානි අබේසේකර යළි අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් චෝදනාකර සිටියේ ය.
“දැන් ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, නැවත අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. අපරාධකරුවෝ, මහ මොළකරු අත්අඩංගුවට ගන්න නොවෙයි, ශානි අබේසේකරව අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.”
අජිත් පී. පෙරේරා පවසා සිටින්නේ ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකළ පෙත්සමෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් හෙළිදරව් නොවූ කාරණා හෙළිදරව් වන බව යි.
“සොනික් සොනික් කියන්නේ කවුද? කවුද මේ වැදගත් තොරතුරු සහිත පුද්ගලයින් ගැන ඉදිරි පරීක්ෂණ නතර කළේ?” ඔහු ප්‍රශ්න කළේ ය.
“තවමත් පුරවැසියන් නොදන්නා කොටසක් තියෙනවා. නිලධාරීන් තමන්ගේ රාජකාරී පරාසය තුළ ඒවා ආරක්ෂා කරනවා. නීතිපතිතුමා ඒවා ආරක්ෂා කරනවා. ජනාධිපතිතුමා ඒවා එලියට දෙන්නේ නැහැ. නමුත් පුරවැසියන්ට අයිතියක් තියෙනවා ඇත්ත දැනගන්න. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ටත්, පොදුවේ පුරවැසියන්ටත් යුක්තියක් ඉටුවෙන්න නම් සත්‍ය අඩංගු ලේඛන සියල්ල නොසඟවා ඉදිරිපත් කළ යුතු යි,” මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
“පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වෙළුම් 22න් 1යි. හිටපු නීතිපති කිව්වා මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. නීතිපති දෙපාර්තමේන්තුවට, රජයට, ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ වෙළුම් 22 හෙළිදරව් කරන්න. ඇයි මේ වෙළුම් 21ක් සඟවන්නේ?”
වවුනතිව් ඝාතන සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ උත්සාහය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමඟ යැවීම ද?
වවුනතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම ගැන රහස් පොලිසියේ පරීක්‍ෂණ නොමඟ යැවීමට හමුදා බුද්ධි අංශය කටයුතු කළ බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමේ දැක්වේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් අනතුරුව කළ විමර්ශනවලට අනුව, අජන්තන් සහ හිටපු කොටි සාමාජිකයා අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ නොවන බව අනාවරණය වූ බව ද එහි දැක්වෙයි.
යුද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි සේවය විසින් (DMI සහ SIS) අදාල සැකකරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයට බොරුවට කොටුකර තිබූ බව ද පෙත්සමේ සඳහන් වේ.
පෙත්සම්කරු වැඩිදුරටත් පවසන්නේ වවුනතිව් ඝාතන සිද්ධියෙන් දින තුනකට පසු සොයාගත් යතුරුපැදි ජැකට්ටුව යුද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි සේවයේ කුමන්ත්‍රණයක් බවට සැක කරන බව යි.
ඝාතනයට සම්බන්ධ සැබෑ ප්‍රහාරකයන් සොයාගැනීමෙන් CIDය වැළැක්වීම සඳහා, පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් CID පරීක්ෂණ නොමඟ යැවීමට අදාල අංශ කටයුතුකර ඇති බවට ද පෙත්සම්කරු චෝදනාකර සිටියි.
“මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම ගැන ජනපති මෛත්‍රීපාල දැනුවත්”
පෙත්සම්කාර ශානි අබේසේකර ප්‍රකාශ කරන්නේ, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2019.02.02 දින එවකට CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සමග තමා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී කරුණු පැහැදිලි කළ බව යි.
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීම සහ වනාතවිල්ලුව, ලැක්ටෝවත්තේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ගබඩා කිරීම ඇතුළු දෑ එකම කණ්ඩායමක ක්‍රියා බැවින්, මෙම කාරණා බරපතල ලෙස සලකා බැලිය යුතු බව ජනාධිපති සිරිසේනට තමන් දැන්වූ බව ද පෙත්සමේ සඳහන් ය.
CIDය ආරක්‍ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු නොවූ බැවින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එවකට ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා අත්තේ මේ කාරණය ආරක්‍ෂක මණ්ඩලයේ අවධානයට යොමු කරන ලෙස යි.
ඒ, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර හෝ අන්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීමට රහස් පොලිසියට බුද්ධි අංශවලින් සහ හමුදාවෙන් සහාය ලබා ගැනීමේ අරමුණෙනි.
ඒ පිළිබඳ ආරක්ෂක කවුන්සිලයට කරුණු ඉදිරිපත් කිරීමට එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට අවස්ථාව ලබාදෙන බව එවක ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත්, ඔහු එය ඉටු නොකළ බව ද පෙත්සමේ දැක්වෙයි.
සහරාන් සොයා ක්‍රියාත්මක කළ මෙහෙයුම්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සහරාන් සොයා මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
• 2019.02.27 සිට 2019.03.02 දක්වා CID නිලධාරීන් කණ්ඩායම් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා කුලියාපිටිය, කැකුණගොල්ල, පත්තම්පිටිය, හෙට්ටිපොළ, සහ පුත්තලම ඇතුළු ප්‍රදේශ සෝදිසිකර තිබේ
• 2019.03.06 සහ 2019.03.07 යන දිනවල දී CID නිලධාරීන් කණ්ඩායමක් විසින් සහරාන් සොයා කල්කුඩා, පාසිකුඩාහි පොල් වත්තක් සෝදිසිකර ඇත
• 2019.03.19 දින CID නිලධාරීන් කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය ද සෝදිසිකර ඇත
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද අඛණ්ඩ සෝදිසිකිරීම් හේතුවෙන්, සහරාන් නිතරම ඔහු වෙසෙන ස්ථානය වෙනස්කර ඇති බව ද ශානි අබේසේකර ගොනු කළ පෙත්සමේ සඳහන් වෙයි.
ජමීල් ගැන යුද හමුදා බුද්ධි අංශය කලින් දැන සිටියා ද?
සහරාන් හා ජාතික තව්හිද් ජමාත් (NTJ) පිළිබඳ පරීක්ෂණ පවත්වන CIDයට නොදන්වාම යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙහිවල ට්‍රොපිකල් ඉන් තානායමේ පිපිරීමට පෙර එම බෝම්බකරු වන ජමීල්ව සොයා වැල්ලම්පිටියේ ජමීල්ගේ මවගේ නිවසට ගොස් ඇති බව ශානි අබේසේකර අධිකරණයට පවසා ඇත.
ට්‍රොපිකල් ඉන් තානායමේ පිපිරීමට පෙර ඔවුන් දෙමටගොඩ පිහිටි ජමීල්ගේ නිවස වෙත ද ගොස් ඇතැ යි පෙත්සමේ සඳහන් ය.
සහරාන් සිටින ස්ථානය සොයාගැනීම සඳහා සහාය වන ලෙස CID විසින් නැවත නැවතත් ඉල්ලීම් කළ ද, අබ්දුල් ලතීෆ් ජමීල්ගේ අනන්‍යතාව, NTJහි ඔහුගේ භූමිකාව, සහ යන එන තැන් පිළිබඳ පූර්ව දැනුමකින් සිටි හමුදා බුද්ධි අංශය CIDය සමග එම තොරතුරු බෙදානොගත් බව ද පෙත්සමේ දැක්වේ.
කවුද මේ ‘සොනික් සොනික්’?
ශානි අබේසේකර පෙත්සමෙන් දක්වා ඇත්තේ, එක්සත් ජනපදයේ FBI ආයතනය ලබාදුන් තොරතුරු අනුව සහරාන් සමග නිතර නිතර සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු CID නිලධාරීන් දැනුවත් වූ බව යි.
සහාරාන් සමග නිතර සන්නිවේදනය කළ පුද්ගලයෙකුට අයත් අන්තර්ජාල ප්‍රොටෝකෝලයක් (IP) ගැන එම තොරතුරු අනාවරණය වී ඇත්තේ, පරිගණක, ජංගම උපාංග, සහ උපකරණ විශ්ලේෂණය කිරීමෙනි.
අනතුරුව, CIDය අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්නකර ඇතත්, ඔහු සහරාන් සමග හෝ NTJ සමග ඇති සම්බන්ධතාවය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
පෙත්සම්කරු වැඩිදුරටත් පවසන්නේ, ආරක්ෂක අමාත්‍යාංශය එවකට යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා, CIDය විසින් අදාල පුද්ගලයා රඳවා තබා ගැනීම වැළැක්වූ බව යි.
ඒ, එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් රහස් හමුදා බුද්ධි මෙහෙයුමක කොටසක් මෙන්ම, ඔහුගේ ක්‍රියාකාරකම් ජාතික ආරක්‍ෂක හේතූන් ලෙස වර්ග කර ඇති බව ප්‍රකාශ කරමින් බව ද පෙත්සම්කරු පෙන්වා දී ඇත.
පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ විමර්ශන හරහා මාතලේ ‘පොඩි සහරාන්’ හෙවත් ‘මාතලේ සහරාන්’ නැමැත්තා ගැන සොයා ගැනීමට රහස් පොලිසියට හැකිවී ඇත.
පසුව මාතලේ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් විසින් මෙම ‘පොඩි සහරාන්’ අත්අඩංගුවට ගෙන ඇත. එදිනම ඔහු නැවතත් CIDය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පොඩි සහරාන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිය දී ඔහු “සොනික් සොනික්” නැමැත්තා සමග සන්නිවේදනය කර ඇති බවට රහස් පොලිසියට අනාවරණය වී තිබේ.
ඉන්පසු IP ලිපිනයක් හරහා එම ‘සොනික් සොනික්’ නැමැත්තා භාවිතා කරන සිම් කාඩ්පත පිළිබඳ තොරතුරු සොයාගැනීමට රහස් පොලිසියට හැකිවී ඇත.
එම හෙළිදරව්ව මත රහස් පොලිසිය සොනික් සොනික් භාවිතා කරන SIM කාඩ්පත් සහ IP ලිපිනවලට අදාල තොරතුරු විමර්ශනය කළ බව පෙත්සම්කරු පවසයි.
සොනික් සොනික් විසින් භාවිතා කෙරුණු සිම් කාඩ්පත කොළඹ නාගරික රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කාන්තාවකගේ නමට ලබාගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.
රහස් පොලිසිය එම කාන්තා පොලිස් සැරයන්වරියගෙන් ප්‍රශ්නකර ඇති අතර, රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට ඇය එම සිම්පත ලබා දී ඇති බව එහිදී අනාවරණය වී ඇතැ යි ද පෙත්සමේ සඳහන්.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සඳහා උප පොලිස් පරීක්ෂක බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.
එහිදී, උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට පොඩි සහරාන් සමග ඇති සම්බන්ධය ගැන ප්‍රශ්න නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ දැනුම්දුන් බව ද පෙත්සම්කරු අධිකරණයට කියා සිටියේ ය.
ඒ, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ වූ රහසිගත මෙහෙයුමක නිරත බව දක්වමිනි.
කෙසේ වෙතත්, එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිපැදීම තමා විසින් ප්‍රතික්ෂේප කරමින් උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළ බව ද ශානි අබේසේකර පවසයි.
එහෙත් උප පොලිස් පරීක්ෂකවරයා “පොඩි සහරාන්” සමග ඔහුගේ සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ බව ද පෙත්සම්කරු අධිකරණයට දක්වා ඇත.
ශානි අබේසේකර අත්අඩංගුවට පත්වීම
2020 ජුලි 31 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට පත්විය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ශානි අබේසේකර හා එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගන්නා ලදුව, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවක දී අසත්‍ය සාක්ෂි නිර්මාණයකර, එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වාදුන් බවට චෝදනා කරමින් මෙසේ අත්අඩංගුවට ගැනුනි.
ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂකවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව ය.
2021 වසරේ ජූනි 16 දා, එවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේ ය.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා, ඇප ලබා නොදී, මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්විණි.
නීතිඥ ගෞරි තවරාසා මාර්ගයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන්කොට තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළහ.
සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කෙරිණි.
සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු වූ අතර, අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරිණි.
සැකකරුවන් පදිංචිව සිටින ලිපිනයන් වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේ ය.
කවුද මේ ශානි අබේසේකර?
ශානි අබේසේකර වසර 18ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කළ දක්ෂ විමර්ශන නිලධාරියෙකි. සක්‍රීය සේවා කාලය තුළ ඔහු ඉහළ පෙළේ විමර්ශන ගණනාවකට සම්බන්ධ විය.
• 1999 දී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට දැරූ තැත
• 2001 වසරේ LTTEය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රහාරය
• 2005 දී රෝයල් පාර්ක් නිවාස සංකිර්ණයේ දී ඉවෝන් ජොන්සන් ඝාතනය
• 2006 වසරේ දී එවකට ආරක්ෂක ලේකම්වරයා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය
• 2008 දී නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
• 2009 වසරේ “අඟුලාන ද්විත්ව ඝාතන” නඩුව
• 2010 දී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
• 2013 දී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ කණ්ඩායමක් ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම
අධීක්ෂණය කළ ඉහළ මට්ටමේ විමර්ශන:
• 2015/2016 දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ වංචාව
• 2009 දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
• 2018 දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම
• 2009 දී මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහරදීම
• මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම
• 2018 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් පාර්ලිමේන්තු කථානායකට පහරදීමට තැත් කිරීම හා පොලිස් නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පහරදීම
• 2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය
• 2013 වසරේ රතුපස්වල ගම්වාසීන් ඝාතනය කිරීම
• 2012 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම
ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා හැඳින්විය හැකිය.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහ රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධ විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.
එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා, මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැලුණු නිලධාරියෙකු ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකි ය.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ශානි අබේසේකර වත්මන් රජය පත්වීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කළේ ය.
ස්ථාන මාරුව ක්‍රියාත්මක වන අවස්ථාව වන විට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් පැවැති අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව හා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේ ය.